![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/04/2.jpg?itok=XmTsU6ej)
ගමේ කෝපි කඩේ මෙන්ම ළිඳ ළඟත් වතුර කරාමය ළඟත් කපුටු පිහාටුව ‘කපුටෙක්‘ බවට පුවත් මවන තෝතැන්නක් වන්නේ එම ස්ථානවල රොද බැඳ ගන්නා හැකර කටවල් හේතුවෙනි. එවැනි අවස්ථාවලදී වටපිට සිදු වන්නේ කුමක්දැයි ඇතැමුන්ට නිච්චියක් නැත්තේ ඕපාදූපය එතරම්ම රසවත් එකක් බවට හරවා ගන්නා බැවිනි.
අසල නිවෙසක කිසියම් සිද්ධියක් පිළිබඳ සොයා බලන්නට ගිය කාන්තාවකට තම ලෙයින් මසින් උපන් බිලිඳිය අහිමි වී ගියේ ඇගේ අවධානය යොමු වි තිබුණේ අනුන්ගේ කුණු පිස දැමීමට මිස තමන්ගේ දරුවා ගැන බැලීමට නොවන නිසාය. මේ අනුවේදනීය කතාව වාර්තා වූයේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයෙනි.
වැල්ලම්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් අවිස්සාවේල්ල, අඹතලේ පාර ප්‍රදේශයට පසුගිය දිනෙක යන්නේ කසිප්පු වැටලීමක් සඳහාය. පොලිසිය එහි පැමිණි පුවත කන වැකුණු ගමේ පිරිසද අවට තැන තැන රැස්ව ඒ ගැන විපරමින් සිටියේ සිදු වන්නේ කුමක්දැයි කියා සිතමිනි. අවුරුදු 13 ක සහ මාස තුනහමාරක දියණියන් දෙදෙනෙකු සිටින ඒ ගමේ අංක 5/ 3 දරන නිවෙසේ පදිංචි පෙර කී කාන්තාවටද උවමනා වූයේ මෙම වැටලීමේ ‘වගතුග‘ සොයා බැලීමටය. කුඩා දියණිය ඇඳ මත නිදි කර තබා නිවෙසේ සිට මිටර් 200 ක් පමණ දුරින් ඇති නිවෙසකට ගොස් එතන සිටි කාන්තාවන් දෙතුන් දෙනෙකු සමඟ ඇය අල්ලාප සල්ලාපයේ යෙදුණේ පොලිසිය පැමිණි කාරණය මුල් කර ගනිමිනි. දියණියන් දෙදෙනා හැරුණු කොට ඇගේ පියා ද සිටියේ ඔවුන් සමඟ එම නිවෙසේම නිසා ඇය වගකීම්වලින් මොහොතකට මිදුණා විය හැකිය. 13 හැවිරිදි දියණිය ද මව අනුගමනය කරමින් එතනට පැමිණි අතර මව ඇයට පැවසුවේ තේ ටිකක් බීමට වතුර රත් කරන ලෙසය.
පොඩි දරුවා නිදා සිටි ඇඳ අසල ඇති ස්විචයට හීටරය සවි කළ මෙම දැරිය ඇඳ අසල වූ ටීපෝව මත වතුර කෝප්පය තැබුවත් ගෙතුළ රැඳී සිටීමට කටයුතු නොකළාය. ඇයද මව සිටි ප්‍රදේශයේ සම වයස් දැරියක් සමඟ කතාවට පැටළුණේ වතුර නටනතුරුවත් නිවෙසේ සිටීමට නොහැකි ලෙසිනි. මේ කිසිවක් නොදත් සීයා නිවෙසින් පිටව කඩයට ගොස් පාන් ගෙඩියක් රැගෙන ගෙට ගොඩ වූවේ හවස තුනහමාරට පමණ වී තිබු නිසා තේ පානය සඳහා සූදානම් වීම සඳහාය. සාලය කාමරය සහ කුස්සිය සහිත කුඩා නිවෙසේ කාමරය තුළින් දුමක් මෙන්ම පුළුටු ගඳක් ද පැමිණීම නිසා ඔහු දොර තිරයෙන් එබී බැලුවේ ඒ කුමක්දැයි කියාය. ඔහුට දෙවියන් සිහි වූයේ එවිටය. සිඟිත්තිය සිටියේ ගිනි ජාලාවකය.
