වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට මෙරට පැමිණි බ්‍රාහ්මණ කුලයට අයත් ඔහුගේ මුතුන් මිත්තන් එදා සිට කැපවූයේ දෙවියන් උදෙසා සේවය කරන්නට ය. බ්‍රාහ්මණ කුලයට අයත් ඔවුහු කිසිදින මස් මාළු තබා උම්බලකඩ කෑල්ලක් රස බලා නොමැත. නරේන්ද්‍රසිංහ රජු ප්‍රමිලා කුමරිය සරණ පාවා ගැනීමත් සමඟ ඔහුගේ ඥාතීන් මෙරටට පැමිණ ඇත්තේ දේවියට දෙවියන් නැමදීම පිණිස ඉදි කෙරෙන දේවාලයේ පූජා කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට ය. නරේන්ද්‍රසිංහ රජ දවස මෙරට පැමිණි බරද්වාජ කුරුක්කල්තුමන්ගේ සිට මේ දක්වා ඔහුගේ පවුලේ දොළොස් දෙනෙකු මහනුවර කතරගම දේවාලයේ ප්‍රධාන පූජක ධුරය හොබවා තිබේ. එසේ පැමිණි පරම්පරාවේ ඔහුට පෙර ප්‍රධාන පූජක ධුරය දැරුවේ ඔහුගේ පියා වන රාමචන්ද්‍ර අයියර්තුමන් ය. සීයා වූ නාගේෂ්වර අයියර්ගෙන් පසු 1951 සිට වසර 43ක කාලයක් ප්‍රධාන පූජක ලෙස කටයුතු කළ ඔහුට දරුවන් සිවු දෙනෙකි. ගැහැනු දරුවන් තිදෙනෙකු අතරට මැදිව හැදී වැඩුණු ඔහු ඉංජිනේරු උපාධිධාරියෙකි. පියා 1994 දී මෙලොව හැර යාමෙන් පසු එතෙක් සිදු කළ රැකියාවට ද ආයුබෝවන් කියා මහනුවර කතරගම දේවාලයේ ප්‍රධාන පූජක ධූරය බාරගත් ඔහු නමින් සෝමස්කන්ධ අයියර් ය. මේ වන විට අවුරුදු 48ක් නොකඩවා මහනුවර ඇසළ පෙරහරේ ගමන් කරන සෝමස්කන්ධ අයියර්තුමන්ව කවුරුත් හඳුන්වන්නේ කතරගම දේවාලයේ සාමි කියා ය.
“නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ ප්‍රමිලා දේවිය ඉන්දියාවේ සිට කැඳවාගෙන එද්දී දෑවැද්ද ලෙස ලැබුණු කතරගම දෙවියන්ගේ පිළිමයක් ලංකාවට රැගෙන ආවා. දේවියට ආගමික කටයුතු සිදු කිරීම සඳහා මේ පිළිමය තැන්පත් කර දේවාලයක් හදන්න රජු තීරණය කළා. රාජ මාලිගයේ ඇතා ලිහා දැමීමෙන් පසු ඇතා නවතින ස්ථානයක දේවාලය ගොඩනැඟීම සුදුසු බවට සිහිනෙන් දුටු රජු ඒ විදිහටම ඇතා ලිහා දැම්මා. රාජ මාලිගයේ සිට පැමිණි ඇතා නැවතුෙණ් අද කතරගම දේවාලය තිබෙන තැනයි. ඒ කාලයේත් මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තිබුණු බව ජනප්‍රවාදයේ එනවා. දෑවැද්දට හිමි වූ කතරගම දේව පිළිමය මෙහි තැන්පත් කර නරේන්ද්‍රසිංහ රජු දේවාලය ගොඩනැඟුවා. අදටත් ඒ පිළිමය දේවාලයේ තිබෙනවා. බරද්වාජ කුරුක්කල්තුමන්ගේ සිට අපේ පරම්පරාවේ එකොළොස්දෙනෙක් ප්‍රධාන පූජක ධුරයේ කටයුතු කිරීමෙන් පසු තමයි අද මම මේ තනතුරේ කටයුතු කරන්නේ...” සෝමස්කන්ධ අයියර්තුමන් තම පරම්පරාවේ ඇත්තන් ලක්දිවට පැමිණි ආකාරය සහ මහනුවර කතරගම දේවාලයේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් කතාවට මුලපිරුවේ එසේ ය.
