හරක් කටා ඩුබායි ඉඳන් මිදිගම ඥාතියාට කළ අපරාධය | සිළුමිණ

හරක් කටා ඩුබායි ඉඳන් මිදිගම ඥාතියාට කළ අපරාධය

සැකකරු සහ සැකකාරිය සහ සැකකාරිය සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් සහ ජංගම දුරකතනය

- ‘හිච්චි මල්ලී’ සන්නද්ධ කල්ලියට කොටු වන්නේ නි‍ෙවසක් ඇතුළේ
- සැකකාරියත් හරක් කටාගේ අනියම් බිරියක්
- පෙම්වතිය ‘ඇමට’දී මිදිගමට ගෙන්වූ මධුර ලක්ෂාන් අවසන් ගමන් යවලා

වැලිගම, මිදිගම යනු මෙරට සුන්දරම ප්‍රදේශයකි. නමුත් මෑත කාලීනව 'මිදිගම' යැයි පැවසූ පමණින් සියලු දෙනාගේ මනසේ මැවෙන්නේ පාතාලය සහ බිහිසුණු ඝාතනවලින් සමන්විත භයංකාර සිදුවීම් බහුල ප්‍රදේශයකි. පසුගිය කාලයේ එක දිගට සිදුවූ ඝාතන වැලත් සමඟ මිදිගම මෙරට සතර දිග්භාගයේම ප්‍රචලිත වූයේ ඉහත සඳහන් කළ ප්‍රතිරූපය නිසාය. ඊට අත්වැල් සපයමින් මීට දින ගණනාවකට ඉහතදී එනම් පසුගිය 11 වැනිදා පිරිසක් විසින් 24 හැවිරිදි තරුණයකු අමු අමුවේ කපාකොටා මරා දැමුවේ අතිශය අමානුෂීය අයුරිනි. 

මේ ඝාතනය සිදු වී සතියක් ඉක්ම යද්දී ඝාතන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි විය. ඒ මහරගමදී සහ මිදිගමදී සිදු කරන ලද වැටලීම්වලිනි.

මෙහි ඇස් අදහාගත නොහැකි කාරණය වන්නේ මියගිය තරුණයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් වසර අටක් පුරා ඔහු සමඟ 'දිවට දිව' ගාගෙන සිටි ඔහුගේ ආදරණීය 'අනියම් පෙම්වතිය' වීමයි. ඇය අත්අඩංගුවට ගැනුණේ පසුගිය 18 වැනිදා මහරගම, පමුණුව, උඩහේන පාරේ නිවෙසක සිටියදීය.

මෙලෙස ඝාතනය කෙරුණේ මිදිගම පදිංචිව සිටි මධුර ලක්ෂාන් හෙවත් 'හිච්චි මල්ලී' නම් අවිවාහක තරුණයෙකි. මධුර ලක්ෂාන් ඝාතනය කිරීම සඳහා දුරකතන ඇමතුමක් ඔහුට ගෙන්වාගෙන තිබුණේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු 'අනියම් පෙම්වතිය‍' විසිනි.

සිහිනෙකින්වත් නොසිතූ අයුරින් තම සෙනෙහෙවන්තියගේ 'දායකත්වයෙන්' නොඑන ගමන් ගිය මධුරගේ කතාව පෙළ ගැසෙනුයේ මෙලෙසය.

'මධුර' හෙවත් 'හිච්චි මල්ලී' අවිවාහක තරුණයකු වුවද ඔහුගේ 'සුරතලිය' මධුරට වඩා වසර කිහිපයකින් වැඩිමල්, එනම් 31 හැවිරිදි වියේ පසුවන ටීනා නමැති විවාහක කාන්තාවකි.

ඇගේ සැමියා වන දිනේෂ් මධුසංඛ හෙවත් බූලා සිදු කරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, සැමියාගේද අඩුව කිසි ලෙසකින්වත් නොදැනෙන ලෙස මත්කුඩු ඇතුළු නීති විරෝධී ව්‍යාපාරයන්වලට සම්බන්ධ වූ ඇය කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කැසිනෝ හලක 'යාවජීව' සාමාජිකාවකි.

සැමියා බන්ධනාගාරගත වුවද ඇයට කිසිදා තනිනොතනියක් දැනුණේ නැත. ඒ 'හිච්චි මල්ලී' ඇගේ දුකසැප බලමින් නිතරම ඇය අසල රැඳුණු හෙයිනි. ගම් ප්‍රදේශයේ තරුණියන්ට පිහිටන සුකුමාල ළඳබොළඳ ගති තිබූ ඇගේ තනිය මැකුවේ 'හිච්චි මල්ලි' පමණක්ම නොවේ.

දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා ඇගේ 'අනියම් සැමියාගේ' භූමිකාව රඟ දැක්වීමට එක්ව තිබුණි.

විදේශයන්හි සිට ඔහු මෙහෙයවන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්වලට මෙරට සිට උපරිම සහයෝගය ලබා දුන් ටීනා සියල්ල සමබරව සිදු කරමින් රාත්‍රී සමාජ ශාලාවලටද නිතිපතා ආ ගිය අතර, මිදිගම සිට අධිවේගී මාර්ගය හරහා කොල්ලුපිටියට එලෙස ගමන් බිමන් සිදු කිරීමට බොහෝ විට යොදා ගත්තේ වෑන් රථයකි. 

අවුරුදු දෙකක් වයසැති දරුවකුගේ මෙන්ම වයස අවුරුදු 12ක් පමණ වන දියණියකගේ මවක් වුවද ඇය දිනපතා මත්පැන් පානය කරමින් 'කාමභෝගී' ජීවිතයක් ගත කළ අතර, ඇගේ කුඩා දරුවා හැදී වැඩුණේ ද ඇගේ මවට පින්සිදු වන්නටය.

සියල්ල කණපිට හැරෙනුයේ ඇගේ විදෙස්ගත පෙම්වතා වන හරක් කටාගේ බිරියගේ වැඩිමල් සොහොයුරියගේ පුත්‍රයා වන 'හිච්චි මල්ලී' ඇති කරගන්නා ආරවුලක් සමඟිනි.

'හිච්චි මල්ලී' සමඟ තම 'පෙම්වතියගේ' ඇති ගනුදෙනුව සම්බන්ධයෙන්ද මනාව දැනුම්වත් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම දිනක ගැටලුවක් නොතිබුණු හරක් කටා, තම ඥාති පුත්‍රයාත් සමඟ ඇතිකරගත් ආරවුලේ පළිය 'හිච්චි මල්ලීගේ' ලෙයින් ගැනීමට ඇම වශයෙන් යොදා ගත්තේ 'හිච්චි මල්ලීගේ' මෙන්ම තමාගේද සෙනෙහෙවන්තිය වූ අත්අඩංගුවට පත් ටීනායි.

"හිච්චි මල්ලිට' කෝල් එකක් දීලා ගෙන්නගන්න. ඒ අතරවාරෙ දිගටම ඌත් එක්ක ෆෝන් එකේම ඉන්න ඕනි. තමුන්ගේ ෆෝන් එකේ ස්පීකරේ ඔන් කරලා තව ෆෝන් එකකින් මට කෝල් එකක් අරන් දෙන්නගෙ කතාව මට ඇහෙන්න කරන්නත් ඕනි...." හරක් කටාගෙන් ඇයට උපදෙස් ලැබුණේ එලෙසිනි.

හරක් කටාගෙන් ලද උපදෙස් අනුවම කටයුතු කළ ඇය 'හිච්චි මල්ලිට' ඇමතුමක් දුන්නේ ඔහුට කිසිම සැකයක් ඇති නොවන අයුරිනි.

"අපේ බිස්නස්වල සල්ලි වගයක් බේරන්න තියෙනවා. එන්න පුළුවන්ද මිදිගමට....?" සිය පෙම්වතියගෙන් ලැබුණු මේ ආරාධනාව සම්බන්ධයෙන් අල්ප මාත්‍රයක සැකයක් 'හිච්චි මල්ලීට' තිබුණේ නැත.

මන්ද යත් ඇය තම පණ සමාන සෙනෙහෙවන්තියයි. ඇය කී පරිදිම ඇය හමුවීමට ඒමට පිටත්වූ හිච්චි මල්ලී සමඟ දිගින් දිගටම දුරකතනයේ ඇය රැඳී සිටිමින් ඔහු එලෙස පැමිණෙන ගමන් මාර්ගය සම්බන්ධව සියලු විස්තර තවත් දුරකතනයක් හරහා හරක් කටාට දැනුම් දීමට කටයුතු කළාය.

මිදිගමට පැමිණීමට 'හිච්චි මල්ලී' යොදා ගත්තේ ත්‍රිරෝද රථයකි. කාන්තාව ඒ සඳහා භාවිත කළේ ඇය නිතර ගමන් බිමන් සඳහා යොදා ගත් වෑන් රථයයි.

