- සැකකරු මත්පැන්වලට තදින් ඇබ්බැහිවූවෙක්
- තාත්තාගේ කිහිලිකරුවෙන් තාත්තාටම පහර දීලා
මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූ අවිවාහක අජාසත් පුතෙකු කිහිලිකරුවකින් පහර දී සිය වයෝවෘද්ධ පියා ඉතා අමානුෂික ලෙස නිවසේ නිදන කාමරයේ නිදි යහන මතදී ඝාතනය කිරීමේ පුවතක් බදුල්ල, කොස්ලන්ද පොලිස් වසමේ, ගම්පහ ඌව මාවෙලගම රෝස්බෙරිවත්තෙන් නොබෝදා වාර්තා විය. කොස්ලන්ද දිවුල්ගස්මුල්ල ග්‍රාම සේවා වසමේ පිහිටි ගම්පහ ඌව මාවෙලගම රෝස්බෙරි රබර් වත්තකි. පෞද්ගලික සමාගමකට අයත් මෙම රබර් වත්තේ රබර් කිරි කැපීම ආදී විවිධ රැකියාවන් කරන අහිංසක දිළිඳු පවුල් රැසක් ලැයිම්වල පදිංචිව සිටිති.
මේ ගමේ පදිංචි හැත්තෑ තුන් හැවිරිදි වෙන්කඩ කන්දසාමි සිවු දරු පියෙකි. ඔහු කලක් මේ රබර් වත්තේ කම්කරු රැකියාවක් කළේය. දියණියන් දෙදෙනකු, පුතුන් දෙදෙනකු සමඟ සිය බිරිය නඩත්තු කරනු ලැබුවේ කන්දසාමි රෝස්බෙරි රබර් වත්තේ රැකියාව කර ලබා ගත් සොච්චම් මුදලෙනි.
කෙසේ හෝ වෙහෙස මහන්සි වී ළමුන් ලොකු මහත් කරගත් කන්දසාමි යුවළ පසුව දියණියන් දෙදෙනකු සහ එක් පුතෙකු විවාහ කර දුන්නේ කෙතරම් පවුලේ අගහිඟකම් තිබුණත් ඒවා දෙදෙනා විඳ දරාගෙන දරුවන්ගේ යුතුකම් ඉටු කරමිනි.
විවාහ වීමෙන් අනතුරුව දියණියන් දෙදෙනා සහ පුතු කන්දසාමි යුවළ පදිංචි රෝස්බෙරි වත්තේ එම නිවසට ආසන්න වතු නිවෙස්වල පදිංචිව වූහ. පවුලේ දෙවැනි දරුවා වන 42 හැවිරිදි අවිවාහක කන්දයියා සිවකුමාර් පුත්‍රයා සිය මව පියා සමඟ පියාගේ නිවසේ කල් ගෙවීය. ඔහු රෝස්බෙරි රබර් වත්තේ කම්කරු රැකියාවක් කළ අතර, කිසිම පවුල් බරක් නොමැති නිසා තමන්ට ලැබෙන මුදලින් ඔහු මත්පැන් පානය කිරීම පුරුද්දක් කර ගත්තේය. සිවකුමාර් රැකියාවට ගොස් දිනපතාම මත්පැන් පානය කර රාත්‍රී නිවසට පැමිණ වෙරිමරගාතේ නිවස ඇතුළත අසැබි වචන කියමින් කෑගැසීම දින චරියාවේ එක් අංගයක් විය.
නමුත් මෙය නිවසේ සිටින වයෝවෘද්ධ මවටත්, දෙපා ආබාධයකින් පෙළෙමින් රෝගීව කිහිලිකරු වාරුවෙන් ඇවිදින වයසක පියාටත් මහත් කරදරයක් හිසරදයක් විය.
