![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/04/1-1.jpg?itok=XCrHwfdE)
- මේ වීර ක්‍රියාව කළේ මැදගම අමුණේකඳුර ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඩී.එම්. ලක්ෂිත දිල්ෂාන්
- සිසුවිය බේරාගන්න සැඩ පහරේ මීටර් 50ක් පමණ පීනයි
ඇදහැලුණු මහ වැස්ස නතර වුවා පමණි. බිබිල මැදගම 17 කණුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය පුරුදු පරිදි ගලාගෙන ගියත් එසේ ඇදහැලුණු මහ වැස්සෙන් බොර වූ ඔය වෙනදාට වඩා සද්දෙන් ගලා ගියේය. ඒ වෙල්ලන් ඔය හරහා ජනතාවට එගොඩ මෙගොඩ වීමට තිබුණේ ඇඳි වැටක් නැති කෝසුවකි. අඩියක දෙකක වතුර පාරක් මේ කෝසුව උඩින් ගලා ගියත් ඉන් එගොඩ මෙගොඩ ගිය කවුරුවත් ඒ වතුර පාර 'ගනනකට' නොගත්තේ එය ගසාගෙන යන තරමේ සැඩ පහරක් නොවූ නිසාය.
බිබිල සේනාපතියේ පදිංචි බිබිල, නන්නපුරාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියක් තම මවත් කුඩා සහෝදරයත් සමඟ තම සීයාගේ දානමය පිංකමක් සඳහා සහභාගි වීමට මැදගම 17 කණුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි කෝසුවෙන් එතෙර වෙමින් සිටියේ මේ අතරතුරය. වතුර පාර තරමක් වැඩි වූ බැවින් ඔවුන්ගේ මව පළමුව කුඩා පුතු ඔය හරහා පරිස්සමට එගොඩ කර ඉවුරේ තබා අක්කා රැගෙන පැමිණෙනතුරු පරිස්සමට ඉන්නැයි පවසා යළි දණිහටත් උඩින් වතුර ගලා යමින් තිබූ ඔයෙන් එතෙර වූයේ එගොඩ ඉවුරේ සිටි තම දියණිය රැගෙන මෙගොඩට පැමිණීමේ අරමුණිනි.
ඇය තම 11 හැවිරිදි දියණිය රැගෙන පාලම දිගේ ඔය මැදට පැමිණියා පමණි. කකුල ලිස්සූ දියණිය මවගේ අතින් අත් හැරුණේ නිමේෂයකිනි. ඒ වන විටත් මිටර් එකහමාරකට ආසන්න උසකින් ගලා යමින් තිබු බෙල්ලන් ඔයේ සැඩ පහරේ දැරිය සැඟවී යන්නේ ක්ෂණයකිනි.
මව උදවු ඉල්ලා කෑ ගැසුවාය. ඒ වන විටත් ඔය ආසන්නයේ එගොඩ මෙගොඩ වීමට කීපදෙනකු සිටියද ඔවුන් දැරිය බේරා ගන්නට ඉදිරිපත් වූයේ නැත. මේ අතර අම්මාට තම කුඩා පුතු සිහි වූයේ තමන් කෑ ගසන විට ඒ කුඩා දරුවා වතුරට බහිවී යැයි සිතාය. ඇය වහා ගොඩට දිව යන්නට පටන්ගත්තේ තම සිඟිති පුතු බේරා ගැනීම සඳහාය. මේ අතර පාරට ගිය තරුණ පාසල් සිසුවකු මේ සිදුවීම දුටුවේ අහම්බෙනි. ඔහුට යාන්තමට මේ මවගේ කෑගැසීම ඇසුණු බැවින් වහා ඔය අසලට දිව ගියේ නිමේෂයකිනි. හිතාගන්නටත් නොහැකි මොහොතකදී ඔයට පැන්න සිසුවා ගලා යන සැඩ පහරේ පොරබදන ඒ දැරිය සොයා පීනා ගියේය.
වාසනාවට විනාඩි දෙක තුනක් ඇතුළත දැරියගේ අතකින් අල්ලා ගන්නට සිසුවාට හැකි විය. ඒ වන විටත් ඔයේ පහළට මීටර් පනහකට අධික දුරක් ඔවුන් දෙදෙනා ගසාගෙන ගොස් තිබුණි. බොර වතුරේ සැඩ පහරෙන් බේරෙමින් අසල පිහිටි ගස්වල අතු දෙක තුනක් මේ සිසුවා අල්ලාගත්තත් ඒ සියලු අතු කැඩී දෙදෙනා පහළටම ගසාගෙන යන්නට පටන්ගත්තේ මේ දෙදෙනාගේ බරත් සැඩ පහරේ වේගයත් වැඩි නිසාය.
උත්සාහය අත් නොහැරි සිසුවා ඊළඟ ගසේ අත්තක එල්ලි දැරියද සුරක්ෂිතව බේරා ගන්නට සමත් වූවේය. අනතුරුව පරිස්සමෙන් ඔහු දැරිය නිරුපද්‍රිතව ගොඩට ගෙන ආවේය. මවට දැරිය බාර දුන් ඔහුට වවාගත නොහැකි දරු දුකකින් අසරණ වී සිටි ඒ මව හැඬූ කඳුළින් තම සතුට ප්‍රකාශ කළාය.
