![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/11/17.jpg?itok=4bJvSekH)
- හාලිඇළ පොලිසිය කළ විමර්ශනයේදී සියලු තොරතුරු හෙළි වෙයි
- රත්වූ ස්ත්රික්කයෙන් බිරියගේ හිසට පහරදී සිරුර පුලුස්සලා
- බිරිය රෝහලේ සැමියා හිරේ
ටීෂර්ට් එක ඇඳ ගැනීමට නොහැකි ලෙස තෙතබරිත වී තිබීම නිසා කෝපයට පත් පුද්ගලයකු සිය බිරියගේ හිසට පහරදී රත්වූ විදුලි ස්ත්‍රික්කයකින් ඇගේ සිරුර පුලුස්සා දැමීයැයි කියන සිද්ධියක් හාලිඇළ රොසට් වත්තෙන් වාර්තා වූයේ පසුගියදාය.
බඩල්කුඹුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක සේවය කරන හාලිඇළ රොසට් වත්ත තුන්වන කොටසේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු මෙම අපරාධය සිදු කර ඇති අතර ඔහු හාලිඇළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන්නේ ඉන් අනතුරුවය. පොලිසියට මේ ගැන පැමිණිල්ල ලැබුණු මොහොතේම ඒ ගැන විමර්ශන සිදු කැරිණි.
සැමියා රත් වූ විදුලි ස්ත්‍රික්කයකින් හිසට පහර දී මුහුණ, ගෙල, පිට, පිලිස්සීම නිසා බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ රොසට් වත්තේ 28 හැවිරිදි කත සිඟිති දරුවන් තිදෙනකුගේ මවක් වන වතු කම්කරු කාන්තාවකි. ඇය ප්‍රතිකාර පිණිස බදුල්ල මහ රෝහලට ඇතුළු කළාය.
පහර දීම නිසා හිසට සිදු වූ තුවාල සඳහා ඇගේ හිසට මැහුම් හතක් දමන්නට සිදු විය. පිටේ මුහුණේ රත් වූ විදුලි ස්ත්‍රික්කයකින් පිලිස්සූ නිසා පිලිස්සීම් තුවාල නිරීක්ෂණය වූ බව වෛද්‍යවරු සඳහන් කරති.
මේ කාන්තාවගේ ගම වැලිමඩ බෝගහකුඹුරය. සැමියා හාලිඇළ රොසට් වත්තේ පදිංචි අයෙකි. මොවුන් දෙදෙනා දැනහඳුනාගෙන ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධයක් මත මීට වසර හයකට පමණ පෙරදී මවුපියන්ගේ ආශීර්වාදය මත විවාහ දිවියට එළැඹ ඇති බව හෙළි වන්නේ පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදීය. විවාහ වීමෙන් අනතුරුව කාන්තාව හාලිඇළ, රොසට් වත්තේ, තුන්වන කොටසේ පිහිටි සැමියාගේ නිෙවසේ පදිංචි වූවාය. සැමියා කුලී වැඩ කළ අතර බිරිය රොසට් වත්තේ වතු කම්කරු රැකියාවක නිරත වූවාය.
මේ යුවළට කුඩා දරුවන් තිදෙනකු සිටී. පවුලේ අගහිඟකම්, දරිද්‍රතාව හමුවේ මේ යුවළ අතර නිරතුරුවම අඬදබර, ගැටුම් ඇති විය. මෙහිදී සැමියා අතට අසුවන දෙයින් බිරියට පහර දීමට පෙලඹී සිටියේය. මෙම ගැටුම් බිරියට දැන් අලුත් දෙයක් නොවූයෙන් ඇය සැමියාගේ සියලුම වධ හිංසා ඉවසා දරාගෙන සිටියාය. සැමියාගේ වධ හිංසාවලට ගොදුරු වූ බිරියගේ සිරුර පුරා ලප කැළල් රැසක් ඇති බව පොලිසිය සහ වෛද්‍යවරු සිදු කළ විමර්ශනයේදී හෙළි විය. ඒ සැමියාගේ පහරවලින් සිදුවූ ඒවා බවට සැක කැරේ.
පවුලේ ආර්ථික අපහසුතාව, දරිද්‍රතාව එන්න එන්නම වැඩිවන අතරේ සැමියා බඩල්කුඹුර නගරයේ ඉන්ධන පිරවුම් හලක රැකියාවකට ගියේය. එසේ රැකියාව කරන අතරතුරේ ලද නිවාඩුවට නිෙවසට පැමිණ ගියේය. රේවතී දරු තිදෙනා සමඟ නිෙවසේ සිටියාය.
පසුගිය දින කීපය මුළුල්ලේ බදුල්ල ප්‍රදේශයට නොකඩවා වැසි ඇද හැලෙන්නට විය. හිරු එළිය පතිත නොවූයෙන් ඇඳුම් පැලඳුම් පවා වේළා ගැනීමට නොහැකිව හැම දෙනාම දුෂ්කරතාවට පත් වූහ.
මේ අතර සැමියා නිවාඩු ලබා නිෙවසට පැමිණියේ ධාරාණිපාත වර්ෂාවත් සමඟය. ඈ වැස්සට තෙමුණ ඇඳුම් සෝදා එළියේ වැලට දැමුවාය. මෙම ඇඳුම් තෙත නිසාවෙන් බිරිය නිෙවස තුළට නොගෙන රාත්‍රියේ එළිවන තුරු එම රෙදි වැලේම තිබෙන්නට හැරියාය.
පසු දින උදෑසන සැමියා වැඩට යන්න සූදානම් වී ඇඳුම් මදින්නට වූ අතර, ඔහුගේ ටී ෂර්ට් එක වේළී නොමැතිව තෙතබරිත වී තිබීම නිසා සැමියා බිරියට ඇඳුම් මදින අතරේදී බැණ වදින්නට විය. මේ දෙදෙනාගේ බහින්බස් වීම දුර දිග යාමත් සමඟ කෝපයට පත් සැමියා රත් වූ විදුලි ස්ත්‍රික්කය ගෙන ඉන් බිරියගේ හිසට පහර කීපයක් එල්ල කළේය. ඉන් නොනැවතුණු සැමියා රත් වූ ස්ත්‍රික්කය ගෙන බිරියගේ පිට, මුහුණ, ශරීරය පුච්චා දැම්මේ අමානුෂික ලෙසිනි. බිරිය වේදනාව ඉවසා දරාගත නොහැකිව යටිගිරියෙන් කෑගසන්නට වූ අතර ඇගේ සිඟිති දරුවන් තිදෙනා පැමිණ මව බදාගෙන සිටියේ ඔවුන්ට කිසිවක් කරකියා ගත නොහැකි නිසාය.
අසල්වැසියන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව හාලිඇළ පොලිසියේ නිලධාරීන් සහ අවට පිරිස එක්වී තුවාල ලබා සිටි බිරිය 1990 ගිලන් රථයකින් බදුල්ල මහ රෝහලට රැගෙන ගියහ. සැකකාර සැමියා පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදි. බිරිය බදුල්ල මහ රෝහල් ප්‍රතිකාර ලබන අතරේ සැමියා සිපිරි ගෙයි වහලයේ උළු කැට ගණන් කරමින් සිටි. ඔවුන්ගේ සිඟිති දරුවන් තිදෙනා පවුලේ සහෝදරියකගේ රැකවරණයෙහි සිටිති.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරි පී.එම්. ජයරත්නගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීම මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා එච්.ටී. නදීකා පීරිස් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
සී. ගමගේ - සොරණාතොට සමූහ