![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/12/28/5-4.jpg?itok=Q68dp5XS)
- වෙළෙඳසලට ගිය සිසුවා ගෙදර ආවේ පෙට්ටියෙන්
- අධික වේගයෙන් රථය ධාවනය කළ රියැදුරා ත්‍රිරෝද රථයකුත් හප්පලා
- මෝටර් බයිසිකලයක ගිය දෙදෙනකුගේ ජීවිත බේරුණේ අනූනවයෙන්
කේ.ඒ.සුස්මිත සචින් නිශ්ශංක කුලියාපිටිය යාකරවත්ත ලක්විරු කුමර විදුහලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය. එදා 2022 දෙසැම්බර් 09 සිකුරාදාය. රටට බලපෑ අයහපත් දේශගුණික තත්ත්වය මත එදින මෙරට සියලු පාසල් වසා තබන බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණ ද ඒ බැව් දැන නොසිටි සුස්මිත සහ ඔහුගේ සොයුරිය වන එම පාසලේම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඒ. කෞෂල්‍යා සෙව්වන්දි සුපුරුදු ලෙස පාසලට ගියහ.
සුස්මිතලා පදිංචිව සිටියේ පාසලේ සීනුව නාද කරන හඬ පවා පැහැදිලිව ඇසෙන පාසලට ඉතා සමීපව කුලියාපිටිය කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි කුලී නිවසකය. එදා මේ අක්කා සහ මල්ලී පාසලට යද්දී පාසල පාළු ස්වරූපයක් ගත් අතර පාසලේ සිටියේ විදුහල්පති ඊ.ඒ.එස්.එස්. එදිරිසිංහ සහ ඔහු හමුවීමට පැමිණ සිටි කිහිප දෙනෙකු පමණි.
"ඇයි පුතේ අද ඉස්කෝලෙ නිවාඩු කියලා ඔයාලා දන්නෙ නැද්ද?"
"නැහැ සර් අපි දන්නෙ නැහැ. දැන් කමක් නැහැ සර් අපි ආපු එකේ ඉස්කෝලෙ අතුගාලම යන්නම්." එසේ කිවූ සුස්මිත සහ කෞෂල්‍යා පාසල් මිදුල අමදින්නට වූහ. එය නිමකර කාර්යාලයට ගිය මේ අක්කා සහ මල්ලී විදුහල්පතිවරයාට වැඳ ආපසු නිවසට එන්නට පිටත් විය. එසේ පිටත්වන්නට සූදානම්ව ආපසු හැරුණු සුස්මිත, "සර්ට සීතලයිනෙ මම ඔෆිස් එකේ ජනේලය වහන්නම් සර්" එසේ කිවූ සුස්මිත ජනේලය ද වසා දමා අක්කා සමඟ නිවසට යන්නට පිටත් වුණේය.
මිනිත්තු පහකටත් අඩු කාලයකින් මේ දෙදෙනා නිවසට යද්දී සුස්මිතගේ ලොකු අක්කා දහඅට හැවිරිදි ශානිකා මධුවන්ති සිටියේ උදරාබාධයක් නිසා ඇඳේ වැතිරිලාය.
අම්මා සහ තාත්තා ද ගෙදර නැති දින අධික ශීතල දසත පැතිරෙමින් තිබිණි. එදින ලොකු අක්කාට බඩේ කැක්කුමක් බව දැනගත් සුස්මිත “මං කඩේට ගිහින් ලොකු අක්කට කෝපි පැකට් එකක් ගේන්නම්," යැයි කීවේය. එසේ කියා ගෙදරින් ගිය සුස්මිත ගිය පයින් ආපසු ආවේ ලොකු අක්කාට කෝපි පැකට් එකක් ද රැගෙනය. එසේ නිවසට පැමිණි සුස්මිත නැවත කඩයට යන බව පැවසූවේ පෑනක් අරන් එන්නටය.
"දැන් ආයෙ යන්න එපා මල්ලී."
