වැව ළඟ වළ දැමූ සිරුර කාගෙදැයි හෙළි කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය | සිළුමිණ

වැව ළඟ වළ දැමූ සිරුර කාගෙදැයි හෙළි කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය

-  සිරිපාලගේ අස්ථි කොටස් පරීක්ෂාවේදී ඝාතනයක් බව හෙළි වෙයි
- “සිරිසේන මාමා තාත්තාට උදැල්ලෙන් ගැහැවුවා“ පස් හැවිරිදි පුතුගේ සාක්ෂියෙන් මිනීමැරුම හෙළි වෙයි

මීට වසර පහළොවකට විස්සකට පමණ ඉහත දිය. මළ සිරුරක අස්ථිවල කොටස් සහිත සීල් කරනු ලැබූ පාර්සලයක් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට එවා තිබිණි. මෙම අස්ථි කොටස් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව ග්‍රාමීය රෝහලක සිට කරාපිටිය ශික්ෂණ රෝහලට එවා තිබුණි. සිරුරේ අස්ථි කොටස් 53ක් තිබූ අතර මේවා සම්බන්ධ ‘ප්‍රශ්න පත්‍රය‘ක් මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකොට තිබුණේය. මෙම අස්ථි කොටස් සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරනු ලැබුවේ කීර්තිමත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු වූ මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලය. එවකට සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියකු වූ යූ.සී.පී. පෙරේරාද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහාචාර්යවරයාට සහාය විය. 

මෙම අස්ථි කොටස් මනුෂ්‍ය ඇට කැබලිද? එසේනම් එහි ස්ත්‍රි පුරුෂ භාවය, වයස, උස, මරණය වී ඇත්තේ කොපමණ කාලයකට පෙරද? මරණයට හේතුව, මියගිය පුද්ගලයා පුෂ්ටිමත් අයෙක්ද? කෙසඟ සිරුරක් සහිත අයෙක්ද? මහේස්ත්‍රාත්වරයා විසින් එවා තිබූ නියෝගයේ මෙකී ප්‍රශ්න සඳහන් ව තිබුණි. පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම අධිකරණ වෛද්‍යවරයා වෙත පැවරී තිබුණේය. මුලින්ම අධිකරණ වෛද්‍යවරයා විසින් අස්ථි කොටස් එකින් එක වෙන් කරගැනීමට කටයුතු කරන ලදි.

හිස් කබල, උකුල් අස්ථිය, තුනටිය, අස්ථි ඇතුළු අස්ථි කොටස් අධිකරණ වෛද්‍යවරයා විසින් වෙන් කරනු ලැබීය. මෙය මනුෂ්‍යයකුගේ අස්ථි කොටස් බවට ඉතා පැහැදිලිව නිරීක්ෂණය විය. හිස් කබල පරීක්ෂා කිරීමෙන් මෙය පිරිමි අයකුගේ මළ සිරුරක් බව අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කරගත්තේය. දත්වල පිහිටීම අනුව මියගිය පුද්ගලයාගේ වයසද තීරණය කළ අධිකරණ වෛද්‍යවරයා මොහු වයස අවුරුදු 30ක 35ක පුද්ගලයකු බව අනාවරණය කරගත්තේය. උකුල් ඇටවලින් මියගිය පුද්ගලයාගේ උස මැන ගැනීමට අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළේය. මෙම අස්ථි කොටස් සහිත පාර්සලයේ අස්ථි කැබලි 53ක් බවට සඳහන් කොට අදාළ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහල මඟින් එවා තිබුණද අස්ථි කොටස් වෙන් කිරීමේදී අස්ථි කැබලි 55ක් තිබුණේය. හිස් කබලේ දක්නට ඇත්තේ ගණකම සහිත අස්ථි වන අතර එහෙත් මියගිය පුද්ගලයාගේ හිස් කබලේ පිටුපස අස්ථි දුරස් වී තිබුණේය. මෙසේ අස්ථි දුරස් වීමට ලක් වන්නේ විශාල බලයක් පතිත වූ විටය. එසේ වූ විට අස්ථි කොටස් බිඳි ගොස් මොළයට ලේ ගලා යාමෙන් මරණය සිදු විය හැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණය විය.

