![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/17/bandage-wakkiya-2016-1.jpg?itok=FLL9yGFP)
අපේ නිමලයගෙ වම් ඇහැ පේන්නැතුව යන්ඩ පටං අරං කියලා අපේ මායියා කුරු කුරු ගානවා. නිමලෙටත් වැඩිය කැක්කුම උන්දැට. ඔයිම්මෙයිං වගේ දකුණු ඇහැත් කහනව වගේ දැනෙන්ඩ පටං ගත්තා. මං ගියා නිමලෙ හම්බුවෙන්ඩ.
“මොක ද මලේ ඇහැට උනේ?” මං ඇහුවා.
“හිටි ගමන් කැක්කුමක් ආවා. දැන් නිකං දැලක් දැම්මා වාගේ” නිමලෙ කීවා.
“උඹැහෙ ටීවී එකෙං ඒකාබද්ද විපක්සෙ වමේ මන්තිරිලා කියන කතා අහනව ද?”
“ඇහෙන්නෙ නං නෑ බණ්ඩයියෙ. අපේ මායියා අහද්දි එහෙං මෙහෙං ඇහෙනවා. ඒ හින්දා එබිලා බලනවා.”
“ඕක තමයි වම් ඇහැම රිදෙන්නෙ. නහින දෙහින කාලෙ ආව ම තමුන්ගෙ සරීර සවුක්කිය ගැන හිතන්ඩෝ නැ නේද?”
“මං ඇස්වාට්ටුවට යන්ඩයි හිතුවෙ”
“හා යමල්ල. මගෙත් දකුණු ඇහැ රිදෙනවා”
අපි දෙන්නා බත් මුල් දෙකක් බැඳගෙන විලාකටුපොත හන්දියෙං කොළඹ හයේ නැඟලා කොටුවෙං බැස්සා. දෙයි හාන්දුරුවනේ! පනහක ඉතර ජන සන්නිපාතයක් උපවාසයක් පටං අරං. පොලිස්සිය ජල ප්‍රහාරක යාත්තරා සූජානම් කොරගෙන.
“උන්නැහෙ මොකද්ද මේ උපවාසෙ?” මං මගියෙකුගෙං ඇහුවා.
“හමුදා රස්සාවෙං කලින් අස්වෙච්ච උදවිය පැන්සොං එකක් ඉල්ලනවා.” ඒකෙ විත්තිය බල බලා ඉද්දි බස් බොලොක් වෙලා. මායි නිමලෙයි පයිම් ම ගාටන්ඩ පටං ගත්තා. ඊගල් බයිස්කෝප් හෝල් එක කිට්ටු වෙද්දී රතු කමිස ඇඳ ගත්තු කොල්ලො විස්සක් විතර මහා උද්ගෝසනයක්.
“සයිටම් හොර උපාදි කඩේ වසා දමනු” කොල්ලො කෑ ගහනවා.
“ඕක සිල්ලර බඩු විකුණන කඩයක් ද?” මගියෙක් නිමලෙගෙං ඇහුවා.
“මුලින් රාජපක්ෂ කඩේ ගැන කීවා. ඊළඟට සිරිසේන කඩේ ගැන කීවා. දැං කියන්නෙ සයිටම් කඩේ ගැන” නිමලෙ මුණු මුණු ගෑවා.
ඔය විදියට ඇස් වාට්ටුවට යනකම් ම මග දිගට පෙලපාලි. ලිප්ටන් වටරවුමෙ පෙලපාලිකාරයො පදිංචි වෙලා. උගුර කට වේලිලා හින්දා අන්නාසි වෙළෙන්දෙකුගෙං ගත්තා අන්නාසි පළුවක්.
“උන්නැහෙලා කොළඹින් පිට වගේ” වෙළෙන්දා ඇහුවා.
“හුම්! අපි විලාකටුපොත. උන්නැහේ කොහෙද?
“අපි සඳලංකාවෙ. කොළඹට ආවෙ අන්නහි ටික විකුණලා යන්ඩ. දැං යන්ඩ හිතෙන් නෑ.”
“ඒ මොකද?”
“අපි මෙහෙ පදිංචි උනා. ගමෙන් අන්නහි ගෙන්නා ගන්නවා. මෙහෙදි කපලා විකුණනවා.”
“කාට ද?”
“පෙලපාලි යන අයට”
“ගෙදර යන්ඩ අදහසක් නැද්ද?”
“එන්ඩ පරක්කු හින්දා පවුල ඇරිලා ගියා ළමයිනුත් අරං. වෙළෙඳාම සරු හින්දා දිගට ම ඉන්නවා.”
“ඒ කාලෙට වඩා මේ කාලෙ හොඳ ද?”
“ආයෙත් අහලා. ඒ කාලේ අන්නහි කෑල්ලක් විකුණන්ඩ බෑ. ආරක්සක ලේකම්ගෙ නීතිය පෙලපාලි යන්ඩත් බයයි. අද මේ දෙකට ම නිදහස”
“ආණ්ඩුව හොඳයි ද?”
“මොනව කියනවද උන්නැහේ. බයක් හැකක් නැතුව පෙලපාලි යන්ඩ දුන්න එක ම ඇති නොවැ. ඒකෙන් තමයි අපි අද කාලා ඇඳලා ඉන්නේ. අම්මපා.”
ඔයිම්මෙයිං මයෙ වම් ඇහැත් රිදෙන්ඩ පටං ගත්තා. මං නිමලෙත් ඇදගෙන ඇස් වාට්ටුවට ගෑටුවා.