![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/04/12.jpg?itok=1XWWxa6H)
කුලී ගමනක් යන මුවාවෙන් රියැදුරු මරා වාහනය කොල්ලකාලා
පොලිස් නිලධාරින්ගේ තවත් සුවිශේෂී විමර්ශනයක ප්‍රතිඵලයක් ඉකුත් 29 වැනිදා කරළියට පැමිණියේය. ඒ ඉංගිරිය ප්‍රදේශයෙන් හමු වූ නාඳුනන මළසිරුරේ සුලමුල අනාවරණය කරගැනීමයි. පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනයකින් එම නාඳුනන මළසිරුර හඳුනාගෙන එය මිනිස් ඝාතනයක් බවට තොරතුරු හෙළිකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ සති දෙකක් වැනි කෙටි කාලයකදීය.
පසුගිය 15 වැනිදා ඉංගිරිය පොලිස් වසම පමණක් නොව අවට පොලිස් වසම්වල නිලධරයන්ටද ගැටලුවක් මතු කරමින් නාඳුනන මළසිරුරක් හමු විය. මුව, දෙඅත් සහ දෙපාද ගැට ගසා තිබූ එම නාඳුනන මළසිරුර හමු වූයේ හොරණ - රත්නපුර මාර්ගයේ නම්බපාන, කැරකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ රොදක දමා ගොස් තිබියදීය. මළසිරුරේ දෙඅත් බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැට ගසා තිබිණි. මුවද සුදු පාටට හුරු රෙදිකඩකින් ගැට ගසා තිබිණි. දෙපා කමිසයකින් ගැට ගසා තිබුණේය.
ඉකුත් 15 වැනිදා පෙරවරුවේ එම මළසිරුර මුලින්ම දැක තිබුණේ පාලම ආසන්නයේ තැඹිලි වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකි. එම පුද්ගලයා ඒ පිළිබඳව ඉංගිරිය පොලිසිය දැනුම්වත් කළේය. ඉංගිරිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.පී.ටී. වික්‍රමාරච්චි එම නාඳුනන මළසිරුර පිළිබඳව පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කරන ලදී. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ඉංගිරිය වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එම නාඳුනන මළසිරුර හඳුනා ගැනීම සඳහා මූලික විමර්ශන ඉංගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩී.ඒ. ප්‍රසන්න පාදුක්ක ඇතුළු නිලධාරීන් කටයුතු කරන ලදී.
මළසිරුරේ වස්ත්‍රයකට තිබුණේ යට ඇඳුම පමණකි. එම පුද්ගල මළසිරුර ඇඳුම් ගලවා පහර දී ඝාතනය කර තිබූ පුද්ගලයකුගේ බවට සැක කැරිණි. පොලිසිය මළසිරුර වැඩිදුර විමර්ශන සඳහා හොරණ මූලික රෝහල වෙත යොමු කෙළේය. එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය පහර දීමකින් සිදු වූ ඝාතනයක් බවට හෙළි විය. එසේම එම පුද්ගලයා ඝාතනය කළ අයකු බවට හෙළිදරව් වෙද්දී මෙකී විමර්ශන සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ විසින් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ද එක්කරන ලදී.
ඒ අනුව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රොෂාන් නිශ්ශංක ඇතුළු කණ්ඩායම විමර්ශනවලට එක්වෙද්දී එම කණ්ඩායමට අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ සහායද ලබාගත්තේ ඔහු මෙවැනි විමර්ශන සඳහා දක්ෂ නිලධාරියෙක් වූ නිසාය. එසේම ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක ඇතුළු කණ්ඩායමද පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අටුළුගම ෆාතිමා අයිෂා දැරියගේ ඝාතකයාද කොටුකර ගැනීමට ප්‍රමුඛ කාර්යභාරය ඉටුකළ කණ්ඩායම නිසා මෙවැනි විමර්ශනවලදී ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ විශ්වාසයක් දිනාගත් කණ්ඩායමකි.
