තොරතුරුවලට මිලක් තියෙනවද? | Page 3 | සිළුමිණ

තොරතුරුවලට මිලක් තියෙනවද?

 කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකි. නීතිඥවර‍යෙකි. සමාජ ක්‍රියාකාරිකයෙකි. තොරතුරු දැන ගැනීමේ පනත, එහි ප්‍රතිලාභ සහ ජනතාවට මෙමඟින් ලැබෙන වාසි මොනවාද යන්න ගැන දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සැකැසිණි.

 

රටේ පුරවැසියකු නම් ඔහුට හෝ ඇයට තම බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනවලින් සිදුවන්නේ කුමක්ද ඒවායේ නිලධාරීන් කරන්නේ මොනවාද කියා සොයා බැලීමට පූර්ණ අයිතියක් තිබේ. එය මූලික අයිතියක් ලෙස සඳහන් කළ ද එහි වරදක් නැත. එහෙත් මේ අයිතිය නිසි ලෙස භුක්ති විඳීමට පසුගිය කාලයේ දී කිසිවකුට ඉඩක් නොලැබුණා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. සත්‍ය ලෙසම මෙය කනගාටුදායක කරුණකි. පුරවැසියන්ට මෙම අයිතිය අහිමි වූයේ යැයි සඳහන් කිරීම තුළ පවා රටේ ජනතාව මුහුණ දෙන කනගාටුදායක ඉරණමේ තරම විග්‍රහ කර දැක්විය හැකිය.

පසුගිය කාලයේ ඉදිරිපත් කළ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු ලබා දිමේ අයිතිය තහවුරු කළ ද එය දුෂ්කර ව්‍යායාමයක් බවට පත්ව තිබුණි. එහිදි රාජ්‍ය ආයතනයක් ජනතාව විමසූ කළ තොරතුරු ලබා දීමට බැඳී සිටිය ද යම් හෙයකින් එම තොරතුරු ලබා දීම රාජ්‍ය ආයතනය ප්‍රතික්ෂේප කළහොත් එයට විරුද්ධව ගත හැකි එකම ක්‍රියාමාර්ගය බවට පත්ව තිබුණේ ඉහළ උසාවියට ගොස් නඩු පැවරීමය. එහෙත් අප වැනි රටක සාමාන්‍ය පුරවැසියකුට ඉහළ උසාවියකට ගොස් නඩු පැවරීම යනු දුෂ්කර සහ වියදම් අධික ක්‍රියා පිළිවෙතකි. මේ නිසා දහනව වැනි සංශෝධනයේ වූ තොරතුරු දැන ගැනීමේ අයිතිය යන කරුණ හුදු වචනයක් බවට පත්ව තිබුණේ යැයි සඳහන් කිරීමේ වරදක් නැත.

රජය ගෙන ආ නව තොරතුරු ලබා දීමේ පනත මඟින් මෙම දුෂ්කර තත්ත්වය වෙනස් කර ඇති අතර මෙමඟින් රාජ්‍ය ආයතන කාර්ය භාරය ගැන තොරතුරු ලබා ගැනීමට ජනතාවට පැහැදිලි ඉඩක් විවර කර දී තිබේ. මෙය පුරවැසියන් සතු තොරතුරු ලබා ගැනීම යන අයිතියට ලබා දුන් ප්‍රබල වලංගු භාවයක් ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරැදිය. කවුරුන් කෙසේ කීවද අප බදු ගෙවමින් නඩත්තු කරන ආයතන ගැන අවශ්‍ය තොරතුරු ලබා ගැනීම අතිශය වැදගත් කරුණකි. එය තහවුරු කිරීමට ආණ්ඩුවක් යම් ක්‍රියා මාර්ගයක් ගන්නේනම් එය ප්‍රගතිශීලී සහ ඉදිරිගාමි කරුණක් ලෙස පෙන්වා දීම ඉතාම නිවැරැදිය.

