කලාව ජනතාව සඳහා’ යැයි කියති. තවත් සමහරු ‘කලාව කලාව සඳහා’ යැයි කියති. මේ දෙවැනි හරුපය තකතීරුවාට තේරෙනව හොරයි. ඌ හිතන්නෙ හැම කලාවකටම ග්‍රාහක පිරිසක් ඉන්නව ය, ඒ ඒ කලාවන් ඒ ඒ ගොල්ලන් සඳහා ය කියලයි. උදාහරණයක් විදිහට ‘ගී සිංදු’ ශ්‍රාවකයන්’ ට. නාට්‍ය, චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට. ‘ශ්‍රාවකයො, ප්‍රේක්ෂකයො’ මේ ඔක්කොම ජනතාවනෙ!” එතකොට ‘කලාව’ ජනතාව සඳහාය.
‘ජනතාවාදී කලාවක්!’ මානවවාදී කලාවක්!’ ඔය විදිහට කියමන් කියවෙන්නෙත් ඒ හින්ද නෙව.
‘කලාව කලාව සඳහා’ කිවුවම මාර හුටප්පරයක්. කලාවට මොකටද කලාව...?
මේක සමහර විට තකතීරුවගෙ තක තීරු කමක් වෙන්ට පුළුවනි. ඒ උනාට ‘තකතීරුවන්ටත්’ හඬක් තියෙනවනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔය ඕන කට්ටියකට තම තමන්ගේ අදහස ප්‍රකාශ කරන්ට අයිතිය තියෙනවනෙ.
ඒ අයිතිය තමයි මේ පාවිච්චි කොරන්නෙ කියහංකො. එතකොට, මාතෘකාව.
කලාව කවුරුන් සඳහා ද?
වැඩි දෙනෙක් පිළිගන්න උත්තරේ ‘ජනතාව සඳහා ය’.
හැබැයි එතකොට ‘කලාකරුවා’ ජනතාවගෙන් කෙනෙක් නෙවේ වගේ ය. ‘කලාකරුවො’ යනු ජනතාවට පිටින් ඉන්න වෙනම කොට්ඨාසයක් වගේ ය.
එහෙම වෙන්ට බැරිය. ‘කලාකරුවා’ ජනතාව අතර සිටින්නෙකි.
ජනතාව ගෙන් කෙනෙකි. එනිසා ‘තකතීරුවා’ විසින් එය මෙලෙස සංසන්ධනය කරයි. ‘කලාව මිනිසා සඳහා ය.’
එතකොට ප්‍රශ්නයක් නැත.
මිනිසාට කලාව?
“මිනිසාට කලාවෙන් ඇති ප්‍රයෝජනේ කුමක්දැ’යි විටෙක තකතීරුවාට හිතුණේ ය.
හිටපු රාජ්‍ය නායකයෙක් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන උන්නැහේටද මේකම හිතුණේ ය. තකතීරුවෙක් හිතුවාට ඒ සිතිවිල්ලම බලයක් නැති උනාට රාජ්‍ය නායකයෙකුගේ සිතිවිලි බොහොම බලගතු ය.
‘කලාව’ ඉගැන්නිල්ලෙන් මිනිසුන්ට අත්වෙන සෙතක් නැතැයි සිතූ එතුමා එතැන් පටන් ‘සාහිත්‍ය කලා’ විෂයයන්, විෂය නිර්දේශයෙන් ඉවත් කළහ.
එනිසා කාලාන්තරයක් මුළුල්ලේ පාසල්වල දරුවන්ට ‘කලාව’ නූගැන්විණ.
මේ කියන යුගයේ පාසල් ගිය පරපුරු ගණනාවක් අද වැඩිහිටියන් වෙති. රටේ, සමාජයේ වැදගත්, බලගතු තැන් හොබවන්නෝ ද වෙති.
එවැන්නන් ද ඉහත පැනයට නඟනු, බොහෝ තන්හිදී අසන්නට දකින්නට ලැබෙයි. ඔවුනට අනුව ‘කලාව’ තියෙන්නේ කාපු බීපු වෙලාවල්වලට පොඩි ‘චූන්’ එකක් ගැනීමට ය.
ඉන් එහාට කලාවේ ඇති වැදගැම්මක් නැත. මෙවන් පිරිසක් නිතර පයුරු පාසානමට ලබනා, තකතීරුවාගේ සිත් තුළ ද මේ කුකුස යළි උපන්නද හෙතෙම අයත් වන්නේ එකී පරපුරට නොවේ ය.
සාහිත්‍ය කලාව රසකර ඉගැන්නූ යුගයකට ය. එබැවින්, තකතීරුවාට එම ප්‍රශ්නයට නැඟෙන්නේ, පෙර කී උදවියගේ මානයෙන් නොවේ.
සියලු කලාවන් අතරින් ‘නාට්‍ය කලාව’ ඇඟට දැනෙන කලාවකි. ඒක එහෙම වෙන්නේ එය ‘සජීවී’ කලාවක් නිසා ය. නවකතාව, කෙටිකතාව ආදිය සාහිත්‍ය කලාවෝ ද, චිත්‍රපටිය, ටෙලිනාට්‍ය චිත්‍රය මූර්ති ආදී දෘෂ්‍ය කලාවෝ ද ගීතය සංගීතය ආදී ශ්‍රව්‍ය කලාවෝ ද ‘අජීවී’ කලාවෝ වෙති. නාට්‍ය පණ පිටින් ප්‍රේක්ෂකයා ඉදිරිපිට පෙනෙයි! මේ සජීවී බව නිසාම එය නිරන්තරයෙන් ‘අප්ඩේට්’ වෙන කලාවක් ද වෙයි. ප්‍රේක්ෂකයෙක් 2.30 ට බැලූ නාට්‍යයම නොවේ 6.30 ට නරඹනුයේ! ඒ වගේ ම ප්‍රේක්ෂකාගාරයේ ඔහු අසුන් ගෙන සිටින තැන අනුවත් නාට්‍ය එකිනෙකාට වෙනස් ය. මේ වෙනස තමුන් සමඟ නාට්‍ය, ජනතාවට, නැතිනම් මිනිසුනට වඩාත් සමීප කලාවක් වෙයි. රටේ ඇති උන නොයෙකුත් දේශපාලන, සමාජ අර්බුද වලදී ද නාට්‍ය කලාව ජනතාවගේ පැත්තේ සිට විශාල කාර්ය භාරයක් කළේ ය.
