සිසු සහජ හැකියා ඔපමටටම් කරමින් පාසල් ජිවිතයේ කඩඉම් තරග විභාගය වූ උසස් පෙළ ප්‍රතිඵල පසුගියදා නිකුත් වූයේ සමතුන්, විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයන්ද බිහි කරමිනි. මේ තරු පිළිබඳ රටක් කතාබහ කරද්දී වසර 10කට එපිටින් වූ අධ්‍යාපනයේ එක්තරා කඩඉමක අතීතයක් ස්මරණය කරමින් ? පිළිබඳ ඔවුන් ඇගැයීම මෙහි අරමුණය.
2013 වසර උසස් පෙළ විෂය ධාරාවන්හි පුළුල් පෙරළියක් ඇති කරමින් එතෙක් විෂය ධාරාවන් හතරකට සීමා වූ උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව වශයෙන් නවමු ප්‍රවේශයක් එක් විය. බොහෝ දෙනා ඊට විවිධ අර්ථකතන ඉදිරිපත් කළේ මෙය උසස් පෙළ අසමතුන් වෙනුවෙන් වෙන් වූ විෂය ධාරාවක් ලෙසය. එහෙත් මේ නුහුරු නව විෂය ධාරාව වසරින් වසර පාසල් අධ්‍යාපනය තුළ මහත් විප්ලවයක් ඇති කරන්නට වූයේ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයන් පමණක් නොව රැකියා වෙළෙඳපොළ ද විවෘත කරවමිනි.
එදා උසස් පෙළ සිසුන් එක්ලක්ෂ පන්දහසක් විද්‍යා ගණිත විෂයටත්, සිසුන් 122,000ක් වාණිජ විෂය ක්ෂේත්‍රයටත් ඇතුළත් වන විට කලා විෂය ධාරාව හදාරන්නට සිසුන් 235,000 ඉදිරිපත් වන්නේය. නමුත් මෙයින් වසරකට විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ 8000ක් පමණය. ඉතිරියට අනාගතයක් අහිමිව යන්නේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වූ මේ බරපතළ ඛේදවාචකයට තිත තබන්නට එවකට අධ්‍යාපන ඇමැතිව සිටි ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ඇතුළු රජය ඊට ගත් සාධනීය පියවර වන්නේ වෘත්තීය අධ්‍යාපනයකට ප්‍රවේශයක් ලබා දෙමින් රැකියා වෙළෙඳපොළ අරමුණු කරගත් ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය ඇතුළත් තාක්ෂණ විෂය ධාරාවන් උසස් පෙළට හඳුන්වා දීමය. වසර 10කට ආසන්න මේ ගමන් මඟ මල්ඵල දරමින් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල මේ සඳහා වෙනමම අංශ ඇතුළත් වූයේ ඒ සිසුන් වෙනුවෙන් සරසවි වරම් ද හිමි කරමිනි.
2013 වසරේදී තාක්ෂණ විෂය ධාරාව පාසල කරා පැමිණෙන්නේ දුර දක්නා පියවරක් වශයෙනි. එදා මේ මුල්ම අභියෝගයට මුහුණ දෙන්නට සිදු වූයේ කොළඹ දේවි බාලිකාවටය. ඉස්කුරුප්පු නියනක තරම් දෙයක්වත් නොමැතිව දස දහසකට ආසන්න පාසල් අතුරින් 2013 වසරේදී මාර්ගගත ක්‍රමයට මුල්ම සිසුවිය දේවි බාලිකාවට ලියාපදිංචි වන්නේ මේ ගමන් මඟට නිසි අඩිතාලමක් ලබා දීමේ අභියෝගය ඇතිවය.