මෙහිදී සමහරුන් නඟන ප්‍රතිතර්කයක් වන්නේ මෙම පනතින් පවා සියල්ල නිරාවරණය කිරීමට හෝ සියල්ලටම අදාළ තොරතුරු ලබා දීමට කටයුතු සිදු නොවන බවයි. එය සාමාන්‍ය දෙයකි මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා ඇතැම් කරුණුවලට යම්කිසි සීමා මායිම් පනවා තිබේ. භාෂණයේ නිදහස ගැන කතා කළ ද එතැන යම්කිසි සීමාවක් තිබේ. තොරුතුරු ලබා දීමේ පනත තුළ පවා මෙවැනි දේ තිබිය හැකි වුවද මෙය අසාධාරණ දෙයක් නොවේ.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කළ පමණින් සියල්ල හරි යැයි සිතනවා නම් එය වැරැදිය.මෙම තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතුය. දැන් ඒ සඳහාද යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබේ. එහි දී පනතට අදාළ සියලු රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා දීමේ නිලධාරියෙක් පත් කරනු ලබයි. එම නිලධාරියා මහජනතාවට තොරතුරු ලබා දීමට නෛතිකව බැඳී සිටී. එනිසා මෙමගින් ජනතාවට විශේෂ පහසුකමක් ලැබී තිබේ. උදාහරණයකට පාසලක් ගනිමු. එම පාසලේ අනධ්‍යයන සේවකයකු හෝ ගුරුවරයකු මෙම කාර්ය සඳහා පත් කළ යුතුය. එහිදී ඔබට මෙවැනි ප්‍රශ්නයක් මතුවිය හැකිය. පත් කළ නිලධාරියා එම කාර්ය නිසි ලෙස ඉටු නොකළහොත් හෝ එම තොරතුර ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් මීළඟට කරන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.එහිදි කළ යුතු පියවර වන්නේ එම ආයතනයේ ඉහළ නිලධාරියාට මේ ගැන පැමිණිලි කිරීමය. එතැනින් ද විසැඳුමක් නොලැබුණහොත් තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත යොමු විය හැකිය. එතැනින්ද විසැඳුම් නොලැබුණහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු විය හැකිය. තොරතුරු ලබා ගැනීමේ පනතේ යාන්ත්‍රණය නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයටය.

එහෙත් තොරතුරු ලබා දෙනවා යැයි කියා කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු , පෞද්ගලික චර්යාවන් ගැන තොරතුරු හෝ රෝගි තත්ත්වයන් ගැන තොරතුරු ලබා දීමක් මෙමගින් සිදු නොවේ. මෙහිදි මහජනතාගේ අවශ්‍යතාව කුමක්ද යන්න ගැනද හොඳ විමසීමක් කරන අතර තරාදියකට දමා බලන ආකාරයට විමසා බලා අවශ්‍ය තොරතුරක් වේද එය ලබා දිමට රාජ්‍ය ආයතනය කටයුතු කළ යුතුය. මහජන සුබසාධනය යන කරුණ මෙතැනදී මූලික කරුණ ලෙස සලකන අතර හැම විටම මහජනතාවට වාසිදායක ලෙස තීන්දු තීරණ ගැනෙනු ඇත.

දශක හතකටත් එහා කාලයක දී ගෙන ආ ඉතාමත් වැදගත් සහ ජනතාවට අතිශය ප්‍රයෝජනවත් පනතක් ලෙස තොරතුරු දැන ගැනීමේ පනත හඳුන්වා දීමේ වරදක් ඇතැයි මම නොසිතමි. වර්තමාන ආණ්ඩුව සිදු කළ අතිශය වැදගත් කාර්යයක් ලෙස ද මෙම තොරතුරු ලබා ගැනීමේ පනත හඳුන්වා දීමේ වරදක් නැත. සැබෑ ලෙසම මෙතෙක් පැවැති පිළිවෙත වූයේ රාජ්‍ය ආයතන බොහොමයක් උත්තරීතර ආයතන සහ ජනතාවට ඉහළින් සිටින ආයතන ලෙස සිතා කටයුතු කිරීම සහ ජනතාවට ලැබිය යුතු කිසිදු තොරතුරක් ලබා දීමට කටයුතු කිරීමය. නැතිනම් තොරතුරක් තිබුණ ද එම තොරතුරද සඟවා ගැනීමට උත්සුක වීමය. ඇත්තෙන්ම තමන් විසින් නඩත්තු කරන ආයතන සහ නිලධාරින් ගැන තොරතුරු දැන ගැනීම ජනතාවගේ පරම අයිතියකි.

