![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/01/27/tl-5.jpg?itok=HpgVkHly)
සමාජය වෙනස් වෙනකොට සමාජ ආකෘතිය වෙනස් වෙලා ජනතාවත් වෙනස් වෙනව. ජනතාව වෙනස් වෙන කොට ජන සමාජයත් වෙනස් වෙනව. ඒත් මේ දෙකම එකට ගමන් කරනව. සමාජයේ දියුණුවට මේ දෙකම අවශ්‍යයයි.’
ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ. ආර්. ජයවර්ධන, කවුරුත් දන්න විදිහට. JR; තමන්ගෙ නමින් චින්තනයක් එහෙම නැත්නම් දර්ශනයක් ප්‍රකාශයට පත් කරල නෑ. ඒත්, JRJ දේශපාලන සූත්‍ර මැයෙන් ඔහුගේ ප්‍රඥාව ඒකරාශී කළ යුතුයැයි සමුනිට වැටහුණේ මීට ශතක කාලකට විතර ඉස්සරින්.
JRJ ගෙ විචාරශීලි බුද්ධිය හා ජීවන අරමුණ, ඉතිහාසයට තද බලපෑම් කරපු රාජ්‍ය තාන්ත්‍රිකයන්, දාර්ශනිකයන් හා වෙනත් ඕනෑම ආකාරයේ සිතුම් ධාරාවන් එක් කළ අයට වඩා වෙනස්. JRJ තමන්ගෙ ප්‍රඥාව දියුණු කරගත්තෙත් තියුණුව භාවිත කළේත් ආධ්‍යාත්මික බුද්ධි මහිමයත් එක්ක.
නිදහසින් පසු, අප රටේ දිලිසුණු දේශපාලන චරිත - ඒ කියන්නෙ පට්ට පොරවල් - කොච්චර නම් දෙනෙක් කාලෙන් කාලෙට ඉඳල ඇද්ද? ඒත් ඒ හැම කෙනෙක්ම අද ඉතිහාස තුළ විතරයි ජීවත් වෙන්නෙ. ඔවුන් එක්කො ඉතිහාස කුණු බක්කියෙ. නැත්නම් ඉතිහාස පූජාසනයෙ. ඒත් JRJ ට මේ දෙකේම වැඩි කාලයක් ඉන්න විදිහක් නෑ. ඔහු ඉතිහාසෙ කියල හිතන අය කාලෙන් කාලෙට ඔහුව කුණු බක්කියට විසි කරනව. ආයෙත් පූජාසනයෙ තියනව. ඒත් JRJ තුන්කල් ඉසිවර දැක්මක් මෙන්ම ප්‍රායෝගිකත්වයක් සහිත මිනිසෙක්. ඔහු ඉතිහාසයට බලපෑම් කර නැවතුණේ නෑ. වර්තමානයට වගේම නොපෙනෙන ඈත අනාගතයටත් තද බලපෑම් කරනව. ඔව්! මේ පුංචි දූපත ඇතුළේ විතරක් නෙවෙයි, දාර්ශනික විශ්වය තුළ.
අද දවසේත් අපේ මාධ්‍ය හා දේශපාලන කටකතා ඇතුළෙ කැකෑරෙන විධායක ජනාධිපති ක්‍රමය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන කාරණා දෙක JRJ ගෙ ආධ්‍යාත්මික බුද්ධි බලය සහිත රාජ්‍ය තාන්ත්‍රික කියුම් - කෙරුම් පරීක්ෂා කරන සමුනිට පෙනෙන්නෙ, නොදන්නා අනාගතයක් දක්වාම JRJ සාධකය ලංකාවට බලපෑම් කරයි කියල.
