වෙඩි තිබ්බ උදවියට විළි ලැජ්ජාව | සිළුමිණ

වෙඩි තිබ්බ උදවියට විළි ලැජ්ජාව

 අබිලිංගෙ කඩේ මේ දවස්වල පොරදාන මාත්තුරුකාව ලක්ස විස්ස. ඒකනං ආයිබොවන්ඩ ලොතරැයියක් ඇදුණා වාගේ තමා.

“අපේ එකෙකුත් හිටියනං මේ නහින දෙහින කාලෙ කාල ඇඳලා ඉන්ඩ තිබ්බා” යකඩ මරං කියපි.

“කොහෙ හිටියනං ද?”

අබිලිං ඇහුවා.

“වැලිකඩ”

“කවුරු හැටියට ද?”

“හිර කාරයෙක් හැටියට”

“හිරකාරයෙක් හැටියට හිටිය පලියට ලක්ස විස්සක් හම්බුවෙන්නෑ බං‍. වෙඩි කන්ඩත් ඕනෑ”

“වෙඩි ඉබේට වදිනව ද? කවුරු හරි වෙඩි තියන්ඩත් එපා යැ.”

ලක්ස විස්සෙ කතාව දුර දිග යනවා. බලං ඉන්ඩ බැරි ම තැන මාත් මැදිහත් වුණා ආයිබොවන්ඩ.

“යකඩො මැරිච්ච මනුස්සයෙක් වෙනුවෙං යමක් දුන්න ම ඒකට නිග්ගරහ කොරන්ඩ එපා.”

මගේ කතාවෙං පස්සෙ වෙන පැත්තකිං කාරණා එන්ඩ පටං ගත්තා.

“හැබෑහැට බණ්ඩයියෙ වෙඩි තියපු උදවියට මුකුත් නොකර වෙඩි කාපු උදවියට වන්දි දුන්නෙ මොන අදහස කින්ද?”

නිමලෙ මගෙං ඇහුවා. අබිලිං මැදින් පැන්නා.

“වෙඩි තියපු අයට තරු පේන වැඩක් ඒක” අබිලිං කීවා.

“ඒ කොහොමද?” නිමලෙ ඇහුවා.

“වෙඩි තිබ්බහම මැරිච්ච කෙනාට ලක්ස විස්සක් හම්බුවෙනවනෙ”

“ඉතින්?”

“වෙඩි තියපු එකාට මළ පනිනවා”

“ඇයි ඒ?”

“මං වෙඩි තිබ්බ හින්දා උන්ට හොඳ ගාණක් හමුබු උනා. අපිට සත පහක් වත් හම්බු වුණේ නෑ කියලා හිතෙනවා.”

“ඊට පස්සෙ?”

“නොදකිං අපි කරපු ගොන් වැඩක්. ආයෙ නං මොකා කීවත් එහෙම වෙඩි තියන්නෑ කියලා හිතනවා”

“එතකොට ඔය ලක්ස විස්ස මැරිච්ච අයගෙ පවුල්වලට දෙන්නෙ මරපු අයට අමතක නොවෙන පාඩමක් උගන්නන්ඩ ද?”

“නැතුව - නැතුව”

“එතකොට වෙඩි තියන්ඩ අන දුන්නු මිනිහට මොකද වෙන්නේ?”

“මිනිහ ලැජ්ජාවට පත්වෙනවා”

“ඉතින් ඒක දඬුවමක් ද?”

“නැතුව - නැතුව - උන්නු හැටියට මළා මදෑ කීවලු.”

“වෙඩි තියපු අයට කවදා හරි කීයක් හරි ලැබෙන්නෙ ම නැද්ද? අබිලිං ඇහුවා.

“වෙඩි තියන්ඩ අන දුන්නු කෙනාට කවද හරි තමන්ගෙ තනතුර හම්බු උනු දවසක වෙඩි තියපු අයටත් ලක්ස විස්ස ගාණෙ හම්බු වෙයි”

“ඒකට ඉතිං මොකද්ද කරන්ඩ ඕනෙ?”

“වෙඩි තියපු උදවිය තමන්ට අන දුන්නු කෙනත් එක්ක එක්කහු වෙලා ආණ්ඩුව පරද්දලා ආණ්ඩුවක් හදා ගන්න එක”

ලක්ස විස්සෙ කතාව දුර දිග ගිය තරමක්. දැං බලං ගියා ම ලක්ස විස්සෙ දීමනාව ඔතනිං කෙළවර වෙන එකක් නෑ වගේ. අනේ කාලේ! වනේ වාසේ!! 

Comments