සෝමස්කන්ධ අයියර්තුමන් උපත ලබා ඇත්තේ 1960 ය. මහනුවර ත්‍රිත්ව විදුහලින් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද ඔහු උසස් පෙළ සඳහා යාපනයේ හින්දු විදුහලට ඇතුළත් වුණේ ය. උසස් පෙළ ඉහළින් සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණත් ඉංජිනේරු උපාධිය හැදැරීම පිණිස ඔහු 1979 දී චීනය බලා ගියේ ය. ඉංජිනේරු උපාධිය සමත්ව ජර්මනියේ, ජපානයේ සහ හොංකොංහි සේවය කළ ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ සේවය කළේය. විවිධ රටවල සැරිසරිමින් විවිධ භාෂා කතා කරන පුද්ගලයින් හමුවීම නිසා දෙමළ භාෂාවට අමතරව සිංහල, ඉංග්‍රීසි, චීන භාෂා හොඳින් හැසිරවීමේ හැකියාව ඇති ඔහු ලොව කොහේ හිටියත් මහනුවර ඇසළ පෙරහර ආරම්භ වන විට මහනුවරට එන්නට අමතක නොකළේය..
සෝමස්කන්ධ අයියර්තුමන් යළිත් හඬ අවධි කළේ මෙසේ කියමිනි....
“මම 1975 ඉඳලා පෙරහරේ යනවා. එතකොට මට අවුරුදු 15 යි. තාත්තා පළවෙනි කුඹල් පෙරහරෙයි අන්තිම රන්දෝලි පෙරහරෙයි යනවා. අනිත් සියලුම පෙරහරවල මම කතරගම දේවාලය නියෝජනය කරමින් ගමන් කරනවා. මහනුවර ඇසළ පෙරහර ආරම්භ කරන්නේ සතර මහා දේවාලවල කප් හිටවලා. ප්‍රමිලා දේවියට දෑවැද්දට ලැබුණු කතරගම දේව පිළිමයේ කප් හිටවන දවසේ කහ නූලක් බඳිනවා. කප වටෙත් ඒ වගේම නූලක් බඳිනවා. ඒ වෙලාවෙම මගේ අතෙත් නූලක් බඳිනවා. මේ නූල් ගලවන්නේ ගැටඹේ තොටේ දිය කැපීමේ මංගල්‍යය සිදු කරන වෙලාවටයි. මේ වගේ පෞරාණික චාරිත්‍රත් එක්ක පෙරහර බැඳී තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර අනිත් දේවාල එක්ක ගත්තොත් ටිකක් වෙනස්. මොකද කාවඩි එහෙමත් පෙරහරට එකතු වෙනවා.”
සෝමස්කන්ධ කුරුක්කල්තුමන්ට දරුවන් පස් දෙනෙකි. ඔවුන් සියලු දෙනා දියණියන් ය. ඒ සම්බන්ධයෙන් ඔහු දක්වන්න් මෙවන් අදහසකි.. “අපේ පවුලේ පිරිමි දරුවෝ අඩුයි. අපේ සීයට දරුවෝ හය දෙනෙක් හිටියා. පස් දෙනෙක්ම ගැහැනු ළමයි. තාත්තා විතරයි පිරිමි. තාත්තටත් දරුවෝ හතරයි. තුන් දෙනෙක්ම ගැහැනු ළමයි. මටත් ඉන්නේ දුවලා පස් දෙනෙක්. වැඩිමහල් දෙන්නා ඇමරිකාවේ. අන්තිම දෙන්න ඔස්ට්‍රේලියාවේ. තුන්වැනියා විතරයි ලංකාවේ ඉන්නේ. එයා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක්. මගේ බිරිය චාරුමතී. අපේ පරම්පරාවේ අය ලංකාවට ඇවිත් මෙහේ පදිංචි වුණාට හැමෝම විවාහයන් කර ගත්තේ ඉන්දියාවෙන්. මගේ බිරිඳත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවේ විවාහයෙන් පස්සේ”.