ඇයි මෙහෙම කියන්නෙ? මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න සිද්ධ වෙන්නෙ JRJ දේශපාලන සූත්‍ර අංක 1 මැයෙන් ඉදිරිපත් කරන ‘වෙනස් වෙනකොට වෙනස් වෙනව කියන’ සිද්ධාන්තය ඔස්සෙ. මේ ගැන අපි පරෙස්සමින් විපරම් වෙමු. මේ සූත්‍රයට අනුව, සමාජය වෙනස් වෙන කොට ජනතාව වෙනස් වෙන්න ප්‍රබල බලපෑම් කරන්නෙ සමාජ ආකෘතිය වෙනස්වීම කරන කොට ගෙන. ජනතාව වෙනස් වෙනකොට සමාජය වෙනස් වෙන්නෙත් සමාජ ආකෘතිය වෙනස් වීමෙන්.
හරි, මේ සූත්‍රයේ පවතින අංජබජල් ගතිය මෙහෙම ලිහාගන්න පුළුවන්.
JRJ සමාජය කියල අදහස් කරන්නෙ, ශ්‍රී ලංකාව තුළ එකට ජීවත්වෙමින් එහි ඇති නීති රීති, සංවිධාන, මානව ධර්ම හා සදාචාර ධර්ම බෙදා හදා ගන්නා මිනිස් සමූහයාට. රට වැසියන් සමන්විත සමූහ ඒකකයට.
සමාජය හෙවත් රටවැසියන්ගේ සමූහ ඒකකයට ආකෘතියක් ඇති බව ඔහු කියයි. ආකෘතියක් හෙවත් ව්‍යුහයක් උදාහරණයකින් මෙහෙම තේරුම් ගන්න පුළුවන්. පන්ති සමූහයක් එක් වෙලා පාසල කියන සමාජය හැදෙනව. ඒ වගේම ගුරු මණ්ඩලය, අනධ්‍යයන සේවක මණ්ඩලය, කැන්ටිම, පුස්තකාලය, විදුහල්පති කාර්යාලය ආදි දේත් තියෙනව. මේවා කිසියම් පිළිවෙළකට වගේම එකට එකක් යාවෙලයි තියෙන්නෙ. එනම් සංකීර්ණ යම් දෙයක සරල කොටස් අතර ඇති සම්බන්ධකම් හා ඒවා සැකසී ඇති පිළිවෙළ.
වෙනස්වීම ගැන තමයි JRJ මේ සූත්‍රයෙන් අවධාරණය කරන්නෙ. හැබැයි ඔහු කියන වෙනස සිද්ධ වෙන දෙයක් වගේ ඇඟෙව්වට, ඔහුගෙ ජීවිතයෙන් පෙන්නුම් කර ඇත්තේ ‘වෙනස’ සිද්ධ වෙන දෙයකට වඩා සිද්ධ කළ යුතු දෙයක් විදිහට. එක් තත්ත්වයකින් තවත් තත්ත්වයකට සමාජය පරිණාමනය විය යුතු බව මෙයින් අඟවනව. එහෙම නැත්නම් එක් සමාජ ක්‍රමයක් වෙනුවට තවත් සමාජ ක්‍රමයක් හුවමාරු කළ යුතු බව විශ්වාස කරනව. ඒ විතරක් නෙවෙයි ඒ වෙනස්කමේදී සමාජ සංකීර්ණයේ පිළිවෙළ හා බැඳීම් එකෙල මෙකෙල වන බව ද ඔහු අවධාරණය කරනව.
මේ සූත්‍ර අංක 1, වැල ගෙඩියකින් මදුලක් ගලව ගන්නව වගේ සමුනි ගෙනහැර පාන්නෙ, 1978 දෙසැම්බර් මාසයේ 10 දා, ශ්‍රී ලංකාවෙ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානය විවෘත කරමින් පදනම් ආයතනයේදී මනුස්සකම මැයෙන් JRJ කළ දේශනයෙන්.
මහා ධාරාණිපාත වැස්සක් වගේ තුනෙන් දෙකේ ජනවරමක් අරගෙන, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කරල, විධායක ජනාධිපතිත්වය තමන් මතට අරගෙන, පැරැණි ආවෘත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකයක් බිහිකරල, යම්තාක් දුරකට ජය පානයෙන් මත්වෙලා ඉන්න වෙලාවක තමයි මේ සූත්‍රය ප්‍රකාශයට පත් වෙන්නෙ.
