ඔරලෝසු සොරකමෙන් හෙළි වූ අපරාධ චාරිකාව | සිළුමිණ

ඔරලෝසු සොරකමෙන් හෙළි වූ අපරාධ චාරිකාව

- කිරුළපනේ ‘වසන්‘ සිදුකළ කොල්ලකෑම් ්‍ සොරකම් සියල්ල එළියට
- කෝවිලේ ගණකාධිකාරිගේ නිවෙසින් ඉස්සූ ඔරලෝසුවේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක්

“අයි අයියෝ ෂාමි. මගෙ ඔරලෝසුවනේ. මේසේ උඩ තමා තියලා ගියේ. ඉස්සරහා දොර කඩලා තමා ගෙට ඇවිත් අරගෙන ගිහින් තියෙන්නේ. හංගලා තිබුණ මාලෙත් අරන් තමා හොරා පැනලා ගිහින් තියෙන්නේ. අනේ ෂාමි මට පිහිට වෙන්න. මට මගෙ බඩු ටික හොයලා දෙන්න දෙවියනේ...“

බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝවිලක ගණකාධිකාරිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු මෙම කන්නලව්ව සිදු කරන්නේ දෙවියන් ඉදිරියේ වැඳ වැටෙමිනි. ඔහු ඉල්ලා සිටියේ තමන්ගේ වටිනා ඔරලෝසුව හා රන් මාලය සොයා ගැනීමට පිහිටවෙන ලෙසය.

තනිවම ජීවත්වන ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ 09 වැනිදා කිරුළපන, මහින්ද මාවතේ පිහිටි සිය නිවෙසින් පිටව යන්නේ යාපනය ප්‍රදේශයේ කෝවිලක පැවති උත්සවයකට සහභාගි වීම සඳහාය. ඒ යන විට මෙම ඔරලෝසුව තබා ගියේ මේසය මත වුවත් පවුම් තුනහමාරක් බර රන් මාලය අල්මාරියේ රහස් තැනක සඟවා තැබීමට ඔහු අමතක කළේ නැත. නිවෙසේ ඉදිරි දොර කඩා ඇති බව ඔහු දුටුවේ පුරා සතියක් යාපනේ කෝවිලේ උත්සවයට සහභාගි වී ආපසු පැමිණි විටය. එහෙත් ඔහු එය පොලිසියට පැමිණිලි කළේ නැත. තම ආගමට දහමට අනුව ජීවත්වන ගණකාධිකාරිවරයා දෙවියන් ඉදිරියේ කන්නලව් කරමින් තම දුක කිව්වේ කෙසේ හෝ සොරා ගත් බඩු ආපසු තමන්ටම ලබා දෙන ලෙසය.

නිවෙසක් බිඳ දේපළ සොරා ගැනීමට පුද්ගලයෙකු පැමිණ ඇතත් නිවැසියන් අවදි වීමෙන් පලා ගිය බවට කිරුළපන පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ ඔය අතරය. ඒ කිරුළපන, ශක්ති මාවතේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකුගෙන්ය. දෙමහල් නිවෙසක් වන එම නිවෙසට ඉණිමඟක් ආධාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ කොට කලිසමක් හා කමිසයක් හැඳ සිටි පුද්ගලයෙකු ඉණිමඟ කඩා වැටී බිම වැටීම නිසා නිවැසියන් දැක පලා ගිය බවය. ඔහු කවුදැයි හඳුනා නොගත් බවද පැමිණිලිකරු සඳහන් කළේය.

කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මෙහි විමර්ශන කටයුතු බාර කරන්නේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදිප් එදිරිවීරටය. ඒ කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන සහ සහකාර පොලිස් අධිකාරි 2 ජයශාන්ත සිල්වා යන නිලධාරින්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුවය.

උපපොලිස් පරීක්ෂක සඳුන් සිල්වා, 9233 ජයවීර, 37060 සනත්, 61413 තරංග යන පොලිස් සැරයන්වරුන් සහ 70225 කපිල, 78686 අරුණ, 37783 විජේසිංහ, 30574 චන්දික, 97295 විජේසිංහ, 97757 ජෝර්ජ් යන පොලිස් කොස්තාපල්වරුන් මෙන්ම කාන්තා පොලිස් කොස්තාපල් වාසනා සමඟ පොලිස් පරික්ෂකවරයා කිරුළපන, ශාන්ති මාවතට යන්නේ අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමටය.

නිවැසියන්ගෙන් විස්තර ලබා ගත් නිලධාරින් ඊළඟට කරන්නේ එම නිවෙසේ සිට මාර්ගයේ ඇති සිසිටිවි කැමරා පරීක්ෂා කිරීමය. එවිට මෙම සොරකමේ සැකකරු හඳුනා ගැනීමට අපහසු වූයේ නැත. ඒ ඔහු එම ප්‍රදේශයේ කවුරුත් හඳුනන කිරුළපනේ " වසන් " නමැත්තා වන බැවිනි.

කිරුළපන, නාගහවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවෙසට ගොස් සොයා බැලීමේදි දැන ගත්තේ මව සහ සොහොයුරිය එහි සිටියත් වසන් දැනට සිටින්නේ මෝදර, කුඹුලාඇළ ප්‍රදේශයේ බවය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය.

ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති වසන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර වුවත් නරක මිතුරු ඇසුරෙන් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම නිසා ඔහු ගියේ වැරදි මාවතකය. මවට අකීකරු පුත්‍රයෙකු ලෙස තවමත් අවිවාහකව මිතුරු ඇසුරේ කල් ගෙවන රැකියා විරහිතව සිටින ඔහුගේ අතේ එම අවස්ථාවේ දිලිසුණේ ‘ස්මිත් මිලිටරි‘ වර්ගයේ ඔරලෝසුවකි. පොලිස් නිලධාරින්ගේ ඇස් උඩ ගියේ එය දැකීමෙනි. අන්තර්ජාලය හරහා මේ ගැන සොයා බැලීමේදී දැන ගත්තේ එම ඔරලෝසුව ලංකාවේ මුදලින් ලක්ෂ විස්සක් පමණ වටිනා බවය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේ එම ඔරලෝසුව ඔහුට ලැබුණු ආකාරය ගැනය.

“මහින්ද පාරේ ගෙදරකින් තමයි මේක ගත්තෙ සර්. මේසෙ උඩ තිබුණේ. දැක්ක ගමන් ආස හිතුණා. විකුණන්න ලෝබ හිතුණ හින්ද අතේ දා ගත්තා සර්...“ ඔහු පොලිස් පරීක්ෂක එදිරිවීරට එලෙස කීවේය.

බම්බලපිටිය කෝවිලේ ගණකාධිකාරිවරයාගේ පවුම් 3 1/2 ක මාලය සහ ඔරලෝසුව සොරකම් කර ඇත්තේ වසන් බව එහි හිමිකරු දැනගත්තේ එවිටය.

“කෝ එතකොට මාලෙ? තමුන් මොකද කළේ මාලෙට...“ පොලිස් පරීක්ෂක එදිරිවීර ‘වසන්‘ගෙන් විමසුවේය.

“ඒක මං හෙට්ටිවීදියට වික්කා සර්...“ වසන් කීවේ තමා රන් මාලයට කළ දෙයයි.

පසුව එම මාලය සොයා ගත්තේ උණු කර තිබූ රන් ගුළියක් ලෙසය.

ඊට පෙර අගෝස්තු මාසයේ එක්තරා දිනයක වසන් කරක් ගසන්නේ කොළඹ, කුරුඳු වත්ත, විහාර මහා දේවි උද්‍යානය තුළය. ඒ හිතේ හැටියට ගොදුරක් ලැබෙන තුරුය. ඔහුගේ ඇස ගැටෙන්නේ පවුලේ පිරිස සමඟ පැමිණ විනෝද වෙමින් සිටි කාන්තාවකගේ අත් බෑගය පසෙක තබා ඇති බවය. එය ඩැහැගෙන මාරු වූ ඔහුගේ ඉහේ මල් පිපුණේ එහි තිබූ පවුම් 5 1/2 ක මාලය, පවුම් 3 1/4 බේස්ලට් එක, පවුම් 1/2 මුද්ද සහ රුපියල් පනස් දාහක නෝට්ටු ගොඩ දැකීමෙනි. පසුවය. කොල්ලුපිටියට ගිය ඔහු මාලය රුපියල් ලක්ෂ හයකට උකස් කර බ්‍රේස්ලට් එක විකුණා ගැනීමට යන්නේ ග්‍රෑන්ඩ්පාස්වලටය. එයට රුපියල් එක්ලක්ෂ දහතුන්දාහක් ලබාගත් ඔහු ඊළඟට කළේ මුද්ද මිතුරෙකුට ලබා දීමය.

ඔහු කොල්ලුපිටියේ ලිබරටි ප්ලාසා එකට යන්නේ තවත් ‘ගේමක්‘ සැලසුම් කරගෙනය. ඔහු එහිදී රුපියල් දෙලක්ෂ පනස් දෙදාහක් පමණ වටිනා නවීන පන්නයේ ජංගම දුරකතනයක් සොරා ගන්නේ එහි සේවකයින්ගේ ඇස්වලට වැලි ගසමිනි. මෙතෙක් ඔවුන් ‘ස්ටොක්‘ ලබා ගෙන නොමැති බැවින් එවැන්නක් නැතිවී ඇති බව දැන සිටියේ නැත. පොලිසිය එය සොයා ගත්තේ ඔහුගේ නිවෙසේ සඟවා තිබියදීය. 

මෙහිදී තවත් සුවිශේෂී දෙයක් සිදු විය. ඒ කිරුළපන පොලිසියේ වරෙන්තු භාර පොලිස් නිලධාරියා මොහු දුටු විටය.

“සර් මේ අර වරෙන්තු අටකට හොයන වසන්නෙ. ඕපන් වොරන්ට් පහකුයි. දින වරෙන්තු තුනකුයි මෙයාට තියෙනවනෙ...“ යැයි සැරයන් කීවේය.

සොරකම්වලට අමතරව අයිස්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළ පෙර වැරදි රාශියක් ඇති වසන් ඔහුගේ වයසින් අඩකටත් වඩා ගත කර ඇත්තේ මෙවැනි අනීතික ක්‍රියාවල පන්නරය ලැබීමට බව පැහැදිලිය.

ප්‍රදේශයේ යමක් කමක් ඇති වැදගත් පවුලක දඩබ්බර පුත්‍රයෙකු ලෙස නිවෙසින් කට්ටි පැන තවමත් අවිවාහකව තිස් හයවැනි විය පසු කරමින් සිටින වසන් මෙලෙස උපයා ගන්නා සියලුම මුදල් වැය කර ඇත්තේ අයිස් පානය සඳහාය.

අත්අඩංගුවට ගැනුණු ඔහු අත බැඳි ඔරලෝසුවක් නිසා සොරකම් වැලක චූදිතයෙකු බවට පත් වූයේ අපරාධයක් සඟවාලිය නොහැකිය යන සනාතන දහම හමුවේ නිරුත්තර කරමිනි.

Comments