මව පියා කෙතරම් සිවකුමාර්ට අවවාද කරමින් මත්පැන් පානය නොකරන්නයි ඉල්ලා සිටියද මවුපියන්ගේ අවවාද අනුශාසනා ඔහු තඹ දොයිතුවකට මායිම් නොකර හිතුවක්කාර ලෙස කටයුතු කළේය.
එදින උදෑසන ද සුන්දර කඳු වළල්ලකින් වට වී තිබෙන ඌව මාවෙලගම රෝස්බෙරි වත්තට හිරු එළිය පතිත විය. සිවකුමාර් සුපුරුදු පරිදි වැඩට ගිය අතර, ඔහු වැඩ නිම වී රාත්‍රි 8.00ට පමණ නිවසට ආවේ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අනතුරුවය. පැමිණි වෙලාවේ පටන් සිවකුමාර් නිවසේ සාලයට වී වෙරිමරගාතේ කෑකෝ ගසමින් අසැබි වචනයෙන් බැණ වදිමින් සිටියේ මවට සහ පියාටය.
මෙය නිවසේ කාමරයේ නිදා සිටි වයෝවෘද්ධ මවටත් පියාටත් මහත් හිසරදයක් කරදරයක් විය. මවුපියන් ඔහු අමතමින් පවසන්නේ කෑගාන්නැතිව කාලා නිදාගන්න යැයි කියාය. එය නොතකා ඔහු කෑගසමින් සිටි අතර, පියා ඇඳෙන් නැගිට බැරි බැරි ගානේ කිහිලිකරුවේ වාරුවෙන් සාලයට ගොස් කිහිලිකරුවෙන් පුතාට 'තට්ටුවක්' දමන්නේ කෑ නොගහා හිටපං කියායි.
තමන් මේ තට්ටු කළේ 'මාරයාට' බව කන්දසාමි හීනෙන්වත් නොසිතන්නට ඇත. ඒ සමඟම වෙරිමරගාතේ කෑකෝ ගසමින් සිටි සිවකුමාර් කෝපාවිෂ්ට වී නැඟිට පියා සමඟ රණ්ඩු කළ අතර, එම ශබ්දය යාබද නිවසේ සිටි සිවකුමාර්ගේ සහෝදරියකට ඇසී ඇය නිවසට පැමිණ සිවකුමාර් නිවසින් එළියට ඇද දමා මවත් පියාත් ගෙට දමා දොර වසා අගුලු දැම්මාය.
කෝපයෙන් සිටි සිවකුමාර් නිවසේ විවෘත කර තිබූ ජනේලයකින් නිවසට රිංගා කාමරයේ ඇඳ මත නිදා සිටි පියාට කිහිලිකරුවෙන් ඉතා අමානුෂික ලෙස පහර දෙන්නට විය. පියා කෑමොර දුන්නද සිවකුමාර් කිසිම අනුකම්පාවක් නොමැතිව කෑගසන පියාට දිගින් දිගටම පහර දුන් අතර, අජාසත් පුතෙකුගේ අතින් කන්දසාමි නිවසේ ඇඳ මත අවසන් හුස්ම හෙළුවේය.
බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණ සටහන් කර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.
බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ පොලිසියට නියෝග කළේය.
කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළාය.
බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඇම්.කේ.බී. විජේතුංග මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, ගෙල සිර කර මොට ආයුධයකින් පහර දීමෙන් ඇතිවූ කම්පනයෙන් කිරීටික ධමනිය සංකෝචනය වී ඇති වූ හෘදය අකර්මණ්‍ය වීමෙන් සිදු වූ මරණයක් බවට එම වෛද්‍ය වාර්තාවෙන් නිගමනය විය.
බණ්ඩාරවෙල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්.පී.ඩී. විජේසිරිගේ අධීක්ෂණයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර, සැරයන්වරුන් වන 76 සේනාධීර, 60133 ජයරත්න, 69335 පුවනේශ්වරම්, 81644 සුරංග ඇතුළු නිලධාරින් පරීක්ෂණ පැවැත්වූහ.