අපට ආදරේ රතු මකරා‍‍‍‍‍‍‍‍‍‍... | සිළුමිණ

අපට ආදරේ රතු මකරා‍‍‍‍‍‍‍‍‍‍...

 1957 පෙබරවාදා 7 දා යනු පසුගිය හැට වසර පුරා නිරන්තරව මල්ඵල ගන්වමින් පවතින විශේෂ සිද්ධියක උපත උදා වූ දිනයකි. එදා සිට මේ දක්වා දේශපාලන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික, ආරක්‍ෂක හා සංස්කෘතික කේ‍ෂ්ත්‍රයේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ දැවැන්ත ශක්තියක් අප සමඟ අතිනත ගත්තේ එදාය. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් චීනයේ බෙයිජිං නුවරද, චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයක් කොළඹ ද එකම දිනකදී විවෘත කරමින් දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීම එදා සිදුවූ ඓතිහාසික කාර්යය වූයේය.

1957 ජනවාරි 31 දා කල්තබාම ශ්‍රී ලංකාවට පැමිණ සිටි චීන අගමැති චෞ එන්ලායි අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සමඟ එක්ව, අපට 60 වසරක් පුරා අතිශය වැදගත් වෙමින් පවතින මෙම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට පදනම් ලුවෝය.

දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩු වෙනසක් සිදු වුවද, කුමන පක්‍ෂයක් අපේ රටේ බලයට පැමිණියද, චීන සම්බන්ධතාවේ හෝ සහයෝගයේ කිසිදු වෙනසක් මේ වසර 60 තුළ සිදු නොවීය. ශ්‍රී ලංකාවේ ජනතාවද, රාජ්‍යයද, විවිධ පරිපාලන තන්ත්‍රද අරබයා චීනයේ නොසැලෙන දේශපාලන ස්ථාවරය වූයේ සහෝදරත්වය පමණකි. සියවස් ගණනාවක් පුරා යටත් විජිතවාදයෙන් හා අධිරාජ්‍යවාදයෙන් සූරාකෑමට හා පීඩනයට ලක්වූ, අද පවා විදේශ තර්ජනවලින් විනර්මුක්ත නොවූ, අසල්වැසි ආසියාතික රටක් වශයෙන් චීනය අප සමඟ පසුගිය හැට වසර තුළම උරෙන්උර ගැටී සිටියාය.

පසුගිය දශක හය තුළ ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් විවිධාකාර ආර්ථික ආධාර හා මූල්‍ය පහසුකම් වෙනත් කිසිදු රටකට දෙවැනි නොවීය.

රටවල් අතර සම්බන්ධතා පැවැත්වීමේදී සාමකාමී සහජීවනය පිළිබඳ ප්‍රතිපත්ති පහ චීනයේ ගෝලීය පිළිවෙත වන්නේය. ස්වාධිපත්‍ය හා භූමි ප්‍රාදේශීය අඛණ්ඩතාව පිළිබඳ අන්‍යොන්‍ය ගෞරවය, අන්‍යොන්‍ය අනාක්‍රමණය, අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම,

සමානාත්මතාව හා අන්‍යොන්‍ය සහයෝගය සහ සාමකාමී සහජීවනය නම් මේ පංචවිධ ප්‍රතිපත්ති පදනම් කරගෙන චීනය මේ මුළු කාලය පුරා ශ්‍රී ලංකාවට සහයෝගය දී තිබේ. අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට බටහිර අධිරාජ්‍යවාදීන් තැත් කරද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කීප විටක්ම තම නිශේධ බලය පාවිච්චි කරමින් චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් නැඟී සිටියේ මෙම අනගි ප්‍රතිපත්ති පහ පදනම් කරගෙනය.

අපේ රටේ ආරක්ෂාව උදෙසා නිදහසින් පසු චීනය තරම් ශ්‍රී ලංකාවට ආධාර කළ වෙනත් කිසිදු රටක්, රාජ්‍යයක් නොවීය. තිස්

අවුරුදු බෙදුම්වාදී යුද්ධයේදී වෙනත් බොහෝ බලගතු රටවල් සෘජුව හා වක්‍රව කොටි ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙමින් තිබියද චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ලද අප්‍රමාණ ආධාර හා අවිආයුධ නොවන්නට යුද්ධයේ ජයග්‍රහණය ලබාගැනීම මීට වඩා බෙහෙවින් දුෂ්කර වනු නොඅනුමානය.

1950 ජනවාරි හයවැනිදා ළදරු චීන මහජන සමූහාණ්ඩුව ස්වාධීන රාජ්‍යයක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගෙන, ඊළඟට 1952 දී නව චීනයේ ආර්ථික හුදකලාව බිඳීමින් රබර්-හාල් ගිවිසුම අත්සන් කළ ශ්‍රී ලංකාව 1957 දී චීනය සමඟ තානාපති සබඳතා පිහිටුවාලීම චීනයේ මහත් ගෞරවාදරයට පත්වූ අන්තර් රාජ්‍ය සන්ධිස්ථාන තුනක් වන්නේය. ලෝකයේ ඇත්තේ එකම එක චීනයක් බවත්, ඒ චීන මහජන සමූහාණ්ඩුව බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ද සියලූ ජාත්‍යන්තර කේ‍ෂ්ත්‍රවලදීද ප්‍රතිපත්ති මූලිකව පිළිගත්තාය. 1971දී චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පූර්ණ සාමාජිකත්වය ලැබූ අවස්ථාවේදී චීන අග්‍රාමාත්‍ය චෞ එන්ලායි ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවාදරයක් ප්‍රකාශිතව පුද කළේ ඒ නිසාය.

ඉන්පසු කාලය තුළ නිරායුධකරණය, නව ජාත්‍යන්තර ආර්ථික පටිපාටියක අවශ්‍යතාවය, මුහුදු නීති සමුළුව, ඉන්දු චීනයේ අර්බුදය, මැද පෙරදිග ප්‍රශ්නය, ඊශ්‍රායල් ප්‍රශ්නය, ආදී ප්‍රධානතම ජාත්‍යන්තර මාතෘකාවල දී ශ්‍රී ලංකාවේ ස්ථාවරය චීනයට මුළුමනින්ම සමාන වූයේය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඉදිරිපත් කළ ඉන්දියානු සාගර සාම කලාප යෝජනාවට පූර්ණ සහයෝගය ලබාදුන් චීනය, නොබැඳී ජාතීන්ගේ ව්‍යාපාරය අරබයාද ශ්‍රී ලංකාවේ ස්ථාවරයට නිරන්තරයෙන් ආධාර කළාය.

ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සබඳතාවලට 60 වසර පිරීම මේ පෙබරවාරියේදී සමරනු ලබන්නේ තවත් එක් අනුස්මරණයක් වශයෙන් නොවේ. දෙරටකට අදාළ විය හැකි සියලූ කේ‍ෂ්ත්‍ර ශක්තිමත් කරමින් ගොඩ නැඟී ඇති මෙම ද්විපාර්ශ්වීය සබඳතාව ඉදිරි කාලය තුළදී සාමුද්‍රීය සේද මාවත පිළිවෙත ක්‍රියාත්මක වීම තුළින් ඉහළම තලයකට දියත්වීම නොවැළැක්විය හැකිය. මධ්‍යධරණී මුහුද, රතු මුහුද, මැද පෙරදිග, දකුණු ආසියාව සහ ඈත පෙරදිග අන්‍යොන්‍ය සංවර්ධන ක්‍රියා මාර්ගයක් තුළින් උසස් තලයකට ගෙන ඒමට යෝජිත මෙම සාමුද්‍රීය සේද මාවත පිළිවෙත, ඊළඟ දස වසර තුළ මල් ඵල දරන ශ්‍රී ලංකා - චීන රාජ්‍ය සම්බන්ධයේ නවමු අදියර වන බව නොඅනුමානය.

නීතිඥ ආනන්ද ගුණතිලක
ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ සභාපති 

Comments