අවුරුදු 40 කට විතර ඉස්සර තිබුණු සමාජය ගැන අද ඡන්ද දායකයන්ගෙන් බහුතරයකට තේරුමක් නැහැ. සමහරුන්ට අමතක වෙලා. ඒත් ඒ කාලෙ දොළොස් හැවිරිදි ළමයෙකු විදිහට සමාජ අහේනි අත්විඳි සමුනිට එදා JRJ කළ ප්‍රකාශයේ අරුත දැන් හොඳට වැටහෙනව. ජාතික රාජ්‍ය, ස්වයංපෝෂිත ආර්ථිකය හා නාමික සමාජවාදය කියන තුන් හුලස JRJ අටපට්ටම් ආකෘතියක් බවට පත්කළා.
ඔහු කිව්වෙ, ඔන්න මම පරණ සමාජයේ ආකෘතිය බිඳල අලුත් ආකෘතියක් හදල තියෙනව. නමුත් පරණ දේ පහකර දැම්මෙ ජනතාව වෙනස් වෙලා. ජනතාව ගෞරවයක් විදිහට දැන් ආර්ථික නිදහස විතරක් නෙවෙයි, මානව අයිතිවාසිකම්, ඒ කියන්නෙ මනුස්සකම පෙරදැරි කරගත් මානව හිමිකම් ලබල දීලා තියෙනව කියලයි.
අවුරුදු 40 කට විතර පස්සෙ ආයෙත් දැන් සමාජ ආකෘතිය වෙනස් වෙලා ජනතාවත් වෙනස් වෙමින් පවතිනව. ඒ අතරතුර එදා JRJ ගෙ වෙනස්කම විනාශ කරන්න 1980 ජූලි වැඩ වර්ජනය, 1983 කළු ජූලිය, 88 - 89 දේශප්‍රේමි ඝාතන රැල්ල, ඉන්දීය වක්‍ර ආක්‍රමණය හා බෙදුම්වාදී යුද්ධය වැනි දැවැන්ත දේ වෙනුවට දැන් ‘බට්ටෝ’ සයිස් එකෙන් ඒවම ක්‍රියාත්මක වෙනව.
ඒ කොහොම වුණත් වෙනස් සමාජයක් හා වෙනස් ජනතාවක් හදන්න JRJ මුහුණ දුන්න දුෂ්කරතා හා විරෝධයන්ගේ අබමල් රේණුවක තරමින් වත් ඊට පසුව ආ ජනාධිපතිවරුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ නෑ. ඒ අතින් බලන කොට JRJ විශිෂ්ටත්වය වන්නේ තමා විසින් සමාජය වෙනස් කළත්, ජනතාව වෙනස් කළත්, තමාගේ දාර්ශනික තලයේ තීන්දු හා තීරණ කවදාවත් වෙනස් නොකිරීම.
පිදුරුතලාගල සේ ඔහුගේ නොසැලෙන ගතිය අද අපට ඉතිරිව ඇත්තේ ඔහුගේ සූත්‍රවල පමණයි. JRJ ප්‍රඥාව හා ශක්තිය කැටි වූ ඒ සූත්‍ර ජනගත කිරීමෙන් සමාජ ආකෘතිය ජනතාවට වඩාත් යහපත් අන්දමින් සංස්කරණය කරගැනීමට ඉඩ සැලසිය හැකි බව සමුනිගේ ආශාබර විශ්වාසයයි.
JRJ දේශපාලන සූත්‍ර විවෘත මනසක් අවංක බවක් හා ස්ව කැමැත්තක් ඇතිව ඒත්තු ගැනීම පාඨක ඔබට බලාපොරොත්තු සහගතව බාර කර සිටිනව.