මෙම මළ සිරුරේ අස්ථි කොටස් හමු වන්නේ වැවක් ආසන්නයේ මඩ යට සඟවා තිබියදීය. මියගිය පුද්ගලයාට ‘සිරිපාල‘ යැයි කියමු. සිරිපාල හේන් ගොවියෙකි. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. සිරිපාල තම දරු පවුල සමඟ හේන් ගොවිතැන් විශාල වශයෙන් සිදු කරන ගම්මානයක පදිංචිව සිටියේය. සිරිපාලගේ ලෙකු පුතාගේ වයස අවුරුදු පහකි. බාල පුතු දෙහැවිරිදි වියේ පසු විය. බිරිය වන ටිකිරි මැණිකාද හේන් ගොවිතැන්වලට උදවු වූවාය. සිරිසේන, සිරිපාලගේ සමීප මිතුරෙකි. සිරිසේන, සිරිපාලගේ නි‌ෙවසට නිතර ආ ගිය අයෙකි. ඒ විතරක් නොව මොවුන් දෙදෙනා අතර පැවතියේ සමීප සම්බන්ධතාවකි. ගම්මුන් කීවේ සිරිපාල සහ සිරිසේන රයිගමයයි ගම්පලයයි වගේ යැයි කියාය. සිරිසේන අවිවාහකයෙකි. ඔහු සිරිපාලගේ හේන් ගොවිතැන්වලටද උදවු පදවු වූයේය. ටික කාලයක් ගත වෙද්දි සිරිසේන සිරිපාලගේ පවුලේ සාමජිකයෙකු බවට පත්ව සිටියේය. සිරිපාල නැති අවස්ථාවලදීත් සිරිසේන, සිරිපාලගේ නි‌ෙවසට පැමිණ ටිකිරි මැණිකා සමඟ කතාබස් කරමින් සිටියේය. එහෙත් සිරිසේන ගැන සිරිපාලට කිසිම සැකයක් තිබුණේ නැත.

කාලය මේ අයුරින් ගෙවී යද්දි සිරිසේන හා ටිකිරි මැණිකා අතර අනියම් සම්බන්ධයක් ඇතිව තිබුණි. ටික දිනක් යන විට මේ ගැන ගම්මුන් අතර නොයෙකුත් කයි කතාන්දර පැතිරී යන්නට විය. එහෙත් සිරිපාල මේ කයි කතාන්දර විශ්වාස කළේ නැත. කයි කතාන්දර හදන ගම්මුන්ටද සිරිපාල බැණ වැදුණේය. එක් දිනක් සිරිපාල හේනට ගොස් නි‌ෙවසට ආවේය. නි‌ෙවසේ දොරවල් වසා තිබුණි. නි‌ෙවසේ කාමරයක් තුළ සිරිසේන හා ටිකිරි මැණිකා කතාබස් කරන හඬ සිරිපාලට ඇසුණේය. ඔහු එක් වරම කාමරයේ දොර විවෘත කොට කාමරයට ඇතුළු විය. කාමරය තුළදී දුටු දර්ශනයෙන් සිරිපාල මවිත වූයේය. ඔහු මේ සිද්ධියෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය.

“සිරිසේන මමනම් හිතුවේ නැහැ උඹ මේ වගේ මිනිහෙක් කියලා...“ යැයි සිරිපාල කෝපයෙන් පුපුරමින් සිරිසේනට බැණ වැදුණේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති විය. සිරිසේන නි‌ෙවසේ පිටුපස තිබූ උදැල්ල ගෙන සිරිපාලගේ හිසට ගැසුවේය. ඒ උදලු පහරෙන් සිරිපාල කපාහෙලූ ගසක් මෙන් බිම ඇදගෙන වැටුණේය. පසුව සිරිසේන සහ ටිකිරි මැණිකා එක්වී සිරිපාලගේ සිරුර ගෝණියක දමා සිඳී ගිය වැවක් අසල මඩට යට කර දැමුවේය. එවකට පස් හැවිරිදි වියේ පසු වූ සිරිපාලගේ වැඩිමහල් පුතුට පියාට උදැල්ලකින් පහර දෙන අයුරු හොඳට මතකය.

සිරිපාල වැටී තිබුණේ අතුරුදන් වූවන්ගේ ගොඩටය. සිරිපාලගේ ඥාතින් සිරිපාල ගැන සෙවුවේය.

“සිරිපාල හේනට යන බව කියලා තමයි ගියේ... නමුත් ඔහු අවේ නැහැ.“ ටිකිරි මැණිකා සිරිපාලගේ ඥාතීන්ට කීවාය. සිරිපාලගේ අතුරුදන් වීම ගැන පොලිස් පොතේද සටහන් විය. ඔහු අතුරුදන් වී වසර දෙකක් පමණ ගත විය. සිරිපාලගේ ඥාතින් ඔහු සෙවීම අත්හැර තිබුණේ නැත.