මේ අතරේ පුද්ගල මළසිරුරක් ඉංගිරිය පොලිස් වසමෙන් හමුවූ බව පොලිස් මූලස්ථානයට දැනුම් දීමත් සමඟ මෙරට සියලුම පොලිස් ස්ථාන ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් දැනුම්වත් කෙළේ ක්ෂණයෙනි.
එසේ පුද්ගල මළසිරුරක් පිළිබඳ ඉංගිරිය පොලිස් වසමෙන් ඉකුත් 15 වැනිදා වාර්තා වෙද්දී ඊට දින දෙකකට පෙර එනම් ඉකුත් දෙසැම්බර් 13 වැනිදා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පුද්ගල අතුරුදන් වීමක් පිළිබඳවයි. මිනුවන්ගොඩ පොලිසියට එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා සඳහන් කළේ සිය වැඩිමල් සහෝදරයා 12 වැනිදා සිට ආගිය අතක් නෙමැති බවයි.
“අයියා එයාගේ කාර් එකෙන් හයර් දුවනවා... එයා හැමදාම කොහේ ගියත් අම්මට කතා කරනවා... ඒත් 12 වැනිදා එයාගෙන් කෝල් එකක් ආවේ නෑ...“
සිය සහෝදරයා ඔහුට අයත් CAS - 9158 සුදු පැහැති ටොයොටා ප්‍රියස් වර්ගයේ රථයෙන් මෙරට ප්‍රධාන පෙළේ කුලී රථ ආයතනයකට අනුයුක්තව කුලී ගමන්වල නියැළෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය. එසේම සහෝදරයා 48 හැවිරිදි ලේකම්ලාගේගෙදර අශෝක බණ්ඩාර බවත් ඔහුට 17 හැවිරිදි වියේ පසුවන පුතෙක් සිටින බවද සඳහන් විය. මිනුවන්ගොඩ, හල්ලොලුව ප්‍රදේශයේ පදිංචි අශෝකගේ බිරිය විදෙස්ගතව සිටින බවත් අශෝක සහ බිරිය අතර කලෙකට පෙර ඇතිවූ ආරවුලක් මත දෙදෙනා වෙන්ව ජීවත්වන බවද ප්‍රකාශ විය.
ඉංගිරිය පොලිස් වසමෙන් හමුවූ පුද්ගල මළසිරුර පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය දැනුම්වත් කැරිණි. ඒ සමඟ මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් අශෝක බණ්ඩාර නමැත්තා අතුරුදන් බවට පැමිණිලි කළ ඔහුගේ බාල සහෝදරයා ඉංගිරිය පොලිස් වසමෙන් හමුවූ නාඳුනන මළසිරුර පිළිබඳව දැනුම්වත් කළේය. එම මළසිරුර පිළිබඳ දැනගත් සැණින් අශෝක බණ්ඩාරගේ බාල සොහොයුරු සහ අශෝකගේ 17 හැවිරිදි පුතු මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් සමඟ හොරණ මූලික රෝහලට පැමිණියේ එම මළසිරුර දැකබලා ගැනීමටය.
“දෙයියනේ... මේ මගේ අයියගේ බොඩි එකනේ...“ යැයි පවසමින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ල කළ තැනැත්තා එම මළසිරුර හඳුනාගත්තේ හඬා වැටෙමිනි.
ඒ අනුව ඉංගිරියේදී හමුවූ නාඳුනන මළසිරුර අශෝක බණ්ඩාරගේ බවට තහවුරු විය. ඒ වන විට ඉංගිරිය පොලිසිය සහ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කරමින් තිබූ විමර්ශනවලට මහත් රුකුලක් වුයේ සිරුර කාගේද යන්න දින තුනක් වැනි කාලයකදී අනාවරණය වූ හෙයිනි. එසේ ඝාතනය කර සිටින්නේ අශෝක බණ්ඩාර බව හෙළි වීමත් සමඟ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් අශෝකගේ සහෝදරයාගෙන් දීර්ඝ ලෙස තොරතුරු අනාවරණය කරගත්තේය. එම තොරතුරුවලින් අනාවරණය වූ අශෝක සහ ඔහුගේ බිරිය වෙන්ව සිටීමේ ආරවුල මත එම ඝාතනය සිදු වූවාද යන්න පිළිබඳවද පොලිසියට සැකයක් මතු විය.