බොහෝ අභියෝග මැද එදා දේවි බාලිකාවන් තැබූ මුල් පියවර අද සාර්ථකත්වයේ ඉහළම තලයට පැමිණ සිටින්නේය. දේවි බාලිකාවේ තාක්ෂණ විෂය ධාරාව යටතේ මුල්ම සිසු කණ්ඩායම විභාගයට මුහුණ දෙන්නේ 2015දී වන අතර එහි ප්‍රථම ප්‍රතිඵලය භුක්ති විඳින්නේ 2016 වසරේදීය. එදා සිට අද දක්වා ආ මේ ගමන් මඟේදී තාක්ෂණ විෂය හදාරන දේවි බාලිකාවෝ සියලු දෙනාම සරසවි වරම් හිමිකරගත් අතර දිවයිනේ ඉහළම උසස් පෙළ සාමර්ථ්‍යයලාභීන් අතරට එක්වන්නට ඔවුන්ට හැකි විය.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022( 2023) උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හැදැරූ දේවි බාලිකාවන් වන අහිංසා වික්‍රමරත්න දිවයිනේ පළමු ස්ථානයත්, ඩබ්ලිව්. ඒ. චුලාරා දේවින්දි පෙරේරා හයවැනි ස්ථානයත්, සදූපමා පීරිස් දිවයිනේ 11 වැනි ස්ථානයත් අතරට පිවිසීමය. 2016 වසරින් ඇරඹි දේවි බාලිකාවේ තාක්ෂණවේදි සිසු ප්‍රතිඵල අතර දිවයිනේ ඉහළම ස්ථාන 10 අතරට එක්වූ ජයග්‍රාහකයන් 9 දෙනෙකි. මේ අතර ජෛව පද්ධති තාක්ෂණවේදය ඉහළම සාමර්ථ්‍යය අතරට 2016 මයූමි තත්සරණි ලංකාවෙන්ම දෙවැනියාත්, 2018 ධනූසිකා ලක්මාලි ලංකාවෙන්ම 4 වැනි ස්ථානයක්, හා සෞම්‍යා සන්දීපා ලංකාවෙන් 9 වැනි ස්ථානයත්, 2019 චමාති සෙත්සර හා නවිෂා දල්ෂානි ලංකාවෙන්ම 3 හා 7 වැනි ස්ථානයත්, 2020 වසරේ සමන්මලි පෙරේරා ලංකාවෙන්ම 3 වැනි ස්ථානයත්, පසුගිය වසරේ ඉසුරි පබසරා ලංකාවෙන්ම පළමු ස්ථානයක් හිමි විය. මෙහි තවත් කඩඉමක් සනිටුහන් කරමින් 2021 වසරේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරා සිසුවියක ජාතික තලයේ ජයග්‍රහණයකට හිමිකම් කියන්නේද දේවි බාලිකාවෙනි. ඒ සුලක්ෂි සඳුනිකාය. ඒ දිවයිනේ තුන්වැනි ස්ථානය ඇය ලබා ගත්තාය.
මේ ජයග්‍රහණ පිටුපස වූ ගමන් මගේ බලවේගය වන්නේ කොළඹ දේවි බාලිකා විදුහලේ හිටපු විදුහල්පතිනිය හා වත්මන් ජාතික පාසල් අධ්‍යක්ෂිකා ප්‍රදීපා සමරසිංහය.
“එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බන්දුල ගුණවර්ධන මහතාට අවශ්‍ය වුණා, ලංකාවේ සිසුන්ට තාක්ෂණ විෂය ධාරාව හැදෑරීමට අවකාශය ලබා දෙන්න. නමුත් ගුරුවරු බඳවා ගැනීම්, අවශ්‍ය පහසුකම්, විෂය මාලා සකස් කිරීම ආදි ආරම්භ කිරීමේ පොදු ගැටලුවලට අපි මුහුණ දුන්නා. විදුහල්පතිනියක් ලෙස ඒ වන විට මම පත්වී වසර 5 යි. ඒ වන විට දේවි බාලිකාව උසස් පෙළ හොඳම විෂය ධාරා තිබූ පාසලක්. නමුත් මෙම තාක්ෂණ විෂය ධාරාවේ ආවරණය වන ක්ෂේත්‍රයන් ගැහැනු දරුවන්ට ගොඩාක් වැදගත් හා දරුවන්ට එය ඉගැන්වීම ඵලදායි බව තේරුණා. ඒ අනුව තාක්ෂණ විෂය ධාරාව ආරම්භ වුණේ අපේ පාසලින් වන අතර මුල්ම සිසුවා ඇතුළත් කළේත් අපේ පාසලට.
