
එහෙම නොවී තියෙයි ද?
“මගෙ නං ඔලුවත් එක්ක තෝන්තු වුණා වගෙ බං මේ චිත්‍රපටිය බැලුවම.’ චිත්‍රපටය නිමා වීමෙන් පසු සිනමා ශාලාවේ බාර් එකෙන් ලබාගත් මීවිත වීදුරුව තොල ගාමින් සෙනෙවිරත්න කීවේ තමා සමඟ සිටි නාඔටුන්න දෙස බලමිනි.
දැන් ඔය චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයේ ගැහැනු කෙනාට පිස්සු හැදෙන්නෙ. අම්මා, තාත්තා, ස්වාමිපුරුෂයා. ඒ වගේ ම දරුවෝ දෙන්නා හැමෝම තමන්ගේ ඇස් ඉදිරිපිටම විනාශ වුණු හින්දනෙ. දැන් මේ අපිට පිස්සු හැදෙන්නෙ මේ වගෙ කසිකබල් චිත්‍රපටි බැලුවාමනෙ. නාඔටුන්න කීවේ දෙවැනි වීදුරුව ද තම මුවට ළංකර ගනිමිනි.
පොල් ගේන්නෙ එහෙන්
“ගාමිණී බාසුන්නැහේ ගෙදර ඉන්නවද?” තම බයිසිකලය වඩු බාස්ගේ ගේ ඉදිරිපිට නැවැත්වූ චමිල ගෙදර මිදුලේ මල් ගස්වලට වතුර දමමින් සිටි බාසුන්නැහේගේ බිරිය ගෙන් විමසීය.
“නෑ මහත්තයා, එයා දැන් ටිකකට කලින් පොල් වගයක් ගේන්ඩ කියලා ගියා.” බිරිය කීවා ය.
“එයා පොල් ගේන්ඩ යන්ඩ ඇත්තේ හික්කඩුවේ මාර්කට් එකට නේද?” චමිල ඇසුවේ මාරකැට්ටුවට ගොස් බාස් මුණගැසීමේ අපේක්ෂාවෙනි.
“නෑ මහත්තයා, එයා ගියෙ සීනිගම දේවාලෙට.” බාසුන්නැහැගේ බිරිය බුලත්කහට බැඳුණු දත් පෙන්නා සිනාසෙමින් කීවා ය.
පැටළුණේ මොකද?
“මොකද බං උඹ ඊයේ උෙඹ් පවුලක් එක්ක හන්දියෙ ඉඳලා එන ගමන් පැටළුනේ?” මං බලාගෙන දෙන්නා එක්ක බහින් බස් වෙවී පාර දිගේ යනවා.” උදේ පත්තර කඩයට ගොඩවූ ලකීගෙන් විජිත ඇසුවේ සිනාසෙමිනි.
“අපේ ගෑනි තාරාවා වගෙ පැද්දි පැද්දී හෙමින් යනකොට ඒ පිටිපස්සෙන් ගාටන්ඩ කම්මැලි හිතිලා මම එයාට ඉස්සර වෙන්ඩ හැදුවාම මේ ගෑනි මාව දකුණු පැත්තට ඇදලා ගත්තනෙ. “මොකද තමුසෙ වැරැදි පැත්තෙන් ඉස්සර කරලා විසි පන්දාහක දඩයක් කන්ඩද ලැහැස්ති වෙන්නෙ” කියල මට තරහ ගියෙ ඒකයි” ලකී කීවේ ය.
එහෙම කරන්න බැරි ද?
“හාමිනේ ඔය කුණු පුච්චලා දාන්ඩ ඕනෙ හවසට නේද? එතකොටනෙ මදුරුවෝ වුණත් අඩුවෙන්නෙ” තම බිරිය මිදුල අතුගා එකතු කළ කුණු රොඩු සියල්ල පිළිකන්නේ කොනකට එක්කොට මද්දහනේම ගිනි තබනු බලා සිටි චන්ද්‍රසිරි කීවේ ය.
“ඒ වුණාට අනේ මේ දවස්වල හවසට වහින්ඩ පටන් ගන්නවනෙ” කුණු රොඩු ඉදලෙන් ගින්නට ළං කරමින් ශාන්ති කීවා ය.
“ඉතින් හාමිනේ වැස්සාම මොකද? ඔය කුඩයක් ඉහළා ගෙන කුණු ටික පුච්චලා දාන්ඩ පුළුවන්නෙ” චන්ද්‍රසිරි කීවේය.
එයා තමයි මිනිහා
“මේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් ගහන හාදයා අලුත් කෙනෙක් නේද? මිනිහා පුරුදු කාරයෙක් වගෙ හරි අගේට ඩ්‍රම් සෙට් එක ප්ලේ කරනවනෙ.” ගත වූ වසරට ආයුබෝවන් කියමින් එළැඹෙන වසරට ආසිරි පැතීම පිණිස කොටිකාවත්ත මංසන්ධියේ පැවැති සංගීත සංදර්ශනය නරඹමින් සිටි දැදිගම කළු අයියා දෙස බලා කීවේ ය.
“ඇයි දැදිගම තමුසෙට ඒ හාදයව අඳුර ගන්ඩ බැරි වුණා ද? අපි තේ බොන හෝටලේ කොත්තු රොටී ගැහැව්වේ ඔය හාදයානෙ” කළු අයියා කීවේය.
එඩ්වඩ් චන්ද්‍රසිරි