ඒ අතර අශෝක කුලී රථ ‘හයර්‘ කරන්නෙකු ලෙස ඔහු ධාවනය කරන ඔහුටම අයත් මෝටර් රථයේ අංකය විමර්ශන නිලධාරි කණ්ඩායමට ලැබිණි. එම අංකය වූයේ CAS – 9158යි. එම මෝටර් රථය ටොයෝටා, ප්‍රියස් වර්ගයේ සුදු පැහැති රථයක් බවට විමර්ශන නිලධාරීන් දැනුම්වත් කෙරිණි. විමර්ශනවලට එක්ව සිටි පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ක්ෂණයෙන් කණ්ඩායම් දෙකකට බෙදී මෝටර් රථයේ අංකය ඔස්සේ විමර්ශන ආරම්භ කළේය. ඒ අතරේ අශෝක සේවය කළ කුලී රථ ආයතනය මඟින් අශෝක අවසන් වරට ගිය කුලී රථ ගමන ගැනත් එම ගමන වෙන් කරවාගත් දුරකතන අංකය ඔස්සේද පුළුල් විමර්ශනයක් ඇරැඹීය. ඒ කුලී රථ ආයතනයේ නුගේගොඩ පිහිටි කාර්යාලයක් හා සම්බන්ධ වෙමිනි.
මෝටර් රථය ඔස්සේ විමර්ශන කළ නිලධාරීන් රත්නපුර - හොරණ මාර්ගයේ සීසීටීවී නරඹමින් එම මෝටර් රථය ආගිය තොරතුරු විමසා බැලුවේය. එහිදී මෝටර් රථය 14වැනිදා රත්නපුර සිට එන ආකාරයත් නැවත හොරණ ප්‍රදේශයේ සිට රත්නපුර දෙසට ගමන් කරන ආකාරයත් දිස් විය. පසුව රත්නපුරෙන් එම රථය ඇඹිලිපිටිය, මත්තල දෙසට ගමන් කරන ආකාරයද සීසීටීවී කැමරා දසුන් රැසක් නරඹමින් හෙළිදරව් විය. ඒ අනුව විමර්ශන නිලධාරි කණ්ඩායම් කීපයක් එම ප්‍රදේශයේ අවේක්ෂණ රාජකාරියේ නිරත වූයේ විවිධ වෙස් ගනිමිනි. ඒ කෙසේ හෝ එම රථය සොයා ගැනීමේ අරමුණෙනි.
දින ගණනාවක්ම එම ප්‍රදේශයේ ගම්වල සැරිසරමින් අවේක්ෂණ රාජකාරියේ නිරත වූ නිලධාරින්ට පසුගිය 29 වැනිදා දින එම මෝටර් රථය හඳුනා ගැනීමට හැකි විය. ඒ ඇඹිලිපිටිය, නෝනාගම, පිට්ටනියාය නමැති ගම්මානයේ මාර්ගයක ගමන් කරමින් තිබියදීය. ඒ 29 වැනිදා පෙරවරු 7.30ට පමණය. රථය දුටු සැණින් පොලිස් නිලධාරින් එම රථය පොලිස් භාරයට ගෙන රථය පදවාගෙන ආ තැනැත්තාගෙන් ප්‍රශ්න කෙළේය.
“අපි පොලිසියෙන්... තමුන්ට කොහෙන්ද මේ කාර් එක...“ වෙස්වළාගෙන සිටි පොලිස් නිලධාරියෙක් එලෙස විමසනවාත් සමඟ කාර් රථයේ සිටි තැනැත්තා ගල් ගැසුණාක් මෙන් විය. ඔහුට ඒත්තු ගියේ සියලු සැලැසුම් ‘අවසානයි‘ යන්නය.
