ගෝඨාභය රජ්ජුරුවොයි සිරිසඟබෝ රජ්ජුරුවොයි | සිළුමිණ

ගෝඨාභය රජ්ජුරුවොයි සිරිසඟබෝ රජ්ජුරුවොයි

 අවුරුදු දෙදාහකට ප්‍රථම ජීවතුන් අතර හිටපු අපේ රජ කෙනෙකු තාමත් අපට මතක් වෙනව. එතුමා ගැන ඉතිහාස කතා ලියල තියෙනව. එමනිසා අපට සිහිවෙනව සිරිසඟබෝ රජ්ජුරුවන්ගෙ ජීවිතයෙන් ගත හැකි ආදර්ශය; එතුමා ඉතාම ධර්මිෂ්ඨ රජ කෙනෙක්. ‘දැහැමි සිරිසඟබෝ’ කියලයි එතුමා ප්‍රසිද්ධ වෙලා හිටියෙ. ඒ නිසා අදත් අපි එතුමා ඉතා ආදරයෙන් සිහි කරනව. නමුත් ඒ කාලේ හිටපු අනෙක් රජ්ජුරුවො - ගෝඨාභය රජ්ජුරුවො එහෙම, අපට සිහිවෙන්නෙ එච්චර ආදරයකින් නොවෙයි, ඒ මොකද? සිරිසඟබෝ රජ්ජුරුවන්ගෙ ජීවිතය ඉතාම ධර්මිෂ්ඨ උනා. අවිහිංසා මාර්ගයෙන් ධර්මය අනුව ක්‍රියා කළා. හැබැයි මම හිතන්නෙ නෑ කිසිම පුද්ගලයෙකුට සිරිසඟබෝ රජ්ජුරුවො වගේ සීමාව ඉක්මවල, ධර්මිෂ්ඨ වෙලා රට පාලනය කරන්න පුළුවන් වෙයි කියල! JRJ 7 වැනි සූත්‍රය සමුනි ගලව ගත්තේ, කුඩා බුත්ගමුවේ ශ්‍රී ධර්මරක්ෂිතාරාමයේ කොත් පැළඳවීමේ උත්සවයේදී ජනාධිපති ජයවර්ධන 1979.01.19 දින ‘සිරිසඟබෝ සිරිතෙන්’ කළ කතාවෙන්, ආගම සහ දේශපාලනය, වෙනත් විදිහකට කිව්වොත් රාජ්‍යත්වය හා බුදු දහම කියන කාරණය, අද දවසේත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කැඩෙන වීදුරු බඩු අස්පස් කරනවා වගේ ඉතා පරිස්සමින් අත ගැසිය යුතු මාතෘකාවක් විදිහටයි සමුනි හඳුනාගෙන සිටින්නෙ.

JRJ උනත් මේ විෂය ගැන බොහෝ දේවල් කියල - ලියල තියෙන්නෙත් පරිස්සමෙන්. ඒත් එයා කියන්න අත්‍යාවශ්‍යම කාරණා කිසි විටෙක මග හැරල නෑ. දැහැමි සිරිසඟබෝ වර්ණනා කරන අතරම ගෝඨාභය වර්ගයේ රාජ්‍යත්වයට හා දේශපාලනයට පැටළුණු අය ගැනත් කිසියම් නොසතුටකින් කල්පනා කරන අතරම, සීමාව ඉක්මවා ධර්මිෂ්ඨ වී රට පාලනය කිරීමට බැරි බව කෙළින්ම කියා සිටිනවා. JRJ ගෙ ප්‍රකාශ වගේම මහා පරාක්‍රමබාහු රජතුමා ගැන ග්‍රන්ථාරූඪ වී ඇති කරුණු, හැඟීම් වලට වඩා තර්කානුකූලව ඒත්තු ගන්න විට සමුනිට ඒත්තු යන විශේෂ කාරණය වන්නේ ‘සීමාව ඉක්මවා ධාර්මිෂ්ඨ වී රට පාලනය කළ නොහැක’ කියන JRJ ගේ අදහස රුවන් වැකියක් විතරක් නෙවෙයි, මෙකල ඇතැම් දේශපාලන විද්‍යා මහාචාර්ය, ආචාර්යවරුන්ගේ මානසික අවකාශයේ රැඳුණු ඇතැම් සිද්ධාන්ත වලට වඩා අතිශයින් ප්‍රායෝගික කරුණක් බවයි.