පසුගිය 88 – 89 සමයේ ආණ්ඩුවත්, ජවිපෙයත් ගජරාමෙට මරා ගනිද්දී මිනිස් ජීවිතවල වටිනාකම බල්ලන් බලලුන් ගානට වැටෙද්දී, ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යවේදියා ‘ධවල භීෂණ’ නාට්‍ය ගෙන එමින් “සෑම මිනිසෙකුටම ගෞරවනීය මරණයක් හිමි විය යුතු” බව මතුකර දැක්වීය.
හැම වැස්සකටම උන්හිටි තැන් නැති වුණ කැළණි පාලම යට මිනිසුන් වෙනුවෙන් ආර්.ආර්. සමරකෝන්හු ‘කැලණි පාලම’ නාට්‍ය කළෝය.
මේ විදිහට ජනතාවගේ දුකේදී සැපේදී හිටි නාට්‍ය කලාව අද අමුතු බසක් ගෙන ඇත කියන තකතීරුවාට හිතෙයි. ඒ පත්තර පිටු පුරා ඇති දැන්වීම්, රූපවාහිනී දැන්වීම් මතු නොව, අද කාලයේ නාට්‍ය ගණනාවක් ද නැරඹීම නිසා ය.
හැබෑවටම මේ නාට්‍ය කරුවන්ගේ ප්‍රස්තුත හරිම ජනතාවාදී ය. පොදු ජනතාව කෙරේ බලපාන ගැටලු, අර්බුද ඔවුන්ව සූරා කන, පීඩාවට පත් කරන බලවේග, ඔවුනට එදිනෙදා ජීවිතයේදී මතුවන ගැටලු මෙන්න මේවා ය!
මේවා නැරඹීම මඟින් ජනතා අධ්‍යාත්මය පළල් වේ. මණ්ඩල ප්‍රසාරණය වේ! ඒවායේ නිම් වළලු පුළුල් වේ.
එහෙත් තකතීරුවාට තියෙන ප්‍රශ්නය වන්නේ මේ නාට්‍ය ‘නරඹන්නන්’ කවුරුන් ද යන්න ගැනයි. මේ කියන නාට්‍යවල මිල රුපියල් ලක්ෂය ඉක්මවයි. රංග ශාලාවල මිලද එලෙසම ය. කොළඹ සිට ප්‍රවාහනය සඳහා ද මිලක් ගෙවන්නට සිදුවේ. ආහාර පාන, ප්‍රචාරනය ආදී දේවල් සඳහා ද වන පිරිවැය එකතු කළ විට සංවිධායක වරයාට අවම වශයෙන් ලක්ෂ දෙකක් වත් ඒ සඳහා වැය කරන්නට සිදුවේ. එය ආපසු ලබාගන්නට ඇති ප්‍රධාන ආකාරය ‘ප්‍රේක්ෂකයායි’. එවිට ප්‍රවේශපත්‍රයක අවම මිල රුපියල් දහසක් කරන්නට ඔහුට සිදුවේ.
ඒ අවම මිලය. පංති වර්ගීකරණය අනුව රුපියල් දෙදහස තුන් දහස, පන්දහස ආදී මිල ගණන් මේ නාට්‍ය නැරඹීම උදෙසා ප්‍රේක්ෂකයෙක් වැය කළ යුතු වෙයි.
මෙවන් මිලක් ගෙවා නාට්‍ය නැරඹිය හැක්කේ කාහට ද? තකතීරුවාගේ ප්‍රශ්නය එයයි.
රුපියල් දාහේ ටිකට් රැගෙන හෝ පවුල පිටින් නාට්‍ය බලන්නට යන්නට රජයේ සේවකයෙකුට නම් හත් අට වතාවක්වත් හිතන්ට සිද්ධ වෙනවා නො අනුමානය. දාහේ ටිකට් පොකුරක් හෝ, ඉන් එහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත හැක්කේ එහෙමත් කැලෑසියකට ය.
ඒ කැලෑසිය නම් සාමාන්‍ය ජනතාව, පීඩාවට පත් කරන ඔවුන්ගේ ප්‍රශ්න නැතහොත් ලෙඩ දුක් කරදර ආදියේදී උන්ට සූරා කන පැලැන්තියට ය. මුදලාලිදාට ය, පෙරකදෝරුවන්ටය, නීතිඥයන්ට ය, විශේෂ වෛද්‍යවරුන්ටය, මිනී පෙට්ටි සාප්පු කාරයන්ට ය. උන්ගේ ජීවිතයේ සරතැස නිවා ගනු පිණිස ය. ඔවුන්ගේ කාර්ය බහුල ජීවිතයේ මාසික හෝ සති අන්ත සංතෘප්තිය උදෙසා කටගැස්ම පිණිසය. නො එසේ නම් ‘මහ ජනතාව’ පිණිස නොව ‘මහා ජනතාව’ පිණිසය.