බොලිවුඩයේදීපිකා හොලිවුඩයට | සිළුමිණ

බොලිවුඩයේදීපිකා හොලිවුඩයට

බොලිවුඩයේ මුල් පෙළේ නිළියක වන දීපිකා පදුකෝන් මේ වන විට ලොව ඉහළම ගෙවීම් ලබන නිළියකි. ඇය ප්‍රධාන චරිතය රඟන හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය XXX Return of Xander Cage මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ.
කෝපන්හේගන් හි ඉපිද බැංගලෝරයේ හැදුණු වැඩුණු, දැනට තිස් හැවිරිදි දීපිකා 2006 වසරේදී මුලින්ම රඟපෑවේ ‘ඓශ්වර්යා’ නමැති කන්නඩ චිත්‍රපටයේය. ඒ වන විට ඇය විසි හැවිරිදි නව යෞවනියක වූවාය. ඊළඟ වසරේ එනම් 2007 දී ඇය ඉහළම ආදායම් වාර්තා තැබූ ‘ඕම් ශාන්ති ඕම්’ හි රඟමින් හොඳම නැඟී එන නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද දිනා ගත්තාය. ‘කොක්ටේල්’ (2012) චෙන්නායි එක්ස්ප්‍රස් (2013) හැපි නිව් ඉයර් (2014) හා බජිරාඕ මස්තානි (2015) ඇය රැඟු තවත් ජනප්‍රිය වූ චිත්‍රපට අතරින් කිහිපයකි. රාම් ලීලා (2013) හා පිකු (2015) සිනමාපටවල ඇගේ රංගනයන් සඳහා වසරේ හොඳම නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය පිරිනැමිණි.
දීපිකා පදුකෝන් හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තෝරා ගැනුණු බව නිල වශයෙන් නිවේදනය වූයේ 2016 වසරේ ජනවාරි 1 දාය. ඒ XXX චිත්‍රපට පෙළේ නවතම දිගුව සඳහාය. ක්‍රියාදාම චිත්‍රපට‍ පෙළක් වූ එහි මුල් චිත්‍රපට දෙක XXX (2002) හා XXX State of the Union (2005) ඊට පෙර තිරගත වී තිබිණි. එම චිත්‍රපට පෙළේ තෙවැන්න වූ XXX; Return of Xander Cage හි ප්‍රධාන චරිතයක් සඳහා දීපිකා පදුකෝන් තෝරාගෙන තිබිණි.
අතිදක්ෂ ක්‍රීඩකයකු හා සටන්කරුවකු වූ එක්සැන්ඩර් කේජ් රජයේ ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කළ අතර පසුව බොහෝ අය සිතා සිටියේ ඔහු මියගියා කියාය. ඇත්තෙන්ම තමන් ගත් තීරණයකට අනුව ඔත්තු සේවා ක්ෂේත්‍රයෙන් පිටුවහල්ව අප්‍රසිද්ධියේ ජීවත්වූ එක්සැන්ඩර් නැවත ඔත්තු සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සී. අයි. ඒ. මෙහෙයුමක් සඳහාය. ක්සියැන්ග් නමැත්තා ‘පැන්ඩෝරා පෙට්ටිය’ යනුවෙන් හැඳින්වෙන බලගතු අවියක් සොයාගෙන ඇති අතර ඒ හරහා ඔහුට පෘථිවිය වටා කක්ෂගතව ඇති සෑම චන්ද්‍රිකාවක්ම පාලනය කිරීමේ හැකියාව ලැබී තිබේ. ලෝකයේ කටයුතු අවුල් කිරීමට පෙර ඔහු නිහඬ කරවීම එක්සැන්ඩර් කේජ්ගේ මෙහෙයුමයි. සෙරීනා උන්ගර් ඔහුගේ සහායට පැමිණෙයි.
කැනඩාවේ ටොරන්ටෝ, හැමිල්ටන් හා ඔන්ටේරියෝ යන නගරවලදී මෙන්ම ඩොමිනිකන් සමූහාණ්ඩුවේ හා පිලිපීනයේ ද මෙම සිනමා පටයේ රූගත කිරීම් සිදු කෙරිණි. එෆ්. ස්කොට් ෆ්‍රෙයිසර්ගේ තිර රචනයක් වූ XXX Return of Xander Cage ඩී. ජේ. කරුසෝගේ අධ්‍යක්ෂණයකි. එක්සැන්ඩර් කේජ් ලෙස ප්‍රකට හොලිවුඩ් නළු වින් ඩීසල් ද, සෙරීනා උන්ගර් ලෙස ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ද රඟන මෙහි ක්‍රිස් වූ, ඩොනී යෙන් රූබි රෝස්, ටෝනි ජා, නිනා ඩොබ්රෙව් හා සැමුවෙල් එල්. ජැක්සන් ද රඟති.
චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය ජනවාරි 5 දා මෙක්සිකෝ නගරයේ දී පැවැත්විණි. පසුගිය 20 සිකුරාදා අමෙරිකාවේ හා ලොව පුරා තිරගත කෙරුණු XXX Return of Xander Cage පසුගිය ජනවාරි 14 දා ඉන්දියාවේ තිරගත කෙරුණේ දීපිකා පදුකෝන්ට ගෞරවයක් ලෙසිනි. චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වීමට හොලිවුඩ් නළු වින් ඩීසල් ද ඉන්දියාවට පැමිණියේය.
මෙම චිත්‍රපටයට විචාරකයන්ගෙන් හිමි වී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයන්ය.
“ක්‍රියාදාම චිත්‍රපට රසිකයන්ට මෙහි කතාවෙන් හෝ ක්‍රියාදාමයන් වෙතින් නව රසයක් අලුත් අත්දැකීමක් ලැබෙන්නේ නැත” එක් විචාරකයකු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දියාවේදී XXX චිත්‍රපට පෙළේ තෙවැන්නට යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන්නේ ය කියාය. එය විමතියට කාරණයක් නොවේ. සිය සම්මානනීය නිළිය හොලිවුඩ් පුරවරයට ගොස් දක්වන දස්කම් දැකගන්නට ඉන්දීය සිනමා රසිකයන් මහත් උනන්දුවක් දක්වනවා නිසැකය.
‘වැරැයිටි’ සඟරාව හා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් වින් ඩීසල් පසුගියදා සඳහන් කළේ XXX චිත්‍රපට පෙළේ සිවුවැන්නේ රූගත කිරීම් මේ වසරේ මැයි මාසයේදී ඇරැඹීමට නියමිත ය කියායි. 

Comments