පොඩි කාලේ ජංගි ලොකු කාලේ කලිසම් කෝට්නෙ! | සිළුමිණ

පොඩි කාලේ ජංගි ලොකු කාලේ කලිසම් කෝට්නෙ!

 දෙවියන් මිනිසා මැවූ බවත් - යක්ෂයා විවිධ භාෂා මැවූ බවත් සමහරුන් කියන්නෙ, නොයෙක් නොයෙක් ජනයා නොයෙක් නොයෙක් භාෂා භාවිතා කිරීමේ ව්‍යාකූලභාවය විදහා දැක්වීමට විය යුතුයි. කෙසේ නමුත් විවිධ භාෂා දැන ගැනීම අවශ්‍යයි. සිංහල දරුවෙකුට දෙමළ භාෂාව නොඉගැන්වීම; දෙමළ දරුවෙකුට සිංහල භාෂාව නොඉගැන්වීම; ඒ සිංහල දෙමළ දරුවන් දෙදෙනාටම ජාත්‍යන්තර භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාව නොඉගැන්වීම බලවත් අඩු පාඩුවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

‍ 1983 කළු ජූලියෙන් පස්සෙ රත්මලානෙ හින්දු විද්‍යාලයේ උත්සවයක් අමතා ජනාධිපති ජයවර්ධන ‘එකම ලංකාවක්’ මැයෙන් දේශනයක් කළා. සමුනි අද JRJ 6 වන සූත්‍රය උපුටාගන්නෙ එයින්. ඇත්තටම JRJ මේ දේශනය පටන් ගන්නෙ ඔහුගෙ භාෂාව පිළිබඳ දාර්ශනික මතිමතාන්තර මේ විදිහට දක්වමින්.

ජනතාව එක්තැන් කරන බන්ධනය භාෂාවයි. මිනිසා සහ තිරිසනා අතර ඇති වෙනස නැති කරන්නෙ තිරිසනාගෙ ජීවිතයට වඩා මිනිසාගේ ජීවිතය උසස් තත්ත්වයකට පත් කරන්නෙ භාෂාවයි. එකිනෙකා අතර කතා බ හ කරන්නට, අදහස් හුවමාරු කරගන්නට, ඔවුනොවුන් යම් යම් අරමුණු සඳහා පොලඹවා ගන්නට, ලියන්නට, කියන්නට, කියවන්නට හැකියාව ලබා දෙන භාෂාව වනාහී මිනිසා සහ තිරිසනා අතර ඇති වෙනසෙ සීමා බන්ධනයයි.

JRJ හුදු දේශපාලනඥයකු නොවෙයි කියා සමුනිට වැටහුණේ ඔහු හොඳ කථිකයෙකු යැයි සිතා සිටි සමයේ ‍නොවෙයි; ඔහු පුවත්පත් - සඟරාවලට ලියා ඇති ලිපි ප්‍රමාණය සිය ගණනින් මනින්න බැරි බව වටහාගත් විටදී. ඒවායින් ප්‍රකාශ වූ අදහස් පරිකල්පනමය visionary අතින් අප රටේ කවි, ගීත, නාටක ලියන්නට හා ලියූවන්ට අහලකටවත් කිට්ටු කරන්න බැරි තරම් දූරදර්ශීයි.

එදා, 1978 නව ව්‍යවස්ථාවෙන් අප රටේ අනාගතය, දුරදක්නා නුවණින් සැලසුම් නොකළා නම් තිස් වසරක පසුබෑම ගණින්න වෙන්නෙ ශත වර්ෂවලින්.

JRJ දේශපාලනයට පිවිසෙනකොට ජාත්‍යන්තර රැල්ල තමයි ජාතික රාජ්‍ය දේශපාලනය. ඒත් ඔහු ‘දෙස බස රැස’ හෝ ‘බස දෙස රැස’ මෝඩකම්වලට වාල් නැත්තෙ ඔහු සතු නිසර්ග ප්‍රඥාව නිසයි.

