තක-තිරුව | සිළුමිණ

තක-තිරුව

තකතිරුවා මේ රටේ ගරු කරන කාන්තා චරිතයක් ගජමන් නෝනා!

එකදාස් හත්සිය හතළිස් හයේදී මාතර දෙණිපිටිය පළාතේ උපත ලබන “දෝන ඉසැබල් පෙරුමාල් කොර්නේලියා” ඕං නම!

පෘතුගීසි, ලන්දේසි, දෙමළ නම්. නැත්තෙ සිංහල නමක් විතරයි. ඒත් කවුරුත් දන්නෙ, ගජමන් නෝනා කියල. ගජ, කියන්නෙ එක්කෝ හස්ති, ඇත්තු එහෙමත් නැත්නම්, අතිසමීප - ගජ මිතුරු, ගජ යාළුවා... කොහොමටත් උන්දැ ලංකා සාහිත්‍ය ඉතිහාසයෙ “ගජ” චරිතයක්!

“කල්යාණ පහම” උරුම කොටගෙන උපන්නා වගේම අපූරු වස්තු නිර්මාණය කිරීමේ හැකියාව, ඒ කිවුවෙ “ප්‍රතිභාව”ත් අරං උපන්න, කොර්නේලියා කාව්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළා කියන්නෙ හිටිනාමළුවෙ ධම්මජෝති හාමුදුරුවන්ගෙන්. මේ කියන යුගේ ලංකා සාහිත්‍ය ඉතිහාසෙ “මාතර යුගේ” එහෙමත් නැත්නම් “රන් සාහිත්‍ය යුගේ” කියල වෙනම ‘චැප්ටර්’ එකක්.

මේ චැප්ටර් එකේ ගජමන් නෝනා “පොරියක්” උනා! එසේම තවත් “පොරක්” හිටියා “ඇලපාත මුදලි” කියලා. ඇලපාත මුදලිත් ගජමන් නෝනාත් අතර සිද්ධ වුණ කවි ගනුදෙනු රස වෑහෙන ඒවා. විශේෂයෙන් ශෘංගාර රසය!

වරක් මුදලිතුමා කුඹුරක කරල් මිටි රැගෙන යන කතුන් පිරිසක් පිළිබඳ කවක් ගොතා ගජමන් නෝනාට යැවූවා.

රූබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ
වාසරයෙන් ඉන ඇඳිවත ඉවත් උනේ
වානර මුව සේ නැබ මුල ගති පෙනේ

එයට ගජමන් යැවූ පිළිතුර මෙහෙමයි.

කේසර එන්ට පළමුව ගජතුංග දක්සේ
වේ සර හට උවොත් තුරුළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෙන් ඇසුවොත් මේ වන දක්සේ
වානර මුව උලති හමයන තුරු හොස්සේ

ගජමන්ගේ දිවි පෙවෙත අළලා දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියා අතින් “ගජමන් පුවත” නමින් අර්ධ වාර්තා රංගයකුත්, රූපවාහිනී මාලා නාටකයකුත් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මේ නිර්මාණ, ඒවා තුළින් ඉස්මතු නොකෙරුණ ඒවා!

තවත් අවස්ථාවක, මුදලි කෙනෙක් ගජමන් නෝනාට මෙහෙම කවියක් යවනවා.

පන්නා ගත් තරිදු රිවි උදය වේලක
දෙන්නා සමඟ ගොස් ඉද අරණ ගාලක
ගන්නා වත් බීතෙන් ඉද නොවී සැක
පෙන්නා පන් ලදේ තුණු විල දවාලක

ඒකට ගජමන් නෝනා පිළිතුරු දෙන්නෙ මේ විදිහට.

තුණු විල බලන්නට මුගෙ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනා දවා ලක
තුණුවිල මැකිලා අඹුවගෙ මුලා වෙක
තුණුවිල බලා පිය අම්මගෙ දවා ලක

ගජමන් නෝනාගෙ චරිත ස්වභාවය ගැන හැඟීමක් ගන්ට, මේව හොඳ ‘මාපක’ කියල තකතීරුවට හිතෙනවා. කොහොම වුණත් සිය පියාගේ සැමියාගේ මරණවලින් පසුව අසරණ වෙන ගජමන් අන්තිමේ පිහිට පතන්නෙ, ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ මාතර ප්‍රදේශයේ “දිසාපති” වැනි තනතුරක් දරන ජොන් ඩොයිලිගෙන්.

සතර අනු දෙස තෙදනකින් යස පසිදු සරිවන සුරනිදුන්
විතර නොව වන මෙදිය තුළ සත කුමුදු හද කළ සොමිසදුන්
හතර දැඩිබල අනිත් රුපු කැන් එහෙත් ඔද හද කෙසරිදුන්
නිතර නමදිමි දිසාතුම ජොන් ඩොයිලි යුග හා කර මුදුන්!

 

Comments

පිටු