![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/12/28/4-9.jpg?itok=799EuYc4)
- මියගිය පුද්ගලයා මත්ලෝලියෙක්ලු
- සී.සී.ටී.වී. දර්ශන මකලා
මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වන පුද්ගලයන් අතර ඇතිවන බහින්බස්වීම් දුරදිග යෑමෙන් ආරවුල් ඇතිව පහර දී පුද්ගලයන් ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විය. ඉකුත් දෙසැම්බර් මස 06 වැනි දින මාලිගාවත්ත රූබී සිනමා ශාලාව අසලදී ජංගම යතුරුපැදි කාර්මික කටයුතුවල නිරත පුද්ගලයකුට පුද්ගලයන් හයදෙනෙකු විසින් අතින් පයින් සහ යකඩ පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
ජුම්මා මස්ජීඩ් පාර, මාලිගාවත්ත, කොළඹ 10 ලිපිනයේ පදිංචි දෙදරු පියෙකු වන හතළිස් හතර හැවිරිදි එම්.එල්.ඒ.ඩී. නිශාන්ත උදය නමැති පුද්ගලයා මෙසේ ඝාතනය කැරිණි. ඔහු යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ජංගම කාර්මිකයකු ලෙස සේවය කරන අයෙකි.
මේ සිද්ධිය වූ දින සවස පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට ලැබුණු තොරතුරකට අනුව මේ සිද්ධිය වූ මාලිගාවත්ත රූබී චිත්‍රපට ශාලාව අසලට ගිය මාලිගාවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එහි මූලික විමර්ශන ආරම්භ කර තිබේ. පහර කෑමට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහිදී හෙළි විය.
සිද්ධිය වූ ස්ථානයේ යතුරුපැදිවලට පින්තූර අලවන ආයතනයක් මෑත කාලයේ සිට ආරම්භ කර තිබේ. එහෙත් නිශාන්ත උදය එම ස්ථානයේ වසර ගණනාවක සිට ජංගම යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටී. මේ ස්ථානයේ පිහිටි යතුරුපැදි සඳහා පින්තූර අලවන ව්‍යාපාරික ස්ථානයේ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කරන අතර නිශාන්ත එම ස්ථානයේ ජංගම යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කරන නිසා දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති විය. සිද්ධිය වු දින නිශාන්ත එම ස්ථානයට පැමිණ එහි තිබු යතුරුපැදියක් අලුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඊට තෙල් ගැල්වීමට එම ස්ථානයේ පිහිටි අදාළ ආයතනය වෙත රැගෙන ගොස් තිබේ. නිශාන්ත අදාළ ස්ථානයට යතුරුපැදිය රැගෙන ගියත් ඊට තෙල් ගැල්වීමේ කටයුතු අදාළ ආයතනය විසින් සිදු නොකිරීම නිසා දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදු වී තිබේ. එම සිද්ධියෙන් අනතුරුව නිශාන්ත යතුරුපැදිය තෙල් ගැල්වීමකින් තොරව රැගෙන විත් තිබේ. එහිදී අදාළ යතුරුපැදිවල පින්තූර අලවන ආයතනයේ පුද්ගලයන් නිශාන්තට පහර දී ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි විය.
නිශාන්ත තම ජංගම යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ 'ප්‍රියංකර' හෙවත් 'සංජීව' සමඟ එක්වය. මේ ඝාතනයට ප්‍රධාන සැකකරු වන 'බිලාල්' එම ස්ථානයට ගිය අවස්ථාවේ නිශාන්ත එදින ඇතිවූ ආරවුල සම්බන්ධව ඔහුගෙන් විමසා ඇති අතර පසුව එය බහින්බස්වී පහර දීමක් දක්වා දුරදිග ගොස් තිබේ. පසුව එම ස්ථානයට 'බිලාල්' ඇතුළු තරුණයන් හය දෙනෙකු පමණ එක්වී ඇති අතර එහිදි නිශාන්ත පිහියක් ගෙන සැකකරුවන්ට එය එල්ල කර තර්ජනය කර ඇති බවද හෙළි විය.
