යන්න ගියා දෙන්නම මේ ලොවෙන් සමුගෙන | සිළුමිණ

යන්න ගියා දෙන්නම මේ ලොවෙන් සමුගෙන

- උප්පැන්න සහතිකයක් නැති නිසා විවාහ වෙන්න නොහැකි වේ යැයි පෙම්වතා බියෙන් පසුවෙලා
- ළාබාල යුවළගේ සිරුරු හෝටලයේ

අජිත්ට 'මධූෂා' මුණ ගැසෙන්නේ අහම්බෙනි. ඒ තංගල්ල නගරයේදීය. ඇය දුටු පළමු දිනයේම අජිත්ගේ සිතට දැනුණේ සසරේ කෙදිනක හෝ ඇය හමු වූවාක් වැන්නකි. තංගල්ල බස් නැවතුම්පොළ අසලදී දුටු ඒ 'රුව' යළි දකින්නට ඇත්නම් යැයි අජිත්ට සිතෙන්නට ඇත. පසු දිනද සුපුරුදු වෙලාවට බස් නැවතුම්පොළ වෙත ගියද ඒ රුව දකින්නට නොලැබිණි. අජිත්ගේ සිතට දැනුණ 'සාංකාව' මෙපමණකැයි කිව නොහැකිය. එක දිගට දින කිහිපයක්ම උදේ සහ සවස ඒ 'රුව' දැක ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු බස් නැවතුමේ කැරකිණි. දින දෙකකට පසුව අජිත්ට සතුටක් දැනුණේ තමන් සෙවූ 'රුව' දකින්නට ලැබීමෙනි. කීප වරක් ඇය අසලින් ගිය 'අජිත්' ඇය ‌දෙස බලා සිනාසුණේ ඇගෙන්ද පිළිතුරු සිනාවක් ලැබේයැයි සිතමිනි. දෙදෙනාගේ 'නෙත්' එකිනෙක ගැටුණද ඇගෙන් ඔහුට පිළිතුරු සිනාවක්නම් නොලැබිණි. මඳ වෙලාවක් අජිත් දෙස බලා සිටි 'මධූෂා' කිසිම ප්‍රතිචාරයක් නොදක්වා බිම බලාගෙන සිටියාය. දින කිහිපයක් පැමිණ ඇය දෙස බලා සිනාසී ඇයට ඇති ආදරය පෙන්වීමට, උනන්දුවක් ඇති බව පෙන්වීමට අජිත් උත්සාහ ගත්තේය. දින කිහිපයකට පසුව 'මධූෂා'ගෙන් 'යන්තම් සිනාවක්' අජිත්ට ලැබිණි. 

එදා අජිත් එතැනින් පිටතට ගියේ අප්‍රමාණ සතුටකිනි. ඊළඟ දිනයේ අජිත් ඇය අසලට ගොස් සිනාසී ඇයට ළං විය. ඔහුගේ වචන පැටලෙද්දී යන්තම් සිය අදහස ඇයට කියාගන්නට අජිත්ට හැකි විය. මධූෂා ඇය ගැන අජිත් ඇසූ තොරතුරුවලට පිළිතුරු දුන්නේ අජිත් දෙස බලාගෙන නම් නොවේ. ඇය වටපිට බලමින් ඊට පිළිතුරු දුන්නාය. තංගල්ලට ඇය පැමිණෙන්නේ අම්බලන්තොට සිට බැවින් තමන් දන්නා හඳුනන කවුරුන් හෝ සිටීදැයි ඇය විපරම් කළාය. දිනෙන් දින දෙදෙනා එකිනෙකා සමඟ කතා බස් කරද්දී දෙදෙනාගේ 'ආදරය' මල්පල ගැන්විණි.

මධූෂා අම්බලන්තොට පදිංචි වයස අවුරුදු දහසයක තරුණියකි. ඇය තංගල්ලට පැමිණෙන්නේ පෞද්ගලික පන්තියකට සහභාගී වන්නටය. ඇය අජිත් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරන්නේ මේ අතරය. අජිත් යනු තංගල්ල නගරයේම හැදී වැඩුණ තරුණයෙකි. පියෙකුගේ සෙනෙහස අහිමිව කුඩා කාලයේ සිටම මව ළඟ හැදී වැඩෙන අජිත්ට පාසල් අධ්‍යාපනයක්ද නිසියාකාරව ලබා ගන්නට නොහැකි විය. ඔහුගේ මව තංගල්ල නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කළාය. වයස අවුරුදු අට දහය වෙද්දී මවගේ දැනහැඳුනුම්කම මත අජිත් සංචාරක හෝටලයක හිමිකරුවෙකුගේ නි‍ෙවසකට භාර දුන්නාය. ඒ ඇයට දරුවෙකු හදා වඩා ගන්නට මෙන්ම පෝෂණය කරන්නට තරම් ආර්ථික ශක්තියක් නොමැති බැවිනි.