මේ වන විට අවශ්‍ය විද්‍යාගාර මෙන්ම ගොඩනැඟිලි පාසලට තිබුණේ නැහැ. නමුත් අභියෝගය මම භාරගෙන අධ්‍යයන කටයුතු මුලින්ම සිදුකළේ පන්ති කාමරවල. විෂය මාලාවට අවශ්‍ය පොඩි පොඩි උපකරණ මම සොයා ගත්තේ බාහිර අයගේ මෙන්ම මවුපියන්ගේ සහයෝගයෙන්. වරක් මවුපියකු හරහා පරණ වාහනයක එංජිම ගෙන්වා ගත්තා, දරුවන්ට ඔටෝ මෝබයිල් ඉගැන්වීමට. නමුත් ඉංජිනේරු ඔටෝ මෝබයිල් විෂයය ඉගැන්වීමට මට ගුරුවරයකු සිටියේ නැහැ. ඇඹිලිපිටිය පාසලක ගුරුවරයකු බොහෝම අමාරුවෙන් මේ පාසලට ගෙන්වා ගත්තා. මීට අමතරව උසස් පෙළ විද්‍යා අංශයේ ගුරුවරු විෂය ඉගැන්වීමට යොදවා ගත්තා. විෂය මාලාව සකස් කිරීමේදී මම පුද්ගලිකව මැදිහත් වී කොටසින් කොටස අධ්‍යයනය කළා.
මේ වන විට ගොඩනැඟිල්ල ඉක්මනටම හැදීමට අවශ්‍ය අනුමැතිය ගැනීමත් ඒ සමඟ සිදු වුණා. සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා වෘත්තීය පුහුණු අභ්‍යාස ආයතනය ඇතුළු ස්ථාන කිහිපයකටම සිසුන්ව ගෙන යෑමට කටයුතු කළා. මේ අංශයේ පළමු ශ්‍රේණිභාර ගුරුතුමිය වුණේ කාංචනා වීරකෝන්. ඇය මෙන්ම මේ සඳහා යොමුකළ ගුරු මණ්ඩලය මෙයට විශාල සහයක් දුන්නා.
මුලින්ම මේ විෂයට සිසුන් නොමැති වීම තවත් විශාල අභියෝගයට මුහුණ දුන්නා. අපිට වුවමනාව තිබුණත් අපේ පාසලේ කිසිම සිසුවකු මේ විෂය හැදෑරීමට ඉදිරිපත් වුණේ නැහැ. මේ වන විට විද්‍යා විෂය හැදෑරීම සඳහා අපෙන් ඉල්ලීම් කළ එහෙත් තේරීපත් නොවුණු සිසුන්ට මම ලියුමක් යොමු කළා, අලුත් විෂය ධාරාවක් ආරම්භ බවත් ඒ සඳහා ඉදිරිපත් වන ලෙසත්. මෙහි මුල්ම රැස්වීමට සිසුන් 200කට අධික පිරිසක් ඉදිරිපත් වුණා. වෘත්තීය අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරු ඇතුළු පිරිසක් ගෙන්වා මේ හරහා අනාගතය සකසා ගැනීමට ඇති ඉඩකඩ පෙන්වා දෙමින් දේශනයක් දුන්නා. එයින් පසුව සිසුන් 80 දෙනෙක් ඊට කැමැත්ත දැක්වූවා. මේ සිසුන් කණ්ඩායමම විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා.