“සර්... ඇත්ත කියන්නම්... මං මේ කාර් එක විකුණන්නයි ගෙනියන්නේ...“ ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරද්දී රථයේ තොරතුරු මෙන්ම රථය අයත් අශෝක බණ්ඩාරට සිදුවූ අපරාධයද හෙළිදරව් වන්නට විය.
“අනේ සර්... අපි එයාට ගැහුවේ මරන්න නෙවෙයි... ඇත්තටම අපි දන්නේ නෑ එයා මැරුණා කියලා... අපිට ඕන වෙලා තිබුණේ සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්... ඉතින් කාර් එකට ආස හිතුණා... එයාට ගහලා කාර් එක අරන් ආවා... එච්චරයි අපි දන්නේ...“
මෝටර් රථය සමඟ පොලිසිය භාරයට ගැනුණේ නාවික හමුදාවේ සේවය කළ අයෙකි. ඔහු රජීව නමැති තිදරු පියෙකි. රජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම අපරාධයට තවත් තිදෙනෙක් සම්බන්ධ බවට හෙළි විය. ඔවුන් සියලු දෙනාම පිට්ටනියාය ගමේම අයයි. එම හෙළිදරව්වත් සමඟ පොලිසිය එම අපරාධයට සම්බන්ධ වූ තවත් සැකකරුවෙකුගේ නිවෙස සොයා ගියේ ඒ මොහොතේමය. එම සැකකරු රුවන් හෙවත් රුවාය. ඔහු යුද හමුදාවේ රැකියාවෙන් ඉවත්ව සිටි දෙදරු පියෙකි. රුවා නිවෙසේ සිටියදී පොලිස් භාරයට ගෙන අත්අඩංගුවට ගැනිණි. දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත හෙළි වුණු තොරතුරුවලට අනුව අශෝක බණ්ඩාර ඝාතනයට එක්වූ සෙසු දෙදෙනා පොලිසිය සොයා එම නිවෙස්වලටද ගියේය. එහෙත් ඔවුන් පොලිසිය එන බව සැලවී ඒ වන විට නිවෙස්වලින් පලා ගොස් සිටියේය.
ඝාතනය කැරුණු අශෝක බණ්ඩාර සතුව ජංගම දුරකතන දෙකක් සහ රුපියල් පහළොස් දාහකට අධික මුදලක් තිබී ඇත. මුදල් සහ ජංගම දුරකතන දෙකද මෙකී අපරාධකරුවන් සිවුදෙනා රැගෙන ගොස් තිබිණි. පසුව ඔවුන් එම ජංගම දුරකතන දෙකද එකී ගමේම අයෙක් වන ‘සමන්තිලකට‘ රුපියල් දසදහසකට උකස් කර තිබිණි. රුවා විසින් සමන්තිලකට එම ජංගම දුරකතන දෙක සිය බිරියගේ යැයි බොරු බේගලයක් ඇද බාමින් උකස් කර තිබුණි. කොල්ලකන ලද එම සොර බඩු උකසට ගැනීම නිසා දෙදරු පියෙක් වන සමන්තිලකද පොලිස් අත්අඩංගුවට පත් විය.
පලා ගිය සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන සිදු වෙද්දී අත්අඩංගුවට ගත් රජීව, රුවා සහ සමන්තිලකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ මෙකී ඝාතන අපරාධය සිදුකළ ආකාරය ගැනයි. එහිදී අනාවරණය වන්නේ මෙවැන්නකි.
රුවන් හෙවත් රුවා, රජීව, අමිල, කැලුම් ඇඹිලිපිටිය, නෝනාගම, පිට්ටනියාය ගමේ අයවලුන්ය. අවුරුදු 28ත් 30ත් අතර පසුවන සිවුදෙනාම විවාහකයන්ය. ඔවුන් මෑතක සිට දැඩිව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටී. හරිහමන් රැකියාවක් නොකරන සිවුදෙනාගෙන් රජීව පසුගිය දිනවල කඩුවෙල ප්‍රදේශයේ කුලී වැඩවල නිරත වෙමින් සිටියේය.