පසුගිය දිනවල රජයේ නිලධාරීන්ට මෙම පනත ගැන වැඩමුළු රැසක් පැවැති අතර මෙම වැඩමුළුවලදී අනාවරණය වූ කරුණු වූයේ ඔවුන් මෙම පනත ක්‍රියාත්මක කිරීමට ත් ජනතාවට තොරතුරු ලබා දීමටත් බලවත් උනන්දුවක් දක්වන බවයි. මෙම තොරතුරු ලබා ගැනීමේ කාර්යේදී ජනතාවට වැයවන්නේ පෝරමයක මිල වැනි ඉතාමත් සුළු මුදලක් වුව ද එයින් ලැබෙන තොරතුරු මිල කළ නොහැකි දේ ලෙස සඳහන් කළ හැකිය.

පසුගිය කාලයේදී විශාල කතාබහක් ඇතිවූ දේ වූයේ රජය විවිධ ව්‍යපෘති කරද්දී විශාල මුදල් ප්‍රමාණ අවභාවිතය වූබවයි. එයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද ඒවා ගැන තොරතුරු දැන ගැනීමට ජනතාවට අවස්ථා අහුරා තැබීමයි. අවස්ථා අහුරා රහසින් කරන ව්‍යාපෘතියක දී දූෂණ සිදුවිය හැකි අවස්ථා විශාල වන අතර තොරතුරු අනාවරණය කර ගත හැකි ලෙස ඒවා ක්‍රියාත්මක වූයේ නම් දූෂණයන් යම් ප්‍රමාණයකට හෝ පාලනය වීමට ඉඩ තිබුණි. තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක වූ පසු මහජන මුදලින් ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘති ගැන වියදම් තොරතුරු ඇතුළු සියලු කරුණු අනාවරණයට අවස්ථාව සැලසෙනු නියතය. සැබෑ ලෙසම මෙය අගය කළ යුතු දෙයකි. එබැවින් මෙම පනත ක්‍රියාත්මක වී මාස හයක් ගත වූ පසු මෙහි ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ලැබෙනු නියතය.

මෙම තොරතුරු දැන ගැනීමේ පනත සමඟ තවත් විශේෂ පිරිසකට වාසියක් සලසා ගත හැකිය. එනම් රටක සිවුවැනි ආණ්ඩුව ලෙස හඳුන්වන ජනමාධ්‍ය ක්ෂේත්‍රයටයි. වර්තමානයේදී ද මාධ්‍යවේදියා තොරතුරු හඹා යන අතර ඔවුනට තොරතුරු හෙළිකර ගැනීමේ හැකියාවක්ද තිබේ. එහෙත් තොරතුරු දැන ගැනීම පනත බල ගැන්වූ පසු මාධ්‍යවේදීන්ට තමන්ට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට පහසුවක් සැලසෙනු ඇත. මෙය මාධ්‍යවේදියාට පමණක් සැලසෙන වාසියක් නොව පොදු ජනතාවට ද ලැබෙන වරප්‍රසාදයකි. එනිසා තොරතුරු දැන ගැනීමේ පනත සැම අතින්ම වැදගත් පනතක් වන අතර තිබූ පසුගාමී තත්ත්වයට වඩා තොරතුරු පනත බල ගැන්වීමෙන් පසු ඇතිවන තත්ත්වය ඉදිරිගාමීය.

අගැයුම් සහගතය. එම තත්ත්වය තවත් වර්ධනය කර පෙරට ගෙනයාම සියල්ලන්ගේ වගකීමකි. එමෙන්ම පසුගිය දශකයේ නොදියුණු පසුගාමී රටක් ලෙස අප රට වෙත වැදී තිබූ කළු පැල්ලම වෙනුවට දියුණු ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලෙස අප රටට ඉදිරියට යාමට මෙය හොඳ අවස්ථාවක් වනු නියතය.

සේයාරුව-රංජිත් අසංක 

Comments