හිටපු අධ්‍යාපන ඇමැතිවරයා අපිට මේ සඳහා දිරිගැන්වීමට වගේම අවශ්‍ය පහසුකම් සොයා දීමට විශේෂ කැප කිරීමක් සිදු කළා. දේවි බාලිකාවට තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කර රටට හොඳ ආදර්ශයක් ලබා දුන්නා. මන්ද මේ වන විට කිසිදු පාසලකට තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කිරීමට වුවමනාවක් තිබුණේ නැහැ. අපේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය පවා ආරම්භ කිරීමට අකමැත්ත ප්‍රකාශ කළා. නමුත් කොතෙක් අභියෝග මැද වුවත් ඒ සාර්ථකත්වය මුල සිටම මම දැන සිටියා. අදටත් අපේ පාසලේ මේ විෂය ධාරාව හදාරන සිසුන් 98 - 100% විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසෙනවා වගේම මේ දරුවෝ අද හොඳ තැන්වල සිටිනවා. මේ වන විට අපේ තාක්ෂණ පීඨයට විශාල ඉල්ලුමක් පවතින්නේ වෙනත් පාසල්වල සිසුන්ගෙන්. ...“
වත්මන් දේවි බාලිකාවේ විදුහල්පතිනිය වන සුභාෂිණි දෙමටගොඩ ඊට මනා නායකත්වය ලබා දෙමින් සිටින්නීය. අංශ ප්‍රධානී ඒ.ඩී.පී ධම්මිකා අලුත්ගේ මෙන්ම ආචාර්ය මණ්ඩලය වන කේ.ජී දිපිකා ධර්මසිරි, ආර්.ටී විජේකෝන්, ජේ.ඒ.පී වික්‍රමසිංහ, එන්.ටි රාජපක්ෂ, ඒ. ටී. කස්තුරිආරච්චි හා එස්. පී චන්ද්‍රලතාය.
තාක්ෂණ විෂය ධාරාව හදාරන දේවි බාලිකාවන් මේ වන විට ඉහළ සාමර්ථ්‍යය වාර්තාකරමින් සරසවි වසරම් හිමිකර ගන්නීය. අහිංසා වික්‍රමරත්න මේ ගමන් මගේ වර්තමාන පුරුකය.
“මගේ එකම අරමුණ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීම. මට සාමාන්‍ය පෙළට A 9 යි. අනිකුත් විෂය ධාරාවලින් උසස් පෙළ හැදෑරිමට හැකි වුණත් මම මේ විෂය තෝරා ගත්තේ මේ හරහා අපි හිතනවට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් නිසා. විශ්වවිද්‍යාලයට යාමට මෙන්ම අපේ අනාගතයට යාමේ කෙටි පාරක් මේ හරහා පහසුවෙන් නිර්මාණය කර ගන්න පුළුවන්. මේ විෂය ධාරාවන් විෂයයන් පහක එකතුවක් නිසා ආසාවෙන් පුරුදු පුහුණු විය හැකියි. මේ නිසා ඕනෑම කෙනකුට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. “ ඒ අහිංසාය.
“සමහරුන්ගේ මතය වන්නේ මෙය ඉගෙන ගැනීමට නොහැකි සිසුන් සඳහා ඇති විෂයක් කියලා. එය සම්පූර්ණ වැරදියි. අපේ හැම පාඩමකින්ම උගන්වන්නේ හොඳ ව්‍යවසායකයකු වන්නේ කෙසේ ද කියා. අනිකුත් විෂයන් සේම හොඳින් ග්‍රහණය කර ගතහොත් සරසවි ප්‍රවේශයට ඉතාමත්ම පහසු මඟ මේක. කවුරුත් නොකරන කෘෂි අංශය හරහා ඉදිරියට යාම මගේ එකම අරමුණයි...“ ඒ 6 ස්ථානයට පත් ඩබ්ලිව්. ඒ. චුලාරා දේවින්දි පෙරේරාය.
“ මම ජාන තාක්ෂණවේදිනියක් වීමට කැමැතියි. ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. ලෝකයට ගැළපෙන නව නිපැයුම් ලබා දීමට, හොඳ ව්‍යවසායකයකු වීමට අපිට හැකියාව පවතිනවා.....“ ඒ 11 වැනි ස්ථානයට පත් සදූපමා පීරිස් දේවි බාලිකාවගේ හඬය.