පසුව එම සිද්ධියෙන් අනතුරුව නිශාන්ත සමඟ ජංගම යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරත ප්‍රියංකර හෙවත් සංජීව මෙම ස්ථානයට පිරිසක් රැගෙන එන බවට පවසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. එහිදී අදාළ යතුරුපැදිවලට පින්තූර අලවන ආයතනයේ සේවය කරන තරුණයන් පිරිසක් පැමිණ නිශාන්තට අතින් පයින් සහ යකඩ පොලුවලින් පහරදී ඇත. පසුව එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබු නිශාන්ත එම ස්ථානයේ ඇද වැටී තිබේ. අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර බලා මියගොස් ඇති බවට ප්‍රකාශ කර ඇත.
මේ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගෙන් සහ මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ. මෙම සිද්ධිය සිදුවු ස්ථානයේ පිහිටි යතුරුපැදිවලට පින්තූර අලවන ආයතනයේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී එම සී.සී.ටී. වී. කැමරාවල සමහර උපාංග ගලවා ඉවත් කර ඇති බවට එහිදී හෙළි විය. එම නිසා මෙම ආරවුලේ සමහර කොටස් සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සටහන් වී නොමැති බවට එහිදී හෙළි විය.
ඒ අනුව මෙම සිද්ධිය වූ ස්ථානයට කොළඹ මධ්‍යම අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන් පැමිණ මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධව කොළඹ, අලුත්කඩේ අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ, අලුත්කඩේ අංක 09 මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සිදුවු ස්ථානයට සහ මියගිය පුද්ගලයාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් එම සිරුර පරීක්ෂා කර බලා මෙම මෘත දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කර තිබේ. අනතුරුව කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ රුහුල් හක් මෙම සිරුර සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පහර දීම නිසා හිසට, බඩට සහ ඉළඇටවලට සිදු වු දැඩි හානි හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය. නිශාන්ත හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන අයකු බවට එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් හයදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. නිශාන්ත දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර ඔහු දිනකට රුපියල් දසදහසක් පමණ වැය කර මත්ද්‍රව්‍ය භාවිත කරන අයෙකු බවට එහිදී හෙළි විය. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී අති නිසා බිරිය ඔහු හැර ගොස් ඇති බවද විමර්ශනවලදි හෙළි විය.
නිශාන්ත ජංගම යතුරුපැදි අලුත්වැඩියා කටයුතුවල නිරතව සිට සුළු අලුත්වැඩියා කටයුත්තකදී පවා වැඩි මුදලක් අය කර ඇති බවට හෙළි වී තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනයට යොදාගත් යකඩ පොලු දෙකක් සහ පාපැදි පෝක් දෙකක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ -14, සිරිමාපුර පදිංචි වයස අවුරුදු 44 අයෙකුද දෙමටගොඩ, මහවිල පටු මගේ පදිංචි 22 හැවිරිදි සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකුද, දෙමටගොඩ සියපත් සෙවණේ පදිංචි 22 හැවිරිදි අයෙක්ද වැලිසර, අඩි විස්ස පාරේ පදිංචි වයස අවුරුදු 34 අයෙකුද, මාලිගාවත්ත, ආර්.ඩි. වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරුවකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ, අලුත්කඩේ 04 මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ. මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන වන්නිආරච්චිගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්. සම්පත් පෙරේරා, උප පොලිස් පරීක්ෂකවරුන් වන පතිරණ, පෙරේරා සැරයන්වරුන් වන (8310) හේරත්, (35171) රත්නායක, (31818) අනුර කොස්තාපල්වරුන් වන (31065) පුෂ්ප කුමාර, (32353) තෙන්නකෝන්, (31148) මධුශාන්, (92354) දිලීප යන නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.