පසුගිය 14 වැනිදා සිවුදෙනා එක්ව කුමක් හෝ රැකියාවක් සඳහා කඩුවෙලට යෑමට තීන්දු කළේය. ඒ අනුව තිදෙනා එදින හවස කඩුවෙලට යෑමට නෝනාගම හංදියෙන් කොළඹ දක්වා ධාවනය වන බසයකට ගොඩ වූහ. ඔවුන් තිදෙනා බසයට නැඟුණේ මත්ද්‍රව්‍ය පානය කරමිනි. මත්ද්‍රව්‍යවලට මුදල් වියදම් වීම නිසා සිවුදෙනාට කොළඹ දක්වා යාමට බසයේ ටිකට්පත් ලබා ගැනීමට මුදල් මදි විය. එම නිසා සිවුදෙනා රත්නපුර නගරයේදී බසයෙන් බැස්සෝය.
“අපි මොකක්හරි ගේමක් දෙමු බං... දැන් කොළඹ යන්නත් සල්ලි නෑනේ...“ යැයි එකෙක් කියද්දී සිවුදෙනා කුමක් හෝ ගේමකට අරඇන්දේ ළඟ තිබූ පරණ දුරකතන සිම්පත් කීපයක් පිරික්සමිනි. එම සිම්පත් කීපයෙන් එකක් ජංගම දුරකතනයකට ඇතුළු කළ විට ක්‍රියාත්මක විය.
“අපි මේකෙන් කෝල් එකක් අරන් කාර් එකක් හරි මොකක්හරි අරගෙන යමු...“ පිරිසෙන් එකෙකු කීවේය. අනතුරුව එම දුරකතන සිම්පතෙන් ඇමැතුමක් ගෙන මෙරට ජනප්‍රිය කුලී රථ ආයතනයකින් කාර් රථයක් වෙන්කර ගත්තේ රත්නපුර සිට මහරගමට යාමටය. ඒ වන විට ඇඹිලිපිටියට කුලී ගමනක් ගොස් එමින් තිබූ රථයක් ඔවුනගේ ගමනට වෙන් කෙරිණි. එම රථය හරියටම එදින රාත්‍රී 8.45 වෙද්දී රත්නපුර නගරයේ සිවුදෙනා සිටි ස්ථානයට ළඟා විය. එම රථය සුදු පැහැති ටොයෝටා ප්‍රියස් වර්ගයේ සුඛෝපභෝගී එකකි.
“අපිට මහරගමට යන්න ඕන... හැබැයි අපිට ඉංගිරියේ පොඩි වැඩක් තියෙනවා... ඒක නිසා හොරණ ඉංගිරිය පාරෙන් යමු...“ කාර් රථයට නැඟුණු සිවුදෙනා විනාඩි කීපයක දුරක් පැමිණියේය. කිරිඇල්ල, ඇල්ල දේවාලම පසුකොට කිලෝමීටර් දෙකක් පමණ ඉංගිරිය දෙසට ළඟාවෙමින් සිටියේය. ඒ මඩල ප්‍රදේශයයි.
“පොඩ්ඩක් නතර කරනව ද? අපිට මුත්‍රා කරන්න ඕන...“ පිටුපස අසුනක සිටි අයෙක් කීවේය. ඒ සමඟම සිවුදෙනා සමඟ මුත්‍රා කිරීමට රථයේ රියැදුරුද බැස්සේය. එම ස්ථානයේදී රියැදුරුට පහර දී රථය පැහැර ගැනීමට සැදීපැහැදී සිටි සිවුදෙනා ක්ෂණයෙන් ක්‍රියාත්මක වූහ. ගත වූයේ නිමේෂයකි. එකෙක් රියැදුරුට වෙරවීරිය යොදා පහර දුන්නේය. අනතුරුව සිවුදෙනා එක්වම රියැදුරුට පහර දී කාරයේ යතුර ගත්තේය. පහර කෑ රියැදුරු දිව ගියත් ඔහු එක්වරම බිම ඇද වැටුණේය.