සෝමස්කන්ධ අයියර්තුමන් චාරුමතී හා විවාහ වන්නේ 1987 දී ය. විවාහ වී තෙවසරකට පසු ඔවුන්ගේ කැදැල්ලට තෙවැන්නෙකු එක් වී තෙමසක් ගත වූ තැන ඔහු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නේ ය. පුරා වසරකට වැඩි කාලයක් බිරිය හා දරුවා නොමැති ව ගත කළ ඔහුට ඔවුන් යළි දක්නට ලැබෙන්නේ දෙවියන්ගේ හාස්කමක් වැනි සිදුවීම් පෙළක් ඔස්සේ ය.
“අපිට යාපනයේ චාවකච්චේරිවල දේවාලයක් තියෙනවා. මගේ අම්මා හිටියේ එහේ. දුව ඉපදිලා මාස තුනක් ගියාම බිරිඳ අපේ අම්මාව බලන්න යාපනයේ ගියා. එයා ගිහින් සතියකට පස්සේ යුද්දේ ඇවිළිලා පාරවල් වහලා දැම්මා. ටෙලිෆෝන් වැඩ කරන්නෙත් නැහැ. අම්මා, බිරිඳ, දරුවා ගැන කිසිම තොරතුරක් නැහැ. මම දෙවියන්ට කිව්වා එයාලව රැක දෙන්න කියලා.” සෝමස්කන්ධ කුරුක්කල්තුමා එසේ පවසද් දී යාපනයේ සිදුවූ දේ අප හා පැවසුවේ ඔහුගේ බිරිඳ චාරුමතී ය. “අපි 1990 දී යාපනයේ යනකොට බස් වැඩ කරනවා. යාපනයේ සතියක් ඉඳලා ආපහු එන්න ලෑස්ති වෙනකොට පාරවල් වහලා ලොකු කලබලයක් ඇති වුණා. හමුදාවෙන් බෝම්බ දාන්න ගත්තා. ෂෙල් ගහනවා. ගුවන් යානාවලින් බෝම්බ දානකොට අපි බංකර්වල ගිහින් හැංගෙනවා. දවසක් මම දරුවා ගෙදර තියලා ඒ ඉස්සරහා තියෙන ළිඳට ගියා. එකපාරටම ගුවන් යානයක් එන ශබ්දය ඇසුණා. මම දුවගෙන ගිහින් දරුවා අරන් බංකරය ඇතුළට යන්න දුවගෙන යද්දී ගුවන් යානය පාතින්ම ආවා. කරන්න දෙයක් නැති නිසා මම දරුවත් තුරුළු කරන් බිමට පාත් වුණා. ගුවන් යානයේ සිටි කෙනා තුවක්කුවක් අතේ තියාගෙන මගේ දිහා බැලුවා. එදා වෙඩි තිබ්බා නම් අපි දෙන්නම ඉවරයි. කොහොමහරි මේ වගේ සිදුවීම් එක්ක අවුරුද්දක් විතර ගෙවිලා ගියා. අපේ අසල්වැසියෝ කිහිප දෙනෙක්ම මියගියා. චාවකච්චේරි ඉඳන් දවස් හතරක් පයින් ආවා.අනුරාධපුරේට ඇවිත් තමයි බස් එකකින් නුවර ආවේ. අපිව දැකලා මහත්තයා පුුදුම වෙලා වගේ බලාගෙන හිටිය විදිහ මට තාමත් මතකයි.”
දෙවියන්ගේ පිහිට ලැබීමට නම් අපි යහපත් ජීවිතයක් ගත කළ යුතු බව සෝමස්කන්ධ අයියර්තුමා නිතර පවසන්නකි. ඔහු සෑම විටම දෙවියන්ට කැමැති ලෙස ජීවත් වන්නට උත්සාහ කරන්නෙකි. ඒ නිසාම දෙවියන්ගේ පිහිට ද තමන්ට නොමඳව ලැබෙන බව ඔහු පවසයි. දෙවියන් විසින් තම ජීවිතය බේරු අවස්ථා දෙකක් අයියර්තුමන් මෙසේ සිහිපත් කළේය..