චූටි අක්කා එසේ කියද්දී පාරට බැස්ස සුස්මිත "බෑ බෑ මගෙ පෑන ඉවර වෙලා. පේපර් වගයක් කරන්න තියනවා මේ කඩේ පෑන් නැහැ. මම එහා කඩේට ගිහින් ඉක්මනින් එන්නම්." එසේ කියා නිවසින් පිටවූ පුංචි සුස්මිත නැවත නිවසට ආවේ පසුදා එනම් දෙසැම්බර් 10දා මිනී පෙට්ටියක උඩුබැලි අතට වැතිරගෙනය.
සුස්මිතට මොකද වුනේ, මේ ගැන කියන්නේ කුලියාපිටිය ප්‍රාදේශීය සභා ආපණ ශාලාව පවත්වාගෙන යන එන්.ඒ. අබේසිංහ මහත්මියයි.
"කුරුණෑගල පැත්තේ ඉඳලා කුලියාපිටිය දෙසට අධික වේගයෙන් මෝටර් රථයක් එනවා මම දැක්කා. ඒ එක්කම "ඩොහ්" ගාලා මොකක හරි ඒ වාහනය හැප්පෙනවත් කළු පාට යමක් උඩ යනවත් නැවත බිමට වැටෙනවත් දැක්කා. ඒ එක්කම මෝටර් රථය ඒ ආපු වේගයෙන්ම පාර අයිනෙ නවත්තලා තිබුණ ත්‍රිරෝද රථයක හැප්පුණා. එහි හිටපු පොඩි අය කෑ ගහන ශබ්දයට මම ඒ ත්‍රිරෝද රථය ළඟට දුවගෙන යනකොටයි දැක්කෙ ඒ වාහනය යට තව කෙනෙක් ඉන්න බව. බලනකොට ඒ අපේ දරුවගෙම පන්තියෙ ඉන්න සුස්මිත. අපි ඒ ගමන්ම පාරේ ආව වාහනයක් නවත්තලා සුස්මිතව කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගියා. ඒ පසුපසම බයික් එක අරගෙන මමත් රෝහලට ගියා. රෝහලේ දී දැන ගත්තා සුස්මිත මිය ගිහිල්ලා කියලා. ඒ බව මම සුස්මිතලගෙ අම්මලාට දැනුම් දුන්නා“ යැයි ඇය කීවාය.
සුස්මිතගේ පියා හතළිස් හැවිරිදි කේ. ඒ. සුමිත් ප්‍රියශාන්තය. මව එස්. ඩී. රසිකා පුෂ්පකුමාරිය.
කුලියට ගස් නැඟ පොල් කඩා දරු තිදෙනා රකින්නට වෙහෙසෙන සුමිත්ට එම බර තනියම දරාගත නොහැකි නිසා බිරිය රසිකා ද කොහේ හෝ කුලියක් මලියක් කර පොල් ගස් සමඟ ඔට්ටු වන සැමියාට හයියක් වූවාය.
සුස්මිත මේ අනතුරට මුහුණ පෑ දින සුමිත් සහ රසිකා කුලියට පොල් ළෙලි ගැසීමට ගොස් සිටියේය. පවුලේ බඩපිස්සා මෙන්ම එකම පිරිමි දරුවා ද වූ සුස්මිත පිළිබඳව මේ දෙමහල්ලන් තුළ තිබූ අහස උසට නැඟුණු බලාපොරොත්තු නිමේෂයකින් සුන් කරන්නට වග විභාගයක් නැතිව අපරීක්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයෙකු කටයුතු කළේය. එම රියැදුරු සුස්මිත බිල්ලට ගන්නට මොහොතකට පෙර එම මාර්ගයේම නාරංගල්ල යාකරවත්ත අතරදී තමන් බිල්ලට ගන්නට තිබූ අවස්ථාව අනූනවයෙන් මඟ හැරුණු බව අප හා පැවසුවේ ඒ මොහොතේ යතුරුපැදියකින් කුලියාපිටියට යමින් සිටි තරුණයන් දෙදෙනෙකුය.
