තක තීරුව | සිළුමිණ

තක තීරුව

අවසානයේ වැස්ස වැස්සේය.

මහපොළොව තෙමිණ. ගස්වැල් ප්‍රමුදිත විය. එහෙත් පසුගිය සිළුමිණ මුල්පිටුවම කියන පරිදි ඉඩෝරය දිගටමය. වැටෙන මේ අක් වැහි වලින් එතරම් පලක් වන්නේ නැත්තේය.

“ඉඩෝරය” “නියඟය” “සාගතය” “දුර්භික්ෂය” මේවා එක පවුලේ වචනය.

ඊට විරුද්ධ පදය “වැස්සය”.

වැස්ස වැස්සේ නැත්නම් රට අනාථය! “අපි අනාථය!”

කුඹුරු අස් වැද්දෙන්නේ නැත.

වෙනත් වගාවන් ද නවතී.

විදුලිය ද කපන්නට ඉඩ ඇත.

ගස් කොළං මිය යති.

තකතීරුවාගේ තකතීරු මොලේට තේරෙන පරිදි නම් මේවා මෙ‍ෙලස විය යුතු නැත. මන්දයත්, “ජල සංරක්ෂණ” තාක්ෂණය අතින් “ලෝකයේ” අප “ඉහළින් ම සිටි” රටක් බැවිනි. “වැව” නම් කන්සෙප්ට්ය. “පට්ට” තාක්ෂණයකි. ඒකාලේ නොහොත් “රජකාලේ” “අහසින් වැටෙන එක දිය බිංදුවක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙමියි” පොර ‍ටෝක් දුන් අපේ මහා පරාක්‍රම බාහු රජතුමා ඒක “පොයිසන්” කළේ නැත.

කියූ දේ කළේය.

කළ දේ කීවේය.

ඒ කාලයේ අපි “අභිමානවත්” ජාතියක් වීමු.

පිට රට වලටද සහල් අපනයනය කළෙමු.

අද අපි “අබිමානාවත්” ජාතියක් වෙමු!.

නැතිනම් “කබරගොයි” එහෙමත් නැත්නම් “දිවදෙකේ” ජාතියක් වීමු.

අපි කියන්නේ එකක්ය. කරන්නේ එකක්ය.

මහ‍පොළොවට ජලය ලැබෙන හොඳ ම ප්‍රභවය වැස්සය. ඒ ගැන කතා දෙකක් නැත. “මහමුහුද” “සාගර” “ගංගා”, ඇළදොළ. මේ කොයි ඒවාත් ජල සම්පාදන මණ්ඩල, විදුලිබල මණ්ඩල මේ කොයි දේත් රැකුණේ එයිනි.

එහෙත් “වැස්ස” එන තුරු උඩ බලාගෙන සිටි අප, වහින කොට කළේ කුමක් ද?

“දත් මැදලා දමන, වියළි දණ්ඩක් උවද පැළවෙන” මහපොළව, මාතෘ භූමිය සෝදාගෙන යන හැටි බලා සිටියෙමු. සිටින්නෙමු.

වැහි කාලයට, ඉඩම් දිගේ, කාණු දිගේ, මහ පාරවල් දිගේ කහම කහ පාටට මේ මහ පොළවේ, නැතිනම්, “මාතෘ භූමියේ” සාරය ඇළදොළ ගංගා දිගේ සාගරයට සෝදා ගෙන යන්නට ඉඩ හැරියෙමු. හරින්නෙමු. ඒ සෝදාගෙන යන්නේ අහසින් වැටෙන දිය උරා ගන්නට මහපොළවේ නිදන්ගත කරන්නට හැකියාව ඇති කොටසටය.

එය රැක ගන්නට කිසිවෙකුගේ “කිසිදු” උත්සාහයක් නොමැත.

එහෙම කරනා අපි, පායන කාලයට, ආණ්ඩුවට බණින්නෙමු. “රාජා භවතු ධම්මිකෝ” අාදී බර, පද ඇදගන්නෙමු. හූල්ලමු.

රටක - රජෙක් - යනු භාර කාරයෙක් පමණි.

මහ පොළව රැක ගැනීම කාගේත් වගකීමය. රජයට පුළුවන් වන්නේ “අලුතින්” සෝදා පාළු අමාත්‍යාංශයක් ඇති කරන්නටය.

නැතිනම් “ජාතික සෝදා පාළු කමිටුව” නම් කමිටුවක් පත් කරන්නටය. එවිට ඒවාට අපේ කකුල්දෙක පාමුලට පැමිණිය යුතු වෙයි. මන්ද මවුබිම සෝදාගෙන යන්නේ අපේ කකුල් දෙක යටින් බැවිනි. 

Comments