පුවත් අතුරුදන් කරන ‘අමරතුංග ක්‍රමය’ | සිළුමිණ

පුවත් අතුරුදන් කරන ‘අමරතුංග ක්‍රමය’

ආධුනික වාර්තාකරුවන්ටත් උප කර්තෘවරුන්ටත් විශ්වවිද්‍යාලක් වූ ඒ පත්තර කන්තෝරුවේ රෑ වැඩ අනිවාර්ය අභ්‍යාසයකි. සතියට දින දෙකක් ඔවුන් හැමදෙනා ම රොස්ටරටය රාත්‍රි සේවයේ යෙදවූයේ 83 කළු ජූලිය කාලයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි ස්වයං වාරණයකින් යුතුව පාඨක ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමට මඟ පාදමිනි. රෑ වැඩට පැමිණිය යුතුව තිබුණේ සවස 4.00ටය. ප්‍රධාන උපකර්තෘවරයා අතින් මුලින් ම ඔහුගේ අතට ලැබුණේ මහනුවර - මාතර පළාත්වල විවිධ පුවත්ය.

එම පුවත් යොදාගෙන කළු සුදෙන් මුද්‍රණය කළ පුවත්පත ‘සැකන්ඩ් එක’ (2 මුද්‍රණය) විය. කොළඹ දෙහිවල ගල්කිස්ස පැත්තේ පුවත්පත ‘ලේට් සිටි’ විය. (Late city Edition) විය. පිටු 80කින් සමන්විත වූ පාර්ලිමේන්තු වාර්තාව ලැබුණේ රාත්‍රි 7.00ට පමණය.

රෑ වැඩ දවස්වල ප්‍රධාන උපකර්තෘගෙන් නිවාඩු ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා සිටීමක් ම වූවාට සැක නැත. “රෑ වැඩ කරන්න බෑ පීනසේ...” කී අයට වෙන රස්සාවලට යෑමේ නිදහස ද එකල තිබිණි.

රෑ වැඩ කරන්න බැරි අය කර්තෘ මණ්ඩලය පළාතෙවත් වැද්ද ගත්තේත් නැත. දෙවැනි මුද්‍රණයේදීත් අලුයම මුද්‍රණයේදීත් මුල් පිටුව ක්‍රීඩා පිටුව - විදෙස් පිටුව පාර්ලිමේන්තු පිටුව ඇතුළු පිටු 10 ක් 12ක් පමණ වරින්වර වෙනස් කරන්නට සිදුවුණේ විදුලි වේගයෙනි.

මුල් පිටුවට දැමිය යුතු හදිසි පුවත් විටින් විට ලැබුණු විගස කතරගම - අනුරාධපුරය - පොලොන්නරුව වැනි ඈත පළාත්වලට යැවූ පුවත්පතේ (තරු 3) මුල් පිටුවේ පුවත්, ඇතුළු පිටුවලට ගත යුතු වන්නේ ප්‍රමුඛතාව ද සිහි තබා ගනිමිනි. ඒවා සලකුණු කර දෙන්නේ ප්‍රධාන කර්තෘ තුමාය.

එයින් එක පුවතක් හෝ ඇතුළු පිටුවකට නොගෙන වර්ක්ස් (Works) සගයන් ලවා දම්මන උප කතුවරයකු ද නොසිටියා නොවේ. කවුරු කවුරුත් ඇවිත් ළඟ ළඟ නවා එළිවෙන ජාමේ පොදු ළි‍ඳේ ගමේ ගොඩේ රුවැත්තියන් දිය නෑ අසිරිය ද විඳගත්තේ ඒ සහෘදයාගේ පෙම් කැදැල්ලේ බෝඩිං නොවී ‍බෝඩිංවෙලාය.

වැදගත් පුවත් එසේ අතුරුදන් කරනවාට ප්‍රධාන, කර්තෘවරයා කීවේ ‘අමරතුංග ක්‍රමය’ පුරුදු වුණොත් තමුසෙලා වළපල්ලේ කියාය. බදාදාවක්වූ එදින සවස 4.45 ට කොණ්ඩේ පොකුටු තෙසඟයා කැඳවූ ප්‍රධාන කර්තෘතුමා මුල් පිටුවෙන් ඇතුළට ගත යුතු පුවත් ‘ඇතුළට’ යනුවෙනුත් අහක දැමිය යුතු පුවත් Kill යනුවෙනුත් රතුපාට ෆෙල්ට් පෑනෙන් පොල්ගෙඩි අකුරෙන් ලකුණු කරමින් උපැස් යුවළට උඩින් රතු ඇස් කරකවා බලා “ඔහේ... අමරතුංග ක්‍රමයට මේ නිව්ස් බක්කියට දැම්මොත් හෙට ඉඳන් වෙන රස්සාවක් හොයා ගෙන මෙහේ නෑවිත් හිටියට කමක් නෑ... මට මෙහෙ හොඳ වැඩකාරයෝ මාතරින් ඇවිල්ලා ඉන්නවා” පාරම්බෑවේය. පිටුද පිරි ඉතිරී යන්නට කොපි දෙන කොපි + අන්නන්ලා ද (ප්‍රධාන උපකර්තෘවරුන්) එදාත් සිටි බැවින් මුල් පිටුවෙන් ඇතුළට ගත යුතු පුවත් ‘අමරතුංග’ ක්‍රමයට අතුරුදන් කිරීමට ද සිදුවූයේ ඒවා කැලණියේ කුලී ගෙදර ගෙනිහින්වත් කරන්න දෙයක් නැති නිසාය.

මහ වැසි ඇද හැළුණු සීතල බදාදාවක කෙසඟයාටත් ආධුනිකයකුටත් රෑ වැඩ බාර දී කන්තෝරුවේ මොරිස් මයිනරයෙන් මාතලී දිව්‍ය පුත්‍රයකු සමඟ ඉගිලුණු ප්‍රධාන කර්තෘතුමා නුගේගොඩ අවන්හලකට බාගෙට තෙමි තෙමී දිව ගියේ රියැදුරාට මද අස්වැසිල්ලක් දෙමිනි.

ගිය පයින් ම ඇස් රතු කරගෙන වාහනයට ගොඩවූ ඔහු කීවේ ‘තමුසෙ දන්නවනේ අර ‘රතු....’ තමයි අද රෑ වැඩ. හෙට එළිවෙන කොට මොනවා කරලා තියෙයි ද දන්නෙ නෑ අයිසේ... රෑ 12.00 ට 1.00 ටත් මාව ඇහැරවලා සර් අර නිව්ස් එක ඇතුළට දාන්නද එළියට දාන්න ද කියලා අහනවනේ කියමින් මහ හඬින් හිනැහුණේ අනෝරා වැසි ඇදහැලෙද්දීය.

 

Comments