
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය, පසුගිය වසර දහයක් පුරා, ශ්‍රී ලංකාවේ නවකතා කලාවේ ගුණාත්මක නිර්මාණ බිහිවීම වර්ධනය කරනු වස් පිරිනමන ස්වර්ණ පුස්තක සම්මානයේ සමීප රූපයක් ඉන්ද්‍රචාප දකී. සම්මාන පිරිනැමීමේ ක්‍රමවේදය, මෙතෙක් සම්මාන පිරිනමන ලද නවකතා පිළිබඳ සෑම උලෙළකින් ම පසු ඇති වූ, සංවාද විසංවාද, චෝදනා, ගල්මුල් නො අඩුවුවත්, දශකයක් පුරා සම්මාන උලෙළක් අඛණ්ඩව පවත්වාගෙන ඒම දුෂ්කර කටයුත්තක් බවයි, ඉන්ද්‍රචාප සිතන්නේ. එහෙත් 2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානය අවසන්වීමටත් පෙර, උලෙළ අවසන් නවකතා තෝරාගැනීම පිළිබඳ උණුසුම් වාද විවාද පැන නැගුණේ ඔවුන්ගේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පෙනෙන්නට නො තිබුණ බැවිනැයි ඉන්ද්‍රචාප කල්පනා කරයි. එහෙත් ඒ සිදුවීම් 2016 සම්මාන උලෙළත් සමඟින් අවසන් වී ඇතැයි ඉන්ද්‍රචාප කල්පනා කරයි. 2017 වර්ෂයේ ඇරැඹුමත් සමඟ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය විසින් පළකරන ලද මාධ්‍ය ප්‍රවෘත්තියක් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසුවේ. එපුවත කියවා අවසන් වූ සැණින්, ඉන්ද්‍රචාප ගේ සිත සතුටින් පිනා ගියේ, ස්වර්ණ පුස්තක නවකතා සම්මානය ඇරැඹු අවධියේ සිට ඉන්ද්‍රචාප ඇතුළු තවත් බොහෝ සාහිත්‍ය හිතෛෂීන්, නවක නිර්මාණකරුවන් විසින් කරන ලද ඉල්ලීමකට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබූ බැවිනි.
ඉන්ද්‍රචාප, ස්වර්ණ පුස්තක නවකතා සම්මානය පිරිනැමීම අගය කරමින්, වසර දහය පුරා වරින්වර, සහෘදයකු ලෙස ද කවියට හිතැත්තකු ලෙස ද සඳහන් කොට සිටියේ, සාහිත්‍ය සම්මානයක් නවකතාවට පමණක් සීමා කිරීම එතරම් අර්ථවත් කටයුත්තක් නොවේය කියායි. සාහිත්‍යය මූලික වශයෙන් නවකතාව, කෙටිකතාව හා කවිය යන ප්‍රකාශන මාධ්‍ය සමඟ බැඳී පවතින්නක් බැවින්, කවිය, කෙටිකතාව නොසලකා හැරීම පිළිබඳ ප්‍රකාශකයන්ගේ සංගමය යළිත් සිතා බැලිය යුතු බවයි, ඉන්ද්‍රචාප, එදා සහෘදයකු සේ අවධාරණය කොට සිටියේ. ඉන්ද්‍රචාපගේ අවධාරණයට හේතු වන කාරණා ද වරින්වර ප්‍රකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්, නිලධාරීන් හමුවන අවස්ථාහි දී ද ප්‍රකාශක බව මතකය. අන් කවර කාලයකටවත් වඩා, පසුගිය වසර කිහිපය තුළ, සිංහල කවිය පිළිබඳව විශාල උනන්දුවක් ඇති වී ඇති බව ඉන්ද්‍රචාපට හැඟේ. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තොරතුරු අනුව වර්ෂයකට ප්‍රකාශයට පත්වන කාව්‍ය සංග්‍රහ සංඛ්‍යාව සියයත් එකසිය පණහත් අතර වේ. එසේ පළකරනු ලබන කාව්‍ය සංග්‍රහ ජනගත කිරීමේ උලෙළ ද අගනුවර මෙන් ම අගනුවරින් බැහැර ප්‍රාදේශීයව ද පැවැත්වෙන බව ඉන්ද්‍රචාප දකී. මුහුණුපොත Facebook ඔස්සේ කාව්‍යකරණයට පිවිසීමේ ඉඩකඩ අසීමිත වීමත්, එමගින් ම නව කවි කිවිඳියන් ගේ කෘතිය හා දොරට වැඩීම් සඳහා ප්‍රචාරයක් ලබාගැනීමට හැකිවීමත්, කවිය පිළිබඳ මෑත කාලීන අසාමාන්‍ය උනන්දුවට හේතු වීද කියා ඉන්ද්‍රචාප කල්පනා කරයි. ප්‍රමාණාත්මකව කාව්‍ය කෘති විශාල සංඛ්‍යාවක් බිහිවීම අගය කළ හැකි වූවත් ගුණාත්මක බවින් යුත් කාව්‍ය සංග්‍රහ ප්‍රමාණයට සාපේක්ෂව පළ නොවන බවයි ඉන්ද්‍රචාපගේ නිරීක්ෂණය.
වාර්ෂිකව පළවන කාව්‍ය සංග්‍රහ සංඛ්‍යාව අතරන් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට එකතුවන හොඳ කවි පොත් සංඛ්‍යාව ඇතැම් අවස්ථාවක දෑතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩුය. නවකතාව, කවිය, කෙටිකතාව යන සාහිත්‍ය ප්‍රභේද අතර, කෙටිකතාව තවමත් තුන්වැනි ස්ථානයේ ම වේය කියායි ඉන්ද්‍රචාප සිතන්නේ. කවිය තරම් වේගයෙන් කෙටිකතා සංග්‍රහ පළ නොවූවද, මීට වසර හතරකට පහකට පෙර පැවැති තත්වයට වඩා කෙටිකතාව කෙරෙහි උනන්දුව වැඩි වී ඇති බව සමීපරූපයට හසුවේ.
කවිය මෙන් නොව, වාර්ෂිකව පළවන කෙටිකතා අතර, ගුණාත්ම බවින් යුත් නිර්මාණ සංග්‍රහ රැසක් ම අත පත්වන බව පැවසිය යුතුය. කෙසේ වුවත්, නවකතාවට සමගාමීව, කාව්‍ය සංග්‍රහයකට, කෙටිකතා සංග්‍රහයකට, සම්මාන පිරිනැමීමට සංගමය විසින් ගෙන ඇති තීරණය, කාලීන වටිනාකමකින් මෙන් ම, ඔවුනගේ අරමුණ සේ ඉන්ද්‍රචාප විශ්වාස කරන යහපත් සාහිත්‍ය කලාවක් බිහි කිරීමට ඔවුන්ගේ දායකත්වය ද සංකේතවත් කරන්නකි. කවියට, කෙටිකතාවට, ස්වර්ණ පුස්තක නවකතා සම්මානයට සමගාමීව පිරිනැමෙන සම්මානයකින්, නව කවි කිවිඳියන්, කෙටිකතාකරුවන් රැසකගේ මුහුණු ඉන්ද්‍රචාපගේ සමීප රූපයෙහි ඇඳෙනු නිසැකය. එසේ වේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයට යළිත් තුති මලක් පුදමින් ඉන්ද්‍රචාප සමුගනී.