“මම හැමදාම පාන්දර එළිය වැටෙන්න කලින් නුවර වැව වටේ රවුමක් දුවනවා. වැව වටේ ගිහින් උල්පැන් ගේ ළඟින් දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ළඟට ඇවිත් දළදාව වඳිනවා. ඒ කාලේ දැන් වගේ යකඩ වැටවල් ගහලා නැති නිසා පාර හරහා එන්න පුළුවන්. එදා උල්පැන් ගේ ළඟට එනකොට මට ලොකු බඩේ අමාරුවක් ආවා. ඒ නිසා දළදා වහන්සේ වඳින්නේ නැතුව මම දේවාලයට ඇවිත් වොෂ් රූම් එකට ගියා. ඒත් එක්කම වහලත් එක්ක හෙල්ලිලා යන විදිහේ හෙණ හඬක් වගේ පිපුරුමක් සිදුවුණා. වොෂ් රූම් එකේ කණ්ණාඩිය කුඩු වෙලා වැටුණා. දළදා මාලිගාවට බෝම්බ ගහලා කියලා ටික වෙලාවකින් දැන ගත්තා. එදා මම වඳින්න ගියා නම් මට මොකද වුණේ කියලාවත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. සුනාමියට අසු නොවී අපේ පවුල බේරුණේ දෙවියන් නිසාමයි. අපි සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමට මීගමුවෙන් හික්කඩුවට ගිහින් නැවතිලා රුහුණු කතරගම දේවාලයට ගිහින් ජනවාරි 01 වැනිදා තමයි නුවරට එන්නේ. එදා දෙසැම්බර් 25 වැනිදා උදේ අපි වෑන් එකට නැග්ගා විතරයි රියැදුරු මහත්තයාට පපුවේ ආමාරුවක් හැදුණා. එයාව රෝහලට ඇතුළත් කරලා මම වාහනේ පදවන්නම් කියලා වාහනේට නැග්ගම දේවාලේ ඉස්සරහදීම ටයර් එකක හුළං ගියා. නෝනා කිව්වා දෙවියෝ අපිට යන්න එපා කියනවා අපි ඉමු කියලා. පහුවදා තමයි සුනාමිය ආවේ. එදා මම විතරක් නෙවෙයි දෙවියෝ අපේ පවුලම බේරුවා.”
මහනුවර පෙරහර තුළ ඔහුටම වෙන් වූ අන්‍යන්‍යතාවක් තිබේ. රතු තලප්පාවක් බැඳ පාවහන් නොපැලඳ දින දහයේම ඔහු ගමන් කරයි. උපන්දා සිට මෙරට හැදී වැඩුණත් කහ පැහැති සමේ වර්ණය ඔහු ඉන්දියානුවෙකු බව අපට කියාපායි. “දෙවියන්ගේ පිහිට තිබෙන්නේ යහපත් මිනිස්සුන්ට පමණයි. වැරදි කරමින් කොච්චර දෙවියන්ට පුද පූජා කළත් වැඩක් නැහැ. සෑම ආගමකින්ම පෙන්වා දෙන්නේ යහපත් මිනිසෙකු වන්නේ කෙසේද කියා පෙන්වා දීමයි. විවිධ නම්වලින් හැඳින්වුවත් ඉන්නේ එක දෙවි කෙනයි. භාෂාව තිබෙන්නේ අදහස් හුවමාරු කර ගන්නයි. එහෙත් අපි ජාති, ආගම් බේද මුල්කර ගනිමින් ගහ මරා ගන්නවා. මේ යථාර්ථය තේරුම් ගන්නා තෙක් රටක් ලෙස අපට ඉදිරි ගමනක් නැතැ” යි සෝමස්කන්ධ අයියර්තුමන් පවසයි.
ඡායාරූප - රුවන් මීගම්මන