ඒ සමඟම සිවුදෙනාගෙන් දෙදෙනෙක් දිව ගොස් රියැදුරාට තවත් පහර දී කාරය ඇතුළට දැම්මේය. අනතුරුව රථයේ රියැදුරු අසුනට නැඟුණේ රුවාය. රථයේ පිටුපසට දමාගත් රියැදුරුගේ මුවට පත්තර කොළ එබීය. ඔහුගේ කමිසය සහ බැනියම ගලවා දෙපා සහ දෙඅත් ගැට ගැසිණි. පසුව ඔහු දමා යෑමට බස් නැවතුමක් සොයමින් කාරය ඉංගිරිය පසුකොට හොරණ දෙසටද පැමිණියේය. එහෙත් ඔහු දමා පලා යාමට බස් නැවතුමක් හමු නොවුණේ ඒ වන විටද බස් නැවතුම්පොළවල සෙනඟ සිටි හෙයිනි.
අනතුරුව පසුදා රියැදුරුගේ මළසිරුර හමුවූ ස්ථානයේ දමා සිවුදෙනා කාරය, ඔහු සතු ජංගම දුරකතන දෙකක් සහ මුදලින් රුපියල් පහළොස් දහසකට අධික මුදලක් රැගෙන රත්නපුර දෙසට ගියේය. ඒ වන විට වේලාව රාත්‍රී 10.30ට පමණය. මෝටර් රථය රැගෙන පලා යන පිරිස රත්නපුර සහ පැල්මඩුල්ල අතර රාත්‍රී වෙළෙඳසලකින් තේ පානය කළෝය. අනතුරුව සිවුදෙනා කාරයෙන් පැමිණ නතර වූයේ මත්තලය. දින දෙකක් මත්තල වාඩියක නතර වූ සිවුදෙනා කාරය සඟවා එහි ඡායාරූප ගෙන කාරය විකිණීමට තැත් කළේය. ඒ අතරේ රියැදුරුට කුමක් වූයේද යන්නත් ඔවුන් සිදුකළ කොල්ලය ගැනත් මාධ්‍ය වාර්තා ගැන විමසීමෙන් සිටියේය. ඒ පිළිබඳ එතරම් මාධ්‍ය ප්‍රචාරයක්ද නොවූ හෙයින් සිවුදෙනා සිතුවේ සිදුකළ කොල්ලයේ සැලැසුම ‘තිත‘ටම හරි බවය. එම නිසා කිසිවක් සිදු නොවූ ගාණට සිවුදෙනා හැසිරෙන්නට වූයේ නැවත කලඑළි බසිමින් කෙසේ හෝ කාරය ‘මස්‘ කර විකිණීමට තැත් කරමිනි.
ඒ අතරේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් සීසීටීවී කැමරා දර්ශන සහ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මෝටර් රථයේ රියැදුරු ඝාතනයකොට කාරය කොල්ලකා පලා ගිය සැකකරුවන් ඇඹිලිපිටිය, නෝනාගම ප්‍රදේශයේ බවට හඳුනාගෙන තිබුණත් නිශ්චිත තැනක් හඳුනාගෙන නොසිටියේය. පොලිස් නිලධාරින් කණ්ඩායම් සේ බෙදී අවේක්ෂණ රාජකාරියේ නිරත වෙද්දී ඉකුත් 29 වැනිදා රජීව නමැත්තා CAS – 9158 දරන කොල්ලකෑ අදාළ ප්‍රියස් රථයෙන් පැමිණියේ කාරය මස් කර විකිණීමට රැගෙන යන අතරය. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ සති දෙකක පමණ කාලයක් වසන්ව තිබූ තවත් අහස-පොළොව නුහුලන අපරාධයක සුලමුල අනාවරණය වූයේ මෙලෙසිනි.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රොෂාන් නිශ්ශංක ප්‍රමුඛ පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා, සැරයන් 27061 අනුර, කොස්තාපල්වරුන් වන 80100 අමරජීව, 82409 පුෂ්පකුමාර, 102492 වාසල, 94583 සුනෙත්, 96965 බණ්ඩාර සහ කොස්තාපල් රියැදුරු 80347 කල්ප යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.
ඡායාරූප - බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