“තාත්තට සිරිසේන මාමා උදැල්ලකින් ගැහුවා. මට මතකයි...“ සිරිපාලගේ පුතු එක් දිනක් සිරිපාලගේ ඥාතීන්ට කීවේය. ඉන්පසු මෙම ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය වූයේය. ඉක්බිති ඒ පළාතේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව සිරිපාලගේ මළ සිරුරේ අස්ථි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කෙරිණි.

එහෙත් ටිකිරි මැණිකා මේ ගැන තමන් කිසිවක් නොදන්නා බව කීවාය. සිරිසේන පොලිස් අත්අඩංගුවට පත් විය. මිනී මැරීමේ චෝදනාව යටතේ සිරිසේනට විරුද්ධව පොලිසිය විසින් අධිකරණයේදී නඩු පවරනු ලැබීය. මේ පිළිබඳ නඩු විභාගය මහාධිකරණය වෙත යෙමු වන්නේ 2005 වර්ෂයේදීය. ඒ සිරිපාල මරා දමා වසර 13කට පසුවය. ඒ වන විට සිරිපාලගේ වැඩිමහල් පුතු ගජ ඉලන්දාරියෙකි. මහාධිකරණයේ විභාග වන මෙම මිනීමැරම් නඩුවේ එකම සාක්ෂිකරුවා වන්නේද සිරිපාලගේ පුතුය. මියගිය පුද්ගලයා සිරිපාලමද? ඔහු මියගියේ පහර දීමකින්ද? මරණයට හේතුව ආදි කරුණු විද්‍යාත්මකව අධිකරණ වෛද්‍යවරයා විසින් අධිකරණයේ දී ඔප්පු කළ යුතුය. විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා අවස්ථා කිහිපයකදීම මෙකී මිනීමැරුම් නඩුවේ සාක්ෂි ලබා දීම සඳහා මහාධිකරණයට ගියේය.

“වළේ තිබිලා ගොඩ අරන් තියෙන්නේ මෙම පුද්ගලයාමද කියලා“ මගෙන් විත්තියේ නීතිඥයින් ප්‍රශ්න කළා. මෙකී මළ සිරුර වළ දමලා තිබුණේ තෙතමනය සහිත ස්ථානයක. තෙතමනය තියෙන විට ඒ විදියටම මළ සිරුර ගල් වෙනවා. මස් කොටස් පරීක්ෂා කළා. මම විද්‍යාත්මකව ඔප්පු කළා වළෙන් ගොඩ අරගෙන තියෙන පුද්ගලයාගේම තමයි මෙම අස්ථි කොටස් කියලා. කල් ගිය මරණයක් විද්‍යාත්මක සාක්ෂිවලින් නිර්මාණය කරන්න පුළුවන්.“ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී.පෙරේරා කීවේය. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් ඇසින් දුටු එකම සාක්ෂිකරුවා වන්නේ සිරිපාලගේ පුතුය. ඔහු ඒ වන විට රැකියාවක් සඳහා විදේශතව සිටියේය. නමුත් ඔහු පැමිණ මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දුන්නේය.

“විත්තියේ නීතිඥවරු මගෙන් ප්‍රශ්න කළා. මීට වසර 15කට කලින් වූ සිද්ධියක් පොඩි දරුවෙකුට මතක තියාගන්න පුළුවන් ද කියලා. යම්කිසි අයෙකු මේ දරුවාට උගන්වලා සාක්ෂි දෙන බවට ඔවුන් තර්ක කළා. මෙවැනි සිද්ධියක් කුඩා දරුවෙකුට මතක තියා ගන්න පුළුවන්ද කියලා නීතිඥයින් තර්ක කළා. මේ ගැන පිළිතුරක් දෙන්න මම අධිකරණයෙන් කල් ඉල්ලා ගත්තා. වොහාරික මනෝ වෛද්‍යවරයකුගෙන් මේ ගැන උපදෙස් ගත්තා. ඔහු විසින් දුන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා. සිද්ධිමය කරුණු අනුව කුඩා දරුවෙකුට මතක ශක්තිය තියෙන්න පුළුවන්. මේ වගේ සිද්ධියකදී යම්කිසි අයෙකුට මෙහෙම කියන්න කියලා උගන්වන්න බැහැ. කුඩා දරුවගේ මතකය නිවැරැදියි. දරුවා කියන දේවල ඇත්ත බවට වෝහාරික මනෝ වෛද්‍යවරයා වාර්තාව දීලා තිබුණා“යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී පෙරේරා කීවේය.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරාගේ අත්දැකීම් ඇසුරෙනි.‍

Comments