![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/10/tl-2.jpg?itok=vMecMNIt)
“තයිතම් එපා - තයිතම් එපා”
හීං එකෙක් කෑගහන සද්දයක් ඇහිලා මං මිදුලට ඇවිත් බැලුවා. බැලිඤ්ඤං අබිලිංගෙ මුණුපුරා කිරිඅම්මගෙ උකුලෙ ඉඳගෙන කෑ ගහනවා.
“කොලුව මොනවද එපා කියන්නේ? සූප්පුව ද?” මං ඇහුවා.
“මේ දවස්වල ටීවී පෙට්ටියේ ඇහෙන්නෙ සයිටම් එපා කියන එකමනෙ. හීං එවුන්ට පාඩම් වෙලා”
අබිලිංගෙ මායියා කියපි.
“මොනව දැනගෙන ද හැබෑට”
මට කියවුණා.
ඔය අව් අස්සෙ නිමලෙ ආවා විලාකටුපොත පොළට යන්ඩ.
“හා යමල්ල යන්ඩ” මාත් ගෑටුවා නිමලෙ පස්සෙං.
විලාකටුපොත හන්දියෙ රවුම්ඩෙබවුට්ටෙක ළඟ ටෑර් එකකට ගිනි තියලා දකිද්දි මයෙ ඇඟට හීං දාඩිය දැම්මා. රතු කමිසයක් ඇඳගත්තු කෙල්ලෙක් දේසනයක් පවත්වනවා. හත්තට දෙනෙක් කට ඇර ගන බලාගෙන ඉන්නවා. පොලිස් රාළහාමි කෙනෙක් ඒක දිහා හොරෙං බල බලා බැටන් පොල්ලෙං පිට කහ ගන්නවා.
“ආදරණීය අම්මෙ, තාත්තෙ, අක්කෙ, නංගියෙ අයියෙ මල්ලියෙ, පුංචි අම්මෙ, මාමණ්ඩියෙ, නැන්දෙ, මහප්පෙ, කුඩප්පච්චියෙ, කිරි අත්තෙ, කිරි අම්මෙ,.... ඉළන්දාරියා කියාගෙන කියාගෙන යනවා.
“පවුෙල කට්ටියට ද අඬ ගහන්නෙ?” නිමලෙ ඇහුවා.
“නෑ නෑ අපි ඔබලට අඬ ගහන්නෙ.”
“අහවල් කෙංගෙඩියට ද?”
“දැනුවත් කොරන්ඩ”
“ඒ කියන්නෙ අපි මොකවත් ම දන්නැද්ද?”
“දන්නව නම් අපටත් යන්ඩ පුලුවන් වෙන්ඩ එපැයි විස්ම විද්දියාලෙ. දැනුවත් වෙලා ඉන්න අය තමයි විස්ම විද්දියාලෙ ඉඳල ඇවිත් අපිත් දැනුවත් කොරන්නෙ”
“ඉතිං දැනුවත් කොරන්ඩ මොට ද ටයර්”
“නිකම් ම කීවට දැං ඉන්න ගොං හරකුන් දැනුවත් වෙන්නෑ නෙ. ඒකයි දුමක් එහෙම ගහලා වස් දොස් ඇරල ම පටන් ගන්නෙ”
“දැම් මේ වළපයයි ගොඩ පයයි තියාගන දැනුවත් වෙලා අපි මොනවා කොරන්ඩ ද? වැඩිහිටි අද්යාපනේ කියන්නෙ ඕකට ද?”
“කන්න දෙකක් කෙළවිලා බඩේ බත්තුලක් නැතුව වේලි වේලි ඉන්න එකේ ඩිංගක් දැනුවත් උනොත් නරක් වෙනව ද?”
විස්ම විද්යාල කොලුවට සහයට ආපු කොලුවෙක් අපි ළඟට ආවා.
“ඔය ළමයි කොහෙන් ද?”
“අපි අන්තරෙං”
“අන්තරේ කීවෙ අන්තර් කලාපෙන් ද? ”
කොලුවා ඔලොක්කුවට හිනා වුණා. අපේ නොදැනුවත්කොටම මොනවා කොරන්ඩ ද? දවසට එක වචනයක් හරි දැනගන්ඩ එපා යැ. අපේ ගොංකමට තේරෙන්නැති උනත් කොලුවා දිගට ම කතා කොරනවා. ලෝක බැංකුව, ඇමරිකාව, බටහිර කුමන්ත්රණ, ඩයස්පෝරාව ඔන්න ඔය විදියට ලැයිස්තුවක් ම කියාගෙන යනවා. අපේ ගොංකමට කොල්ලො කුරුට්ටො පලි ද? ඔයිම්මෙයිං මොළේ ටිකක් පෑදෙන්ඩ සැල්ටොංගෙ බාර්රෙකට ගෑටුවා. මම එකක් දාගන්න කොට නිමලෙ ගුඩුස් ගාලා ඩබලක් ම දා ගත්තා. ටික ටික මොළේ පෑදෙන්ඩ පටං ගත්තා. “දැං පුලුවං දැනුවත් වෙන්ඩ. යමු!” නිමලෙ ඉස්සර උනා.
දෙයියෝ සාක්කි! පොලිස් රාළහාමි බැටන් පොල්ල දික් කොරගෙන ඉන්නවා. කොල්ලො ටික දැනුවත් කොරලා ගෙහුං.
“දෙපා ළඟට ම දැනුම ගෙනැල්ලත් දැනුවත් වෙන්ඩ බැරි වෙච්ච හැටියක්! නිමලෙයි මායි සැල්ටොංගෙ බාර්රෙකට හැරුණා.
“නොදකිං අපි වාගෙ හරක්!”
මට කියවුණා.