අජිත් උපතින්ම දෙමළ ජාතිකයෙක් වන අතර ඔහු හැදී වැඩෙන්නේ සිංහල පවුල් අතරය. ජාතිභේදයක් ඔහුට නොදැනිණි. යහළු මිත්‍රයන් සියල්ල ඔහුට සහෝදරයන් සේය. තමන්ට රැකවරණය සලසන පෝෂණය කරන ස්වාමියා වෙනුවෙන් අජිත් උපරිම කැපවීමකින් වැඩ කළේය. සංචාරක හෝටලයක් හිමි ස්වාමියා අජිත්ට හෝටලයේ සියලු වැඩ පැවරුවේ අජිත් තුළ තිබූ විශ්වසනීයභාවය නිසාමය.

කාලයක් ගතවෙද්දී අජිත් එම සංචාරක හෝටලයේ සියලු කටයුතු සොයා බලමින් වැඩ කටයුතුවල නිරත වූ අතර ඊට හෝටල් හිමියාද නිදහස දී තිබිණි.

මේ සියල්ල සිදු කරන අතරම සිය ‌පෙම් සබඳතාවද පවත්වාගෙන යන්නට අජිත් කටයුතු කළේ තමන් හඳුනා ගත් පෙම්වතිය අනාගත සහකාරිය බවට පත් කර ගන්නා අදහසිනි. කිසි විටෙකත් ඇය අත්හරින සිතක් අජිත් තුළ නොවීය. සිය පෙම්වතියගේ නි‍ෙවසට ගිය අජිත් ඇයට සියල්ල පවසා සිටියේ තමන්ගේ සිත තුළ ඇති අවංක බව ඇයට පෙන්වමිනි. මධූෂාගේ මවද විදේශගතව සේවය කළාය. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැනගත් ඇය පවසා සිටියේ තමන් ලංකාවට පැමිණ විවාහය සිදුකර දෙන බවත් එතෙක් ඉවසා සිටින ලෙසත්ය.

අජිත් නිසි අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවූ බැවින් ඔහු සිය මිතුරන් සමඟ තම විවාහය පිළිබඳව අනාගතය පිළිබඳව පවසමින් ඔවුන්ට අනාගත තම සැලසුම් ගැන පැවසුවේ ඔවුන්ගේ අදහස් උපදෙස්ද ලබා ගැනීමේ අදහසිනි. අජිත් තම පියා පිළිබඳව කිසිවක් නොදන්නා අතර මවගෙන් ඒ ගැන විමසන්නට ඔහු අකමැති විය. ඒ මවගේ සිත රිදවිය නොහැකි බැවිනි. ඔහු කිසි දිනෙක තමන්ගේ උප්පැන්න සහතිකයක් දැක නොතිබිණ. ඒ නිසාම පාසල් අධ්‍යාපනය ඔහුට අහිමි විය. ජාතික හැඳුනුම්පත පවා සකසා ගැනීමට ඔහුට නොහැකි විය. තරුණ වයසට පත් වන විට අජිත් මේ අඩුපාඩු නිසා කලකිරීමට පත් වී සිටියේය. සෑම තැනකදීම තමන්ට 'අඩුවක්' සහ මදිකමක් සිදු වන බව ඔහුට දැනිණි. තමන් ඇසුරු කළ අයගෙන්ද මීට නිසි විසඳුමක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඒ ඔවුන්ටද අජිත්ට උපදේශයක් දෙන්නට තරම් දැනුමක් නොතිබූ බැවිනි.

'මධූෂාට' වයස අවුරුදු දාහතකි. ඇයට අවුරුදු දහඅට පිරුණු ගමන් විවාහ වීම අජිත්ගේ අපේක්ෂාව විය. එහෙත් තමන්ට උප්පැන්නයක් හෝ හැඳුනුම්පතක් නොමැති වීම ඊට බාධාවක් බව අජිත්ට ඇසූ ඇසූ අය පවසා තිබිණ.

නිසි දැනුමක් ඇති අයෙක්ගෙන් මේ පිළිබඳව අසන්නට තරම් දැනුමක්, අවබෝධයක්ද හෝ හැඳුනුම්කමක්ද අජිත්ට නොතිබිණ. මධූෂා සහ අජිත් විවාහය ගැන කතාවන සෑම අවස්ථාවකම මේ කාරණය පෙරට ආවේ දෙදෙනාගේම සිත්වලට වේදනාවක් උරුම කරමිනි. මධූෂාටද ලෝකය තේරුම් ගන්නට යමක් අවබෝධ කර ගන්නට තරම් හැකියාවක් දැනුමක් නොතිබිණ. ඇය වයස අවුරුදු දාහතක් වන තරුණියකි. අජිත් ද අධ්‍යාපනයක් නොලද අහිංසකයෙකි.