සිය විදෙස්ගත පෙම්වතා තමා ලවා ගසන ගැටය කුමක්දැයි නොදැන මෙලෙස 'හිච්චි මල්ලී' ගෙන්වා ගැනීමට ඇය කටයුතු කරන ලද්දේයැයි එක් නිමේෂයකට මෙය කියවන ඔබට සිතුණද සත්‍ය වශයෙන්ම එලෙස ඔහු ගෙන්වා ගන්නේ ඝාතනය කර මරා දැමීමට බව ඇය සහසුද්දෙන්ම දැන සිටියාය.

වසර ගණනක් තම තුරුලේ රැඳුණු පෙම්වතා අනෙක් පෙම්වතාගේ අතින් ඝාතනය කරවීමට සහයෝගය දීමට ඇය කෙලෙස හිත එකඟ කරගත්තාදැයි යන්න ගැටලුවක් වුවත්, ඇය ඒ ලෙසින්ම සියල්ල අකුරටම ඉටු කිරීමට තරම් 'ගල් සිතැත්තියක' වූවාය. මිදිගමට පැමිණි 'හිච්චි මල්ලීට' මුදල් ගනුදෙනුව වෙනුවට සිදු වූයේ හය හත්දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එල්ල වුණු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වීමටය. සිදුවන්නට යන දෙය ඉවෙන් මෙන් තේරුම් ගත් ඔහු මරු විකල්ලෙන් අසල නි‍ෙවසකට දුව ගොස් දොර වසා ගත්තද, වියරු මෘග රැළක් මෙන් දොරටුව කඩා දමා එහි ඇතුළුවූ ඝාතකයෝ වන සතෙකු දඩයම් කරනවාටත් වඩා අන්ත කුරිරු ලෙසින් 'හිච්චි මල්ලීගේ' සිරුර කොටස්වලට වෙන් කළහ.

සිද්ධිය වූ ස්ථානයේම ඔහු අවසන් හුස්ම හෙළද්දී වෑන් රථයේ නැඟුණු කාන්තාව පිටව යන්නේ තම සුපුරුදු රාත්‍රී සමාජ ශාලාව වෙතයි.

එහිදී ඔට්ටු ඇල්ලූ මුදල්ද පරාජය වන ඇය ඉන්පසු වැලිවේරිය ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන වෑන් රථ රියදුරාද සමඟ දින කිහිපයක් එහි රැඳී සිටින අතර, පසුව කොළඹ ආසන්නයේ කාමරයක තවත් දින දෙකක් රැඳී සිටින්නේ භාවිත කරන දුරකතන සිම්පත්ද වරින්වර මාරු කරමිනි. 

අවසානයේ මහරගම පමුණුව මාර්ගයේ නි‍ෙවසක් මසකට රුපියල් 42,000 ක කුලී පදනමකට ඇය විසින් මිලට ගන්නා අතර, ඒ සඳහා අවශ්‍ය බරපැන ලැබෙනුයේ හරක් කටාගෙනි. තමන් නවාතැන් ගත් කාමරයට පසුව තම කුඩා දරුවාද ගෙන්වා ගැනීමට ඇය කටයුතු කරන අතර, වෑන් රථ රියැදුරා එම නි‍ෙවසින් පිටත් කරන්නේ දින කිහිපයකට පසුවය. 

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් සිදු කරන ලද මනා අධීක්ෂණයකින් පසු විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ආර්. පාරමුල්ලගේ මෙහෙයවීමෙන් හෙරොයින් ග්‍රෑම් 12ත් මිලිග්‍රෑම් 800ක් සමඟ ඇය අත්අඩංගුවට පත් වන්නේ එතෙක් මෙතෙක් රඟ දැක්වූ සියලු නාටකයන්ට විරාමය තබමිනි.

ඇගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ ලද තොරතුරුවලට අනුව පසුගිය 20 වැනිදා ඇය ගමන් ගත් වෑන් රථයේ රියැදුරා ලෙස කටයුතු කළ 22 හැවිරිදි තරුණයකුද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය. ඔහු මිදිගම, පාතේගම, ලෙනාඩ් වත්තේ පදිංචිකරුවෙකි.

සැකකරු සහ සැකකාරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාරදුන් අතර, එතෙක් කිසිම වගකීමකින් තොර මහත් විනෝදකාමි, කාමභෝගී ජීවිතයක් ගතකළ සැකකාර කත සිපිරි ගෙයක බිත්ති සතරකට කොටු වන්නේ වසර ගණනක් පෙම්කළ පෙම්වතා පාවා දී අනෙක් පෙම්වතා ලවා ඔහු ඝාතනය කිරීමට තරම් සිත ගලක් වූයේ කෙලෙසකදැයි යන පැනය ඇය අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ සිත්වලද ප්‍රශ්නයක් ඉතුරු කරමිනි.

Comments