"ඔය කාර් එක ආවේ පුදුම වේගයකින් පාර පුරා. අපි දෙන්නා බේරුණේ අනූ නවයෙන්. අපි අපේ බයික් එකෙන් මේ වාහනය ලුහු බැඳ ගියත් එයා ගිය වේගය කොපමණ ද කියනවානම් අපට කිට්ටු කරන්නවත් බැරි වුණා. අපි ටිකක් ඉස්සරහට එද්දී මේ අනතුර වෙලා. මේ පුතාව හප්පලා ආ වේගය පාලනය කරගන්න බැරිව ඉස්සරහා පාර අයිනෙ නතර කරලා තිබුණ ත්‍රිවිල් එකකත් හැප්පුණා. එහි සිටි අයටත් තුවාල සිදුවුණා. එහෙම නොහැප්පෙන්න මේ දරුවාවත් යට කරගෙන මේ රියදුරා නොනැවතී යන්නත් ඉඩ තිබුණා.“
සුස්මිත සිසුවා සියලුම ගුරුභවතුන්ගේ ආදරය හිමි කරගෙන හිටිය කීකරු දරුවෙක්. හරිම අහිංසකයි. විෂයය බාහිර ක්‍රියාකාරකම්වලට හරිම දක්ෂයි. ගොවිතැන් කරන්න හරිම කැමතියි. එයාලගෙ නිවස තිබුණේ පාසල පේන මානයේ නිසා සුස්මිත සහ එයාගෙ අක්කා ශානිකා මධුවන්ති උදෙන්ම පාසලට පැමිණ පාසල් මිදුල අතුගෑම බොහෝ දිනවල දී කරනවා. 9දා සිකුරාදාත් පාසලට ඇවිත් මිදුල අතුගාලා මට වැඳලා මේ දරු දෙදෙනා ගෙදර ආවේ. මේ දරු දෙදෙනා ගැන එයාලගෙ අම්මා තාත්තා තුළ තිබුණ බලාපොරොත්තු කන්දරාවක් මොහොතින් බිඳ වැටුණා. සුස්මිත විෂය බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි නැඹුරුවක් දැක්වූවා වගේම එයාගෙ දෙවන අක්කා කෞෂල්‍යා සෙව්වන්දි විෂයය සමගාමී ක්‍රියාකාරකම්වලදී ඉදිරියෙන්ම ඉන්න සිසුවියකි. සුස්මිත වෙනුවෙන් ඇයගේ අධ්‍යාපනික කටයුතු සඳහා මේ අම්මටයි තාත්තටයි සවියක් විය හැකි කවුරු හෝ ඉන්නවා නම් ඒ ශක්තිය දෙන්න. ඒ තමයි සුස්මිත වෙනුවෙන් අපට කළ හැකි උතුම්ම පින්කම" සුස්මිතගේ අවමංගල්‍ය උත්සව සභාව ඇමතු යාකරවත්ත ලක්විරු කුමර විදුහලේ විදුහල්පති ඊ.ඒ.එස්.එස්.එදිරිසිංහ එසේ පැවසීය.
මේ දුක බෙදා ගන්නට මුළු යාකරවත්ත ගමම අත්වැල් බැඳගෙන සිටින අතර මෙහිලා එම පිරිසට නායකත්වය දුන්නේ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඉන්ද්‍රජිත්ය. ඔහු පැවසුවේ ද මේ අහිංසක පවුලට ශක්ති පමණින් උපකාර කරන්නට ඉදිරිපත්වීම මහා පින්කමක් බවය.
මෙවැනි අනතුරක් යම් තැනක සිදු වූයේ නම් එයට අදාළ රියදුරාට පහර දීම, වාහනයට ගිනි තැබීම වැනි සුලබ සිදුවීමක් මෙම සිද්ධියට අදාළව සිදු නොවීම එම ප්‍රදේශවාසී, ගම්වාසී ජනතාව සතු යහපත් බව මනාව පිළිබිඹු කරයි.
මේ අපේ රටේ සිදුවූ එකම සහ ප්‍රථම මෙවැනි සිදුවීම නොවුණද අකීකරු අසංවර අපරීක්ෂාකාරී රියදුරන්ගේ මෙම ක්‍රියාවන් ඉදිරියේ දී සිදු නොවන්නට කටයුතු සැලසීම අප කාගෙ කාගේත් යුතුකම මෙන්ම වගකීමය.
මේ පිළිබඳ පරීක්ෂණ කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන අබේවර්ධනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායකගේ අධීක්ෂණයෙන් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසූරියගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දහනක ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලදී.
තාරක විජේවර්ධන - කුලියාපිටිය සමූහ