තරුණ සිසුවා තෙතබරිත ඇඳුම් පිටින් යළි නිෙවසට පිටත් වූයේ ලොවක් දිනු ජයග්‍රාහකයෙකු විලසිනි. තම ජීවිතයද පරදුවට තබා ගලා යන සැඩ පහර සමඟ පොරබදමින් එකොළොස් හැවිරිදි දැරියකගේ ජීවිතය බේරා ගන්නට සමත් වූයේ මැදගම 17 කණුව බිබිල පාර ලිපිනයේ පදිංචි මැදගම අමුණේකඳුර ජාතික පාසලේ 12 ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත දිල්ශාන් සිසුවායි.
"වැස්ස වැහැලා පායලා තිබුණේ. ඒ වුණාට ඔයේ තරමක් වතුර ආවා. ඒ වෙලාවේ මම හිටියේ පාරට ඇවිල්ලා. එක සැරේම ගඟේ වතුර වැඩි වුණා. පාලමෙන් යන්න බැරි තරමටම වතුර පාරක් ආවා. අම්මයි දුවෙකුයි පාලමෙන් යනවා මම දැක්කා. එගොඩට. තව පුංචි බබෙක් ඉන්නවත් මම දැක්කා. මම පාරේ හිටියේ. ඒ වෙලාවේ ගඟ අයිනේ තුන් හතර දෙනකු ඉන්නවත් මම දැක්කා. එක සැරේම අර දුව අතහැරිලා වතුරේ ගහගෙන ගියා. ඒ අම්මා දුව බේරගන්න කියලා හයියෙන් කෑගැහැවුවා. කවුරුවත් වතුරට පැන්නේ නෑ. මම දෙපාරක් හිතුවේ නෑ... දුවලා ඇවිල්ලා වතුරට පැන්නා. මීටර් 30-50ක් සැඩ පහර දිගේ පීනලා ගිහින් ඒ දරුවාව අල්ලාගත්තා. අපි දෙන්නටම එගොඩ වෙන්න විදිහක් නෑ පහළට යනවා. ගස්වල අතු හතර පහක්ම අල්ලාගත්තත් ඒවා කැඩිලා අපි පහළට ගහගෙන ගියා. අන්තිමට අල්ලාගත් අත්තේ එල්ලිලා තමයි ගොඩට ආවේ. එයාට පීනන්නත් බෑ. එයාවත් ඇදගෙන තමයි මම ආවේ. මට හරිම සතුටුයි. මට හිතාගන්න බෑ ඒ වෙලාවේ හිතට ආපු ශක්තිය ධෛර්ය ගැන. මට හරිම ආඩම්බරයි මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඉතිං ඒ වගේ නංගියෙක්ව බේරගන්න ලැබුණ එක ගැන. ඉතිං ඒ ගැන කියන්න වචන නෑ.“ඔහු එසේ කියා සිටියේය.
ඩී.එම්. ලක්ෂිත දිල්ශාන්ගේ මව ඩී. එම්. චුලානි දිසානායක තම පුතුගේ වීර ක්‍රියාව ගැන අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
“අපි ගොවිතැන් කරන්නේ. අපිට ඉන්නේ මේ පුතයි දුවලා දෙන්නයි. පුතා වැඩිමලා. එයා හරිම සංවේදියි. කොහේ ගියත් යන්න කලින් වැඳලා යන්නේ. මගේ පුතා හැමදේටම දක්ෂයි. චිත්‍ර අඳින්න ආසයි. එදා හොඳටම වැස්සා. අපේ නංගි නුවර ඉන්නේ. එයා බඩු වගයක් බස් එකෙන් එවනවා කීවා. ඒක ගන්න තමයි පුතා ඔය පාරට ගියේ ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් ම. මට බඩගිනියි කන්න ඕනේ කිවුවා මම ඉක්මනට කෑම උයලා දෙන්නම් කිවුවා. ඒ වෙලාවේ නෑ අම්මේ මම පාරට ගිහිල්ලා එන්නම් එතකං කෑම උයන්න කියලා තමයි පුතා ගියේ. මම කෑම උයලා පොඩි දුව පංතියට දාලා එන්න ගියා. ඒ වෙලාවේ ගඟේ වතුර වැඩියි. මට හිතුණා ගඟ පැත්තට ගිහිල්ලා එන්න ඕනේ කියලා. පුතාත් පාර පැත්තට ගිය නිසා. ඒ වෙලාවේ හිතවත් අක්කා කෙනෙක් කෑගහගෙන ඇවිල්ලා කිවුවා කොල්ලා ගඟට පැන්නා කොල්ලා ගඟට පැන්නා කියලා. මට හිතාගන්න බැරිවුණා. මමත් බුදු අම්මෝ කියලා කෑගහගෙන ඔය පැත්තට දුවගෙන ගියා. එතකොට කිවුවා බය වෙන්න එපා පොඩි දුවෙක් බේරගන්න පුතා පැනලා තියෙන්නේ එයාලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. මම පුතාගෙන් ඇහුවා ඇයි පුතේ වතුරට පැන්නේ කියලා.
අම්මේ ඒ නංගි වතුරට වැටෙනවා මම දැක්කා. කවුරුවත් බේරගන්න ආවේ නෑ. මම දෙපාරක් හිතුවේ නෑ. මට බය හිතුණෙත් නෑ අම්මේ කියලා.
පුතාගේ වීර ක්‍රියාව අහලා ගමම සතුටු වුණා. මට මේ වගෙ පුතෙක් ලෝකෙට බිහි කරන්න ලැබුණ එක ගැන හරිම ආඩම්බරයි.
වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