මුඛරි නමුත් තර්කාන්විතව අදහස් ප්‍රකාශ කරන අසාද් සාලි පසුගියදා කියා හිටියා, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන නිසා ඉතා හදිසියකට පවා පිටකොටුවට එන පුද්ගලයෙකුට උද්ඝෝෂණ කාරයන්ගෙන් සිදුවන හිරිහැර ගැන. මේ මහජන හිරිහැර කිරීම් වලට බුදු දහම පොරවා ගත් ඉතා සාහසිකව මැදිහත් වෙන පුද්ගලයින් කැපී පෙනෙන බවත් සමුනි නිරීක්ෂණය කරල තියෙනව. මෙවන් පුද්ගලයින් රජයේ දේපළ - විශේෂයෙන්ම වාහන වැනි - අවභාවිත කරලල බලවේග - සේනා පවත්වා ගෙන යමින් කරපු කියපු දේවලුත් අපි දැකල තියෙනවග ඒ අතරෙම සමාජ හා ආධ්‍යාත්මික සේවාවල නියැලෙමින් හැකි උපරිමයෙන් ධර්මිෂ්ඨ රාජ්‍යයක් සඳහා කැප වෙන බෞද්ධ පූජ්‍ය කොටස්ද අපමණ ඉන්නව. නමුත් අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමට තරම් සාහසික වූ පුද්ගලයින්ද බුදු දහම පොරවා ගෙන සිටි බව අලුතින් මතක් කළ යුතු නැහැ.

මේ කුණු කන්දල් ටිකක් ඇවිස්සුවෙ, බුදුන් වදාළ දහමේ මූලධර්ම හා මූලධර්මවාදය අතර කිසියම් පරස්පරතාවක් ලංකා රාජ්‍යත්වය හා රාජ්‍ය ආගම අතර පවතිනවාය යන අදහස සමුනිගේ හිතේ නිතර කැකෑරෙන නිසා මිස බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳ තුන් හිතකින්වත් අහිතවත් කමකින් නොවෙයි. මෑතකදී බ්‍රි‍තාන්‍ය ජාතිකයෙකු ලියූ පොතක් සමුනිට අහම්බෙන් කියවන්න ලැබුණා. එහිදී කතුවරයා ඉතාමත් තර්කානුකූලව මූලධර්මවාදය නිර්වචනය කර තිබුනේ දැනට ලෝකයේ නිරුපද්‍රිතව පවතින ආගම් පිළිබඳව හොඳ අධ්‍යයනයකින් පසුවයි. ඔහුට අනුවල තම ආගමට අයත් ශුද්ධ, පූජනීය හෝ ඵෙතිහාසික ග්‍රන්ථයන්හි ලියවී ඇති අකුරක් නෑර, ඒවා ඒ විදිහෙන්ම පිළිගනිමින් හා විශ්වාස කරමින් ක්‍රියාවට නැංවීමට ගන්නා අන්තවාදී උත්සාහයන් තරයේ පවත්වා ගැනීම මූලධර්මවාදය කියා හඳුන්වයි. යුදෙව් ආගමෙන් පටන් ගන්නා කතුවරයා කිතුණු - ඉස්ලාම් - සික් - හින්දු ආදී ආගම් ඔස්සේ අවසානයට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මූලධර්මවාදයට මිස ලෝකයේ වෙනත් රටවල බෞද්ධ ක්‍රියාකාරකම් ගැන නොවේ. විශේෂයෙන්ම කතුවරයාගේ අවධානය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ කරගෙන විග්‍රහ කරයි. JRJ ගේ මේ 7 වැනි සූත්‍රය ඇතුලත් කතාවේදී ඔහු මෙහෙම ප්‍රකාශයක් කරනව: සමාජයක් කියන්නෙ රටක වාසය කරන නොයෙක් නොයෙක් අංශ වලින් පරිපූර්ණ වූ මනුෂ්‍යය පිරිසක් - සමූහයක්. රටේ නොයෙක් ජාතීන් ඇති. නොයෙක් නොයෙක් ආගම් පිළිගන්න උදවිය ඇති. ආණ්ඩුක්‍රම අතින් - දේශපාලන අදහස් අතින් - ප්‍රජාතන්ත්‍රවාදී, ආඥාදායක, කොමියුනිස්ට්, සමාජවාදී නොයෙක් මතධාරීන් ඇති. අධිකරණ ඇති. ප්‍රවෘත්ති පත්‍ර ඇති. මේ ඔක්කොම එකට ගෙන එකක් වශයෙන් කල්පනා කෙරුවාම තමයි මනුෂ්‍ය පිරිසකගේ සමාජයක් වෙන්නෙ. සමාජය කියන්නෙ ඒ අංග සම්පූර්ණ වූ ඒකකයටයි.

