උන්නාන්සෙගෙ බණ ටික අපූරුයි | සිළුමිණ

උන්නාන්සෙගෙ බණ ටික අපූරුයි

 “සාදු සාදු සාදු!”

අපේ මායියා රූපවාහිනි පෙට්ටියට වඳින ගමං ඒක ඉස්සරහිං දහර මණ්ඩිය ගොතාගෙන ඉඳගත්තා ආයිබොවන්ඩ. කහ පාටක් දැක්ක ගමං ඕක සිද්ධ වෙනවා. බෝ ගහක් දැක්කොත් බස්සෙකේ සෙනඟ තල්ලු කොරගෙන නැගිටිනවා.

“දඟලන්නැතිව ඉඳගනිං මෝඩියෙ” කියලා මං කිව්වම “යමංකො අද ගෙදර” කියලා දත්මිටි කනවා.

අපෙ මායියයි නිමලෙගෙ මායියයි එක්කහු වුණාම ඒ දෙන්නගෙ වැඩේ මායි නිමලෙයි මිත්තියා දුස්ටිකයො කියලා අපි යන අපායවල් ලැයිස්තුව කියෝන එක.

මෙදා පාර කාට ද වැඳගෙන ඉන්නෙ දැනගන්ඩ මාත් එබුණා ටීවී පෙට්ටියට. මේ අපේ රතන උන්නාන්සෙ නෙවැ. බලමු උන්නාන්සෙ අද මොන වගේ දර්ම කාරණා ද පහදන්නෙ කියලා.

“බුද්දි අංස නිලදාරීන් අත්අඩංගුවට ගැනීම පිටුපස ඉන්නේ කව්දැයි ළඟදිම එලි කොරනවා” උන්නාන්සේ දේසනා කොරනවා

“සාදු සාදු සාදු!” අපෙ මායියා ආයෙත් වඳිනවා.

අපේ මායියට ඔය මොන හාන්දුරුවො මොනව කීවත් කමහ් නෑ. වඳිනවා. සාදු කියනවා. මං දවසක් ඕක ගැන ඇහුවා.

“මං ගරු කොරන්නෙ සිවුරට” මායියා අවංකව ම කීවා.

“හෙනං ඉතිං කුස්සියෙ පරණ මෝල් ගහට සිවුරක් අන්දලා බිත්තියට හේත්තු කොරලා උදේ හවා වඳින එකනෙ ඇත්තෙ පන්සල් යන්නෙ අහවල් කෙං ගෙඩියට ද?” මං ඇහුවා.

“නොදකිං මිත්තියා දුස්ටිකයා. උඹට යන්ඩ තියන අපායවල් මදි” මායියා දත්මිටි කෑවා.

බලමු රතන උන්නාන්සෙ ඊළඟට ගන්න දර්ම කාරණාව මොකද්ද කියලා.

“ත්‍රස්තවාදය තිබ්බ කාලෙ සමහර මාද්යවේදියො ත්‍රස්තවාදීන්ට ඔත්තු දුන්නා.”

“සාදු සාදු සාදු”

“අතීත සිදුවීම් අමතක කර රට සංවර්දනය කළ යුතු යි”

“සාදු සාදු සාදු”

“යුද්ද කාලේ හමුදාවෙ, එල්ටීටීයේ වැඩ විවේචනය කරලා කාලය කා දමන්න එපා”

“සාදු සාදු සාදු”

“පහුගියදා ඇල්ලුවෙ කොටි බෝම්බ අල්ලපු කෙනෙක්”

“සාදු සාදු සාදු”

“රණවිරුවන්ට විරුද්ද ව සාක්කි දෙන අයගේ ඉතිහාසය සෙවිය යුතුයි”

“සාදු සාදු සාදු”

ඔය විදියට හාන්දුරුවන්ගෙන් දර්ම කාරණයක් පිට වෙනකොට මායියා සාදු කියනවා.

හාන්දුරුවො බණ ඉවර වෙලා එතනින් වාහනේට වඩිනවා රූපවාහිනියෙ පෙන්නුවා. මායියා අවසාන වසයෙන් සාදු කියලා නළල බිම ඔබලා නැගිට්ටා. නිමලෙගෙ මායියා අපෙ මායියා හොයන්ඩ ආවා.

“අක්කණ්ඩි බණ ඇහුව ද? අපරාදෙ මට මඟ ඇරුණ නෙ”

“මං නං මුල ඉඳල ම ඇහුවා. අපූරු බණ පොඩ්ඩ”

ඔන්න දෙන්නගෙ දෙබස.

“බණ්ඩයියත් අදනං බණ ඇහුව වගේ”

නිමලෙගෙ මායියා යටි ඇහෙං මන් දිහා බැලුවා.

“ඔව් වොව්. බුද්දි අංසෙ රණවිරුවන්ගෙ ගුණ යහපත්කං ගැන අපූරු බණක් කීවා” මං උත්තර දුන්නා.

මායියා දත්මිටි කාලා මන් දිහා බැලුවා.

“මිත්තියා දුස්ටිකයා. පණ පිටිං අපායෙ යන්ඩ හදනවා.”

මායියා එහෙම කියද්දි අපායට කලිං සුර ලොවට යන්ඩ හිතාගන නිමලයත් ඇදගෙන මං ගෑටුවා අබිලිංගෙ කඩේ පිටු පස්සෙ කූරටියා පඳුරු යටට. 

Comments