කවියෙහි මහිම! | සිළුමිණ

කවියෙහි මහිම!

 ‘කව් රස දන්නෝ කුමට උපන්නෝ’ දැ යි අපි වරක් ඇසූමු. මෙ කල්හි ඔවුන්ගේ උපත නිෂ්ඵල වූවක් හෙයිනි. එ බඳු නිෂ්ඵල උත්පත්ති ඇත්තන් කළ යුත්තේ කට වසාගෙන පසකට වී සිටීමයි. එසේ සිටින කල්හි දු කට කසන බවක් දැනේ නම් කළ යුතු ‘සයිටමය’ හෝ බැඳුම්කර නිකුතුව හෝ වැනි රටට දැයට වැඩක් ඇති දෙයක් ගැන කීම යි. කවි නොකියා සිටින්නට බැරි අමාරුවෙකුදු වේ නම්, සම්මේලන කයියක් හෝ අග මුල මාරු කළ නිසඳැස් කයියක් හෝ කියා අමාරුව සංසිඳුවාගැනීම මැනැවි. සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පර්යේෂණාත්මක වූ නව්‍ය සම්ප්‍රදානයක් කිරීමේ ශාස්ත්‍රීය අභිලාෂයක් පහළ වුව හොත් කොළඹ සරසවිය වැනි රට පිළිගත් හොඳ සරසවියකට ඇතුළු වී සිංහලාංශයට බැඳී ‘නූතන සිංහල කවියෙහි නිරූපිත ස්ත්‍රියගේ දකුණු පාදයෙහි මහපටැඟිල්ල’ වැනි පර්යේෂණ මාතෘකාවෙකින් විශිෂ්ට නිබන්ධනයක් කොට ආචාර්ය උපාධියකුදු නොලැබිය නොහැක්කේ ම නොවේ.

වේ වා! මේ එකකුදු බැරි හණමිටිකරුවෙක් පුරාතන සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යය හා නූතන සිංහල කාව්‍යයේ පරිහානිය හා ගැන අ‍ඳෝනා නඟයි. අද හෙට තව ද කිරිකැටි (ක්‍රිකට්) තරග වැලක් ඇරැඹෙයි. උදිත් නාරායණයෝ කොළඹ පැමිණ සජීව ප්‍රසංගයක් පවත්වති. මෙ තරම් රටට දැයට ඉතා වැදගත්. පුවත් තිබිය දී පැරැණි කයිය ගැන කයිවාරු ගහන්නට පුවත්පතෙහි ඉඩ වෙන් කිරීම අපරාධයක් බව ඔවුනට නොතේරේ නම් අපි කුමක් කරමු ද?

ඉතින් අර හණමිටි කරුවාණෝ කුමක් කියත් ද? ‘උස් කවි තැනුණ පෙර දින දැක නොතකන්නේ - ඇස් ගෙඩිවලට හෙණ ගහල ද සිහළුන්නේ’ යි අසති. අහෝ, අනවබෝධයෙක මහත! උස් වේ වා, පහත් වේ වා, පෙර දින ලියැවුණු කවි නොතකන්නේ එහි නිෂ්ඵලත්වය වර්තමාන සිංහලයන් මැනැවින් දන්නා හෙයිනි. ධර්මිෂ්ඨ උතුමාණනුදු කියා දුන් පරිදි සාහිත්‍යයෙන් කවර වැඩෙක් ද? එ මඟින් වාහනයක් වත් ගත හැකි ද? කවියෙන් නම් කිසිවකුත් කළ හැකි නො වේ. ඉතින් එ බඳු නිෂ්ඵල කවි කවුරු කුමට තකත් ද?

වඩාලාත් නිෂ්ඵල වනුයේ හණමිටි කරුවාණන් අගයන පැරැණි කවිය යි. කයි සම්මේලන කාරයන්ගේ, කයි පදනම් කාරයන්ගේ, කයියෙන් යටත් පිරිසෙයින් විසි හතර පැයේ කයි මඬුවක් හෝ පවත්වා කීයක් හෝ හොයාගත හැකි යි. එ ද නැතොත් දින ගණනක් වෙහෙස මැ නොගත් කවියත් හිටිවන ම කියා ඒරණ්ඩ වෘක්ෂ (එඬරු ගස්) න්‍යායයෙන් “අපි ම මහා කවියෝ වෙමු” යි දර්පිත විය හැකි ය. අනෙක් අතට පේරාදෙණිය පැත්තේ නිසඳැස් කයියන් පසු පස ගොස් මස් ලේ නැතත් ඇට වත් ලෙව කෑව හොත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයකට හෝ පාත්‍රවීමේ උදාර පුණ්‍ය මහිමය උදා වනු ඇත. එ කියන පුරාතන සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් කුමක් නම් කරමු ද? යම් කිසි විභාගයකට නියම කළ හොත් පමණක් සත්ගුණවත් ග්‍රන්ථ ප්‍රකාශන උතුමකුට යන්තම් ගතමනාවක් සොයාගත හැකි වනු ඇත.

කයි මඬු කාරයනට පින් සිදු වන්නට, නියම සිංහල කවිය නම් ගී, සිලෝ සිවුපද ආදියෙන් ලියැවුණු අරුත්බර පබඳ නො ව යන්තම් පද හතර තාලයකට ගැට ගසාගත්, අරුතට ‍ෙපළ ගැසුව ද අග අකුරු සම වැ ඇති ප්‍රබන්ධයක් බව දැනගතුමු. එ හෙයින් අපි දැන් හොඳ රිද්මයකට කවි ලියමු. සිසු - සිසුවියනට ද ඒ කව් කියවන්නට දෙමු. කියවන්නට විනා ගයන්නට නොහැක්කේ යන්තම් හෝ ගයන්නට ගිය හොත් අර රිද්මය දෙ කොනින් බේරෙන හෙයිනි. ‘විවර’ සකසුවාණනට ද උපදෙස් ලෙස කිය යුත්තේ අර පිටුවේ උඩ ම පළ කැරෙන සමනළ හෑල්ල ද රිද්මයකට විනා තාලයකට විරිතකට නොවන බවයි. එක් පේළියක් දෙකතුනකට කඩා ලිවිය හැකි නම් වඩා මැනැවි.

ඒ අස්සෙහි ම, දත් දොස්තරකම කැරගෙන පසකට වී නො සිට නොදත් දැයට අත ගසන්නෝ ‘කවිය නම් අප හද බසැ’ යි මෘෂා මත දු පතුරුවති. කවිය හද බස වේ වා, නො වේ වා අපට නම් කිම? අපට වුව මනා බඩ යි. අර ඇතැම් ප්‍රේතයන් ගේ මෙන් .කඳ නොතකී. කුඩා වුව ද බඩ ලොකු වේ නම් එ පමණි. අප විසින් කළ යුත්තේ බස, රැස, දෙස, ආගමය ඈ සියල්ල හොඳින් එකට අනා ගිල මේ බඩ පිරැවීම යි. ඒ අතරේ පාළුව මැකෙන්නට රට දැය රැක්ම ගැන කයිවා‍රුත් ‍ගැසිය යුතු බැවින් කටකුත් වුව හොත් මැනැවි. කටත් බඩත් ඇති කල්හි හිසත් හදත් කුමටද? හද බසක් කුමට ද?

එහෙයින් නැණවතුන් විසින් කළ යුතු කවිය වැනි නිෂ්ඵල වූ දෑ ගැන කතා නොකිරීම යි.

- හිතමිතුරා 

 

Comments