ඉතින් JRJ අදහස් කරන මේ අංග සම්පූර්ණ සමාජ ඒකකයෙ බුද්ධ ශාසනයත් තිබුනා. අනික් ආගම් අදහන නොයෙක් නොයෙක් පිරිස්ද හිටියග ඔය විදිහෙන් අපට තියෙන්නෙ විවිධ විචිත්‍ර සමාජයක්. මිශ්‍ර සමාජයක්. මේ අනුව බැලුවාම ලංකා සමාජය තුල යහපැවැත්ම සඳහා විජය රජ්ජුරුවො එන්න පෙරත් - පසුවත්, විදේශ ආක්‍රමණික ආණ්ඩු එන්න පෙරත් ඊට පසුවත්. 48 න්ල 72 න් 78 න් පසුවත් සමාජ ආකෘතියේ වෙනසට අනුව ආණ්ඩුක්‍රම නොලියවී හෝ ලියවී පැවතුණා.

දැන් ආයෙත් ආණ්ඩු ක්‍රමයකට පිඹුරුපත් සැකසෙනව. මේ අංකූර ආණ්ඩුක්‍රමය ගොඩක් වාසනාවන්ත වෙන්නෙ පෙර කාලෙ මහා බරක් වුන ‘රාජ්‍ය භාෂා ප්‍රශ්නය’ වැනි ගැටළු විසඳිල හමාර නිසා. ඈත දුර අනාගතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැවත සකසන විට නුදුරු අනාගතයේ එළි දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ආගම’ පිළිබඳ ගැටළුවටත් හොඳ පූර්වාදර්ශයක් දී තිබුනොත් ඉතා අගෙයි කියල සමුනිට

හිතෙනව. එතකොට අනාගතයේ සෙක්යුලජමික් ක්‍රමවේදයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්වී, ගෝඨාභය වැනි රජවරුන් බිහිවීම වැලකී, සීමාව ඉක්මවා ධර්මිෂ්ඨ වූවා යැයි චෝදනා ලැබ සිටින සිරිසඟබෝ මොඩලයට ආසන්න හෝ පාලකයින් බිහිවීමට බැරි කමක් නැතැයි සමුනි තුලට හීන් විශ්වාසයක් කාන්දු වෙනව. JRJ ධර්මිෂ්ඨ සමාජයක් කියල ප්‍රඥාවෙන් දකින්න ඇත්තෙත් මේ අන්දමේ සමාජයක් වෙන්න ඕන. ඔව්, මිනිසාට මිනිසා එරෙහි කරන නිදහස් සාධාරණ ලෞකික රාජ්‍යයක්. අන්තවාදයෙන් - මූලධර්මවාදයෙන් තොර සෙක්යුල සමාජයක්.

Comments