මහ මුහුද මැද ‘සල්ලි කොළෙන්’ ඩීල් වෙන කුඩු ජාවාරම් | සිළුමිණ

මහ මුහුද මැද ‘සල්ලි කොළෙන්’ ඩීල් වෙන කුඩු ජාවාරම්

කොළඹ වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය පරීක්ෂා කරමින්

- මුහුද මැදදි ඇල්ලූ හෙරොයින් - අයිස් කිලෝ 234 වටිනාකම රුපියල් කෝටි 458යි
-  ඩුබායි ආබෘගේ ‘හීන‘ විනාශ කළ නාවික හමුදා කුඩු මෙහෙයුම

‘මත්ද්‍රව්‍ය' අප රටේ වැඩි වශයෙන් මේ දිනවල කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. හෙරොයින් සහ 'අයිස්' තරුණ පරපුර මෙන්ම පාසල් සිසුන්ද ගිල ගන්නා මාරයන් බවට පත්ව ඇත. මෙවැනි මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට ගෙන ඒමට භාවිත කරන ප්‍රධාන මාර්ගය මුහුදයි. රාජ්‍ය බුද්ධි සේවය, නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට පසුගියදා 14 දා හැකි වූයේ එම නිලධරයන්ගේ දක්ෂ විමර්ශන ක්‍රියාවලිය නිසාය. 

මීට මාස තුනකට පමණ පෙර බුද්ධි අංශවලට විශ්වසනීය තොරතුරක් ලැබුණි. ඒ වෙනත් රටකින් මෙරටට මත්ද්‍රව්‍ය තොගයක් එවීමට නියමිත බවටය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ ඉන් පසුවය. මේ විමර්ශනවලට මුහුදේ දස්කම් පානා නාවික හමුදාවද එක්කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තීරණය කරන්නේ කෙසේ හෝ මත්ද්‍රව්‍ය තොගය රට ඇතුළට පැමිණීමට පෙර අත්අඩංගුවට ගැනීම සඳහාය.

බුද්ධි අංශවලට ලද තොරතුරුවලින් කියැවී තිබුණේ එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට බහුදින ධීවර යාත්‍රාවක්ද පිටත්ව ගොස් ඇති බවටය. චන්ද්‍රිකා තාක්ෂණය මඟින් නාවික හමුදා නිලධාරීන් එම ධීවර යාත්‍රාව පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව ඊට අවශ්‍ය සැලසුම් සකස් කරන්නේ කාටත් හොර රහසේය. ඒ සඳහා නාවික හමුදාවට අයත් 'සමුදුර' නෞකාව මේ මෙහෙයුමට භාවිත කරන්නේ කෙසේ හෝ ඉලක්කය සපුරා ගැනීමටය. ඊට අමතරව සමුදුර නෞකාවේ සහයෝගයට තවත් කුඩා නාවික හමුදා යාත්‍රාද තැන් තැන්වල ස්ථානගත කිරීමට නාවික හමුදාව සැලසුම් කෙළේය. මෙලෙස සමුදුර නෞකාව මෙන්ම අනෙකුත් නාවික යාත්‍රා දකුණු මුහුදු තීරයට පිටත් කර යවන්නේ මෙහෙයුම සිදුකළ දිනට සතියකට පමණ පෙරය.

මෙහෙයුමට සියල්ල සූදානම්ය. එහෙත් සමුදුර නෞකාව මෙන්ම අනෙකුත් යාත්‍රාද වෙනදා මෙන් මුර සංචාරයක නිරතවන අයුරින් හැසිරුණේ ජාවාරමුන්ගේ ධීවර යාත්‍රා අතර සන්නිවේදන ජාලය ශක්තිමත් බැවිනි. සියලු නාවික නිලධාරීන් හොඳ සෙවිල්ලෙන්ය. එක්වරම ධීවර යාත්‍රාවක් ගොඩබිම දෙසට ඇදෙනු පෙනුණද නාවික හමුදා නිලධාරීන් ඔවුන්ට අමුත්තක් පෙන්වීමට ගියේද නැත. මුහුද මැදදී යාත්‍රා පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයකි. මේ ධීවර යාත්‍රාවටද නවත්වන ලෙසට නාවික හමුදා නිලධාරීන් අණ කරන්නේ ඔවුන්ට සැකයක් නොසිතෙනා පරිදිය. එම ධීවර යාත්‍රාවද කලබලයකින් තොරව යාත්‍රාව නවත්වන්නේ නාවික අණ පිළිපදින්නාක් මෙනි. 

නාවික හමුදා නිලධාරීන් කිහිපදෙනකු එම ධීවර යාත්‍රාවට නැඟී එය පරීක්ෂා කළද විශේෂ කිසිවක් පෙනෙන්නට නොතිබිණි. මාළු ඇල්ලීමට ගිය ධීවර යාත්‍රාවක් මෙන් බැලූ බැල්මට පෙනුණද බුද්ධි තොරතුරුවලට අනුව මෙහි මත්ද්‍රව්‍ය තිබිය යුතුමය. තවදුරටත් එම යාත්‍රාව පරීක්ෂා කරන නාවික හමුදා නිලධාරීන්ට එහි තිබෙන වතුර ටැංකි ගැන සