මේ දවස්වල ජනමාධ්‍ය කාරයන්ගේ “අයිටම්” එක “සයිටම්” ය.
“සයිටම්” විරෝධය ජනමාධ්‍යකරුවන්ගේ “අයිටම්” එකක් පමණක් නොව අපේ වමේ දේශපාලන “බළඇණි” (ඇණ ගත්ත බලවේග යන අරුතෙනි) වලටත් “අයිටම්” එකක් වී ඇත.
තකතීරුවාට නම් පෙනෙන්නේ දැනෙන්නේ, එල්ලෙන්නට වැලක් නැතිව හුන් අපේ වමේ උදවියට “හොඳ වැලක්” හමු වී ඇති වගයි.
තකතීරුවාට මෙහෙම කියන්නට කාරණ ඇත. මේ සයිටම් විරෝධය පැන නඟින්නේ, ප්‍රධාන කොට එය “පෞද්ගලික අංශයේ” විශ්වවිද්‍යාලයක් වීම නිසාය. මේ රටේ අද පවතින්නේ, බලපවත්වන්නේ “පෞද්ගලික දේපළ” ක්‍රමය නොහොත් “ධනපති ක්‍රමය” ය. සමාජවාදී ප්‍රජාත්‍රාන්ත්‍රික ජනරජය ලෙස රටේ නමේ වාසගමේ ඇතත්, “වාසගම්” කියන්නේ “වාසගමක්” මිස ඇත්තක් නොවේය.
ධනපති වාදයට, පෞද්ගලික දේපොළ ක්‍රමයට විරුද්ධ ප්‍රතිවාදී බලවේගය වන “සමාජවාදී වාමාංශික” බලවේග බලවත්ව සිටි පසුගිය සමයේ, යම් යම් අවදි වලදී මේවා රටේ වාසගමට එක්කාසු විය.
නමුත් එම බලවේගයන් ගේ ම “දැක්මේ” සහ “ක්‍රියාකාරිත්වයේ” ඌනතාවන් ද, ප්‍රතිවාදී බලවේගයන්ගේ උපාය මාර්ගයන් ද, කරණකොටගෙන අද අපේ රටේ ඇත්තේ ප්‍රබල වාමාංශයක් නැත.
ඇත්තේ අබල දුබල වාමාංශයකි.
කෑලි කෑලි වලට කැඩි බිදී වෙන් වී ඇති ඔවුන් එකාට එකෙක් පේන්නට බැරිය.
ධනපති පක්ෂ වලට වඩා ඔවුන් උනුනුන්ට හතුරෝය.
මහපාරවලදී ගහමරා ගන්නා තරම් ඔවුහු විරසකය. ඔවුහු, කම්කරු දිනය නොහොත් මැයි පළවැනිදාට විසි තිස් පොළක “රැලි පවත්වමින්” “ලෝක නිර්ධනීන්ට සමගි වවු! කියති.
විසි තිස් පොළකට සමගි වන්නේ කොහොමදයි තකතිරුවා ට තේරෙන්නේ නැත.
කොටින් ම අද අපෙ රටේ වම, ගැන කතා කරන විට “නේ” යන්නත් එකතු නොකොට ම බැරිය!
රටේ පුද්ගලීකරණය වී නොමැති කිසිවක් නොමැති තරම් ය. පන්සල් පල්ලි කෝවිල් මතු නොව වාමාංශික පක්ෂ ද දැන් පෞද්ගලීකකරණය වී ඇත.
තකතීරුවා මේ කියන දේ වැරදි නම්, “ජනතාව සතු” එකදු ආයතනයක් හෝ පෙන්වා දෙන ලෙස ඉල්වන්නට කැමතිය. මේ ආයතනයක්, යමෙකුට අයත් නම් එහි ආධිපත්‍යයෙන් වැඩි සීයට ගාණක් “උන්නෑහේ” ට තිබිය යුතුය.
ඒත් ජන සතුය කියන ආයතන මොකකවත් ජනතාවට කළ හැකි දෙයක් නොමැත. කරන්නට පුළුවන් දෙයක් වේ නම් අවුරුද්දකට සැරයක් “ඡන්දයක්” දීම පමණකි. ඒත් “සමූපකාර” වලදී පමණකි.
ඒ වුණාට අපේ කතාව “සයිටම්” එක නමැති “අයිටම්” එක ගැන ය. ‘සයිටම්” එක විතරක් පෞද්ගලීකරණයෙන් වළක්වා ගැනීමෙන් ලබා ගත හැකි “දේ” කුමක්දැයි පැහැදිලි නැත.
ඒ මොකද කියනවා නම් “සයිටම්” නැතත් “සල්ලි” තියෙනවා නම් “O” ලෙවල් කීය තිබුණත් පිටරටක විශ්ව විද්‍යාලයකට යවා “දොස්තරෙක්” කරගන්නට කිසිදු බාධාවක් නොමැති හෙයිනි.
තකතිරුවා උප්පත්තියෙන් ම “පෞද්ගලික දේපොළ” ක්‍රමයට විරුද්ධය. ඊට විරුද්ධව “පොදු දේපොළ” ක්‍රමයක් තැනීම උදෙසා කලක් යම් සංවිධානයක් සමඟ ද කටයුතු කළ අයෙකි.
“එහෙම නම්, සයිටම් විරෝධයට විරුද්ධ වන්නේ ඇයි” දැයි අයෙකුට ඇසිය හැකිය. තකතිරුවා විරුද්ධ වන්නේ සයිටම් විරෝධයට නොවේ. ඔහු “සයිටම් විරෝධීන්” ගේ “විරෝධියෙකි”.
රටේ බලපවත්වන “ධනපති දේශපාලන” ක්‍රමය තුළ “ලාභය” පරමාර්ථ කර ගත් “පෞද්ගලික දේපොළ” ක්‍රමය අතනින් මෙතනින් ජනතාවාදී කිරීමට ප්‍රයත්න දරන එක “නිෂ්ඵල ක්‍රියාවක්” බව ඔහුගේ කල්පනාවයි. සමස්තය නැතහොත් “සයිටම්” එක වෙනස් කිරීමකින් තොරව “සයිටම්” වෙනස් කිරිමෙන් ලැබෙන මල උලවුවක් නැත යන්න ඔහුගේ කල්පනාවයි.
කාල් මාක්ස් උන්නැහේ කියන ආකාරයට ලෝකයේ මිනිසා සදාගත් සෑම සමාජ ක්‍රමයක් ම, ඊට කලින් තිබුණ එකට වඩා “ප්‍රගතිශීලීය”. “ඝන ගෝත්‍රික” ක්‍රමයට වඩා “එඩේර යුගය” ප්‍රගතිශීලීය. “වහල් යුගයට” වඩා “වැඩවසම්” යුගය ප්‍රගතිශීලීය.
ඒ වගේ ම මාක්ස් උන්නැහේටම අනුව මේ හැම එකක්ම “ප්‍රගතිශීලී” වෙන්නේ, ඒවායේ මුල් අවදියේ නැතහොත් “උත්පාත අවදියේය”. ‘අවපාත අවදියේ” නැතිනම් “බහින කලාව” සමයේ ඒවා ප්‍රගතිගාමීය.
ඒ අනුව “ධනපති ක්‍රමයත්” එහි “උත්පාත අවධියේ” නැතිනම් “නගින කලාව” අවදියේ ප්‍රගතිශීලීය.
එහෙත්, ලංකාවේ “ධනපති ක්‍රමය” මේ රටේ පැළවුණක් නොව, “උඩින් ගෙනැවුත් පැටවූ” බර වචනෙන් කියනවා නම් “උත්තරා රෝපණය” කළ එකකි. එය මෙරටේ ක්‍රියාත්මක කළේ සහ වුණේ “හිරු නොබසින අධිරාජ්‍යයේ” මහ ඇත්තන්ට වුවමනා පරිද්දෙනි.
කොටින් ම මේ රෙට් “ධනපති ක්‍රමය” අවජාතක “සිස්ටම්” එකකි. ඒත් එක්කම පසුගිය සමයේ ලෝක බල තුලනයේදී “රුසියාව ප්‍රධාන කොටගත් සමාජවාදී බලය ද සමානව බලපැවැත්වූ හෙයින්, ඒවායේ අංගෝපාංගද අපේ ධනපති ක්‍රමයට කළවං විය. මේ කළවම තුළම ජන්මය ලැබූ අපේ වත්මන් “වම” ටද ඒ “කළවම්” ලේ උරුමය ඇති වග නම් මින් මනාව පෙනේ. අනිත් සියල්ල “ඕසෙට” පෞද්ගලීකරණය වෙලා තිබියදී එකක් අල්ලා ගෙන එය පමණක් රැක ගන්නට තනන්නේ එබැවිනි.
හරි හැබෑව නං විය යුත්තේ, පවතින යථාර්ථය තේරුම් ගෙන එයට මුණ දීමයි. “සයිටම්” හි ඇති ප්‍රධාන අවුල එහි “ප්‍රමිතිය” නම්, එය වඩා ජනතාවාදී එකක් කරවන්නට අරගලය කිරීමයි.
ඒ ඔස්සේ “ඡන්ද කුට්ටි” සිහින නොදැකීමයි. මේ උන්නැහෙලා හිටි තැන් වලින් පල්ලම් බහින වේගය අනුව, මතුවට පවතින්නට නම් “ඡන්ද කුට්ටි” සිහිනය ඔස්සේ යා යුතුව ඇති බවද, වෙන විකල්පයක් උන්දලාට නැති බවද ඇත්තය.
ඒත් තකතිරුවාට හිතෙන්නේ මෙහෙමය, නිදහසට පස්සෙන් පහු දේශපාලනය කරපු ඇත්තන්, ඇත්තියන්ගේ හෙයියාව නම් සියල්ලම භුක්ති විඳ ඇති “ජනතාව” ඉස්සර ජනතාව නොවේය.
ඔවුහු “දාස්කැපිටාලයෙන්, පොතින් පතින් නොව, ප්‍රායෝගික අත්දැකීමෙන් ම දේශපාලනය හඳුනති. ඔවුනගේ ඡන්ද කඩා ගන්නට ඔය ජාතියේ උපක්‍රම දැන් වලංගු නැති ගානය. ඒවාට ගත කරන කාලය තම තමංගේ ගෙදර වැඩ වලට, නොහොත් පක්ෂය ගොඩ නඟා ගන්ට, අහිතවත්තු හිතවත් කොර ගන්නට, අලුත් හිතවත්තු ඇති කර ගන්නම වැය කිරීම මේ ඩීල් එකට වඩා අගනේය.
කමල් පී. අලහකෝන්