JRJ මිනිසා සහ ඔහුගේ භාෂා ගැන හොඳ දැනුවත්කමකින් තම අදහස් ඍජුව ප්‍රකාශ කළා. අද පවා වාග් විද්‍යාව Linguistic කියන වචනෙන් කෙරෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව පාවිච්චි කරන තකතීරුවන් ඕන තරම් ඉන්නව. JRJ ගෙ ලිංග්විස්ටික් දැනුම නිසා ඔහු භාෂා කීපයක් පිළිබඳම විද්‍යාත්මකව ඉගෙන ගන්න සමත් වුණා. තමන්ගෙ ගෙදර දොරේ භාෂාව වගේම අධ්‍යාපන මාධ්‍ය විදිහටත් ඉංග්‍රීසි භාවිත කළත් JRJ ගෙ සිංහලවලට තරම් වසඟභාවයක් ආකර්ෂණය කරගත් කථිකයෙක් ලංකා දේශපාලන වේදිකාවෙ ඉඳල නෑ කියල සමුනිට පැහැදිලියි.

JRJ විවිධ භාෂා දැන ගැනීම අවශ්‍යයයි කියල 6 වන සූත්‍රයෙන් කියන දේ ටිකක් සවිස්තර කර ගත්තොත් හොඳයි කියල සමුනිට හිතෙනවා. ‘විවිධ භාෂා කියන්නෙ’ එකිනෙකට වෙනස් සංස්කෘතිවලින් බිහිවූ ඒවා කියන එක ඔහුගෙ ප්‍රඥාවන්ත එක අදහසක්. අද ඒ ප්‍රඥාව මල් ඵල නෙවෙයි අතු ඉතිත් දරල තියෙනව. පසුගිය දා කරුණා අම්ම­ානුත් කියල තිබ්බනෙ තමන්ගෙ ලොකුම බලාපොරොත්තුව සිංහල ඉගෙන ගන්න එකයි කියල. ඒ වගේම සංවාද ඇමති මනෝ ගනේෂනුත් කිව්වනෙ සිංහල දේශපාලනඥයන් උතුරට ගිහිල්ල දෙමළෙන් කතා කළොත් දෙමළ දේශපාලනඥයන් උතුරෙ ජනයාට කියන්නේ අතේ පැළවෙන බොරු කියල තේරුම් ගනියි කියල.

ඇත්තටම, දැන් කොළම දෙමළ ප්‍රජාව වැඩි ප්‍රදේශවල (කොටහේන වැල්ලවත්ත වගේ) ස්පෝකන් සිංහල පන්තිවලට තියෙන්නෙ Spoken English වලට වඩා වැඩි ඉල්ලුමක්. බහුතර සිංහල ප්‍රදේශ හැම එකකම වගේ ළමයගෙ ඉඳල රාජ්‍ය සේවකයා දක්වා සැමට දෙමළ පන්ති වැහි වැහැල. ඒ විතරක්ද, කොරියන්, චීන, ජර්මන්, ජපන්, ඉතාලි, ප්‍රංශ, හින්දි වගේ භාෂා ඉගෙන ගන්නත් ඕනතරම් පහසුකම් වගේම පාරිභෝගිකයනුත් ඉන්නව.

JRJ හොඳින් දැනගෙන හිටපු අනෙක් කාරණය තමයි, එකම භාෂාව ඇතුළෙත්, ‘විවිධ භාෂා’ තියෙන බව. ඔහුට කෙසෙල්වත‍්තෙ සිංහලත් කුරුඳුවත්තෙ සිංහලත් හොඳට පුරුදුයි. ඒ වගේම ගාල්ලෙ ඌරගස්මංහන්දියෙ සිංහලත් බදුල්ලෙ ලුණුවත්තෙ සිංහලත් හොඳට පුරුදුයි. ඒත් එයා ප්‍රසිද්ධියෙ කතා කළේ ජාතික සන්නිවේදන ආයතනයක් වගේ. සිංහලය තුළම ඇති ප්‍රාදේශීය ලක්ෂණ ගැන දැනුවත් වුණත් ඔහු කතා කළේ ප්‍රමිති සිංහලෙන්. ජාතික ගුවන් විදුලිය හෝ ජාතික රූපවාහිනිය භාවිතා කරන සිංහලවලටත් වඩා පෞඪ සිංහලයක්.

ඒත් JRJ බුද්ධිමතෙක් හා විෂනරි කෙනෙක් (දුර දක්නා නුවණින් සමාජ පරිවර්තනය බලාපොරොත්තු වූවෙක්) විදිහට සිංහල බස, තම තමන්ගේ උරුවට, උරුමයට, මිශ්‍රවීමට අනෙක් භාෂා සමඟ සම්මිශ්‍රණයෙන් යුතුව භාවිත කිරීමට කිසිසේත් විරුද්ධ වූයේ නෑ. වෙනත් විදිහකට කියනව නම් ඔහුට භාෂා ප්‍රේමි තකතීරුවෙක් වෙන්න ඕන වුණේ නෑ. සිංහලුන්ට විතරක් මේ දේසේ මහ ජාතියෙන් ඉන්න ඕන කියල දේශ ප්‍රේමියෙක් වුණෙත් නෑ. සිංහල වැඩියෙන් කතා කරන ජනතාව රටේ වැඩියිනෙ කියල ජාති හිතෛෂියෙක් වුණෙත් නෑ.

මානව සංවර්ධන ක්‍රියාවලිය, බුද්ධිමය කැරලි දම්වැලක් මිස එය විප්ලවයක් කියල කල්පනා කළෙත් නෑ. ඔහු සමාජයට නිදහසේ තම අදහස් ප්‍රකාශ වෙන්න, ඕනෑම විදිහකට ඉඩ දුන්නා. මව්බස කියල සිංහලය ආරක්ෂා කරන්න හෝ සිංහල සමඟ ඉංග්‍රීසි මිශ්‍රකර කථා කරන අය අත්අඩංගුවට ගන්න සංස්කෘතික පොලීසියක් බිහි කරන්න සිහිනෙන්වත් හිතුවෙ නෑ.

මේ විදිහට තමයි, සමස්ත සංස්කෘතීනුත් ඒවායින් බිහිවන උපකුලක සංස්කෘතීන් cults ක්ලට්ස්වලටත් JRJ නිදහස හා රැකවරණය දුන්නෙ.

කල්ට්ස් කිව්වම බය වුණා ද? සමුනි එහෙම ප්‍රශ්න කරන්නෙ සිංහල විතරක් උතුම් භාෂාව කියල හිතන උදවිය ජනමාධ්‍ය හරහා මෙතෙක් කල්ට් කියන වචනය විග්‍රහ කළේ ‘සාතන්ගේ පල්ලි’ ‘ලේ උරාබොන කල්ලි’ වගේ ත්‍රස්තබර අදහසක් ඒත්තු ගැන්වීමට. ඒත් JRJ ප්‍රඥාව සංජානනය කරන විට වැටහෙන්නෙ cult එකක් කියන්නෙ, something popular or fashaionable among a particular group of people කියල. මීට උදාහරණයක් දෙන්න පුළුවන් සුවිශේෂයෙන් තරුණ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන ගුවන්විදුලි හෝ රූපවාහිනී සේවා මඟින්. මේවා අතර ජනප්‍රිය වීමට වාණිජමය තරගයක් ඇති නිසා ඉලක්ක කණ්ඩායමට හිමිකම් කියන හඬ හා රූපමය වශයෙන් විලාසිතා මවනව. ලංකාවෙ නම්, සිංහල හෝ දෙමළ ඉංග්‍රීසි සමඟ මිශ්‍ර කරමින් වචන යොදනව. බොහෝ විට ඉංග්‍රසි ඇක්සන්ට් එකෙන් සිංහල හෝ දෙමළ වචන හුරතලය, ආදරය, සුන්දරත්වය වගේම මිත්‍රකම, අවංකබව ඉස්මතු කරමින් උච්චාරණය කරනව. හැබැයි මේ තරුණයො වැඩිහිටියො වෙනකොට ඒවායින් හෙමිහිට මාරුවෙනව. ඒත් පිටිපස්සෙන් තවත් පිරිසක් හැදෙනව. JRJ තරුණයන්ට දුන්න මේ සහනය කවදාවත් කවුරුවත් දීලා නෑ. මේවාට විරුද්ධ වන තකතීරු නාකි අයට තේරෙන්නෙ නැති දේ තමා පොඩිකාලේ ජංගි ඇන්දට ලොකු වුණාම කලිසම් කෝට් අඳින බව.

ඒ නිසා ඔවුන් අපේ මවුබස මරණව කිය කිය දශක ගණනාවක් අසුබවාදී මන්තරය මතුරනව. කෝ එහෙම එකක් කවදාවත් වෙලායැ. ඔය අගේට අනෙක් භාෂා සාරයත් උරාගෙන සිංහල විතරක් නෙවෙයි දෙමළ හා ඉංග්‍රීසිත් යසට වැඩෙන්නෙ!

 

Comments