“ළමයෝ ඉක්මනට වරෙන්... නංගිව පිච්චෙනවා... අම්මට එන්න කියපං...“
කවුරුත් කලබල වූයේ සීයාගේ ඒ කෑගැසීමටය. වතුර දමමින් ගින්න නිවා දැමුවත් දැරිය සිටියේ අඟුරු ගොඩක් පරිදිය. තිස්එපස් හැවිරිදි මවගේ ‘රස කතා‘ වැල නතර වූයේ ඉන් පසුවය. ඇය ඇතුළු අනෙක් පිරිස සැදි පැහැදී බලා සිටියේ කසිප්පු සැකකරුගේ නැති හොඳ පොලිසියට කියමින් ඔහු බේරා ගැනීමේ කාර්යට දායක වීම සදහාය. එහෙත් අවසානයේ සිදු වූයේ රටක් වටිනා නොදරුවෙකු විදුලි මාරයාගේ තුරුලේ සුව විඳීමය.
හැම කිල්ලටම වැඩියෙන් ලොකු නොසැලකිල්ල බව අවබෝධ කර ගත් මව නැඟු විලාපය අවට ගම්දනව් සිසාරා පැතිරී ගියත් දැන් කළ හැකි දෙයක් ඉතිරි වී නැත. ඇත්තේ හඳුනාගත නොහැකි ලෙස විරූපී වී ගිය දියණියගේ දේහය පමණි.
මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.එස්. සුසන්තට මෙම තොරතුර ලබා දෙන්නේ වැටලීමට ගිය පොලිස් නිලධාරින් විසිනි. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජේ. පි. එස්. ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි නුගේගොඩ 3 හේමන්ත ඕවිටිගම දැනුවත් කර විමර්ශන ආරම්භ කරන්නේ ඒ අනුවය.
අපරාධ පරීක්ෂණාගාර නිලධාරින්ට මෙන්ම අධිකරණයට ද කරුණු වාර්තා කළ ස්ථානාධිපතිවරයා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සොයිසා, කාන්තා පොලිස් කොස්තාපල් 10612 කුමාරි සහ 21312 පද්මසිරි යන නිලධාරින් සමඟ සිද්ධිය වූ නිවෙස බලා පිටත් වන්නේ සිද්ධියට හේතුව පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහාය.
කොළඹ, අලුත්කඩේ අංක 07 දරන අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ඉනෝකා ගමගේ මෙනෙවිය එදිනම රාත්‍රි 9.00 ට පමණ ස්ථානීය පරීක්ෂණ සිදු කර පොලිසියට නියෝග කළේ කොළඹ නැඟෙනහිර මූලික රෝහලේදී බිලිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසය.
මෙහිදී අනාවරණය වූයේ විදුලි බිල නොගෙවීම නිසා මෙම නිවෙසේ විදුලිය විසන්ධි කර ඇතත් කුඩා දරුවෙකු සිටින බැවින් අසල්වැසි නිවෙසෙන් තාවකාලිකව විදුලිය ලබා දී ඇති බවය. එමෙන්ම සැක කටයුතු කිසිවක් අනාවරණය වී නොමැති අතර මදුරු දැලටත් පුලුන් කොට්ටයටත් මෙට්ටයටත් ගිනි ඇවිළි දරුවා පිලිස්සි ඇති බවය. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය වී ඇත්තේ අධික ලෙස දුම ආඝ්‍රාණය වීමෙන් දරුවාගේ මරණය සිදු වී ඇති බවය.
මෙහිදී මුල්ලේරියාව පොලිසිය පවසන්නේ මවගේ නොසැලකිලිමත්භාවය නිසා මෙම මරණය සිදු වී ඇති බවත් ඉදිරියේදී නීතිපති උපදෙස් මත මෙම මවට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් එහෙත් 13 හැවිරිදි දැරියගේ අනාරක්ෂිත තත්ත්වය සලකා බලා අධිකරණ ක්‍රියාමාර්ගයකට නොයන බවය. මන්ද මේ වන විට ඇගේ සැමියා සිටින්නේ ද රක්ෂිත බන්ධනාගාර ගතව නිසාය. ඒ මුල්ලේරියාව පොලිසිය මගින් මාස එකහමාරකට පෙර අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඔහු ගෙවල් බිඳුම් කීපයකට හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.
මේ සිදු වූ අවාසනාවන්ත සිද්ධිය කියාපාන්නේ සුළු අතපසු වීමක් වුවත් මහා විනාශයක පෙර නිමිත්තක් බව නොවේද? දරුවන් සිටින නොසිටින කොයි අම්මලාත් මෙයින් පාඩමක් ඉගෙන ගත යුත්තේ ඒ නිසාය.