ඒ නිසා අජිත් සිතුවේ විවාහය සඳහා හැඳුනුම්පත සහ උප්පැන්නය නොමැති වීමේ හේතුව නිසා තම විවාහය සිදු කළ නොහැකි වේනම් තමන් පණ මෙන් ආදරය කළ 'මධූෂා' තමන්ට අහිමි වනු ඇති බවයි.

පසුගිය දිනක අජිත් - මධූෂා හමුවී දිගින් දිගටම මේ ගැන කතා කළේය. මධූෂා මවගේ සහ පවුලේ අදහස් ලෙස කීවේ ‘අම්මා මෙරටට පැමිණි පසු කසාද බඳිමු‘ කියාය.

ඒ සෑම අවස්ථාවකම අජිත්ගේ සිත කීරි ගැසී යන්නට ඇත. තමන්ගේ අසරණකම අඩුපාඩු සිහියට නැඟෙන්නටත් ඇත. මධූගේ ඥාතින් ඉදිරියේ තමන්ට ලැජ්ජා වෙන්නට වේයැයි සිතෙන්නටත් ඇත. තමන්ගේ පළමු සහ එකම ආදර කතාව 'අහිමි කර ගන්නට' අජිත් අකමැති විය. අජිත් ඉතා අමාරුවෙන් තමන්ට ඇති හැඟීම, වේදනාව, භය මධූෂාට කීවේය.

"මධූ මට උප්පැන්නෙ හැඳුනුම්පත නැති නිසා කසාද බඳින්න බැරි වුණොත් ඔයා මට නැතිවෙනවා. මගේ 'පණ' මම ආදරේ කළේ ඔයාට විතරයි. ඒවා නෑ කියල මට ඔයා නැතිකර ගන්න බෑ. ඔයා වෙන කාටවත් අයිති වෙනවා මට බලන් ඉන්නත් බෑ. මේවට විසඳුමක් හොයන්න ලෝකයෙ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නත් එක්ක අපි දෙන්න මේ ලෝකෙන්ම සමු අරගමු" යැයි වෙව්ලන ස්වරයෙන් මධූෂාගේ අත අල්ලාගෙන පැවසීය. දෙදෙනාගේ ආදරය බැඳීම ඉතාම සවිමත් එකක් විය. මධූෂාටද අජිත් කී දේ ගැන බරපතළකමක් නොදැනිණි ආදරයෙන් අන්ධව සිටි දෙදෙනාම තමන් ගන්නේ ඉතාම නිවැරැදි තීරණය යැයි සිතන්නට ඇත.

දිනය පසුගිය 22 වන දිනයි. සවස හතරට පමණ අජිත් සිය ත්‍රිරෝද රථයෙන් අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසට ගොස් ටික වෙලාවක් ගතකර, “මධූ පොඩි ගමනක් යමුද?“ කියා කතා කර ඇය ත්‍රිරෝද රථයට නංවාගෙන තංගල්ලේ හෝටලය වෙත පැමිණියේය. සොඳුරු ආදර කතාවක නිමාව අරඹමින් දෙදෙනා එක්ව මෙලොවින් සමුගන්නට තීරණයකට එළඹිණි. සිය තීරණය කොළයක සටහන් කළ අජිත් ‘අපි දෙදෙනාගේ ආදරය අවසන්... අපිට මෙහෙම වෙන්නේ අපේම කැමැත්තෙන්‘ යන අදහස දැනෙන ලිපියක් ලියා මේසය මත තබා, හෝටලයේ ආලින්දයේ බාල්කයක ලණු දෙක ගැට ගසන අජිත් තොණ්ඩු දෙකක් සකස් කර පුටුවක් අසලට ගෙන දෙදෙනාම එකට බදාගෙන පුටුවට නඟින ආකාරයද ගෙලට තොණ්ඩු දාගෙන පුටුව පාදයෙන් තල්ලු කරන අයුරුද හෝටලයේ සී.සී.ටී.වී. කැමරාවල මැනවින් සටහන්ව ඇත. හෝටල් හිමියා මෙය දකින්නේ පැය කිහිපයකට පසුවය.

වහාම තංගල්ල මූලස්ථාන පොලිසියට මේ බව දන්වන හෝටල් හිමියා අවශ්‍ය නීතිමය කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි. පොලිස් පරීක්ෂණ ආරම්භ කර තංගල්ල ස්ථානීය අපරාධ ඒකකයේ නිලධාරින්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදි. පොලිසියේ දැන්වීම මත තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත දේහ තංගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කරන ලදි.

නීතිය නොදැනීමද, අනවබෝධයද, නිසි උපදෙසක්, මඟ පෙන්වීමක් ලබා ගත නොහැකිවීම ද මත අහිංසකයන් දෙදෙනකුට ආදරය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම කොතරම් ඛේදනීයදැයි විමසීම විසඳුම් සෙවීම සමාජ යුතුකමකි.

එච්.ඒ.පී. සමරවික්‍රම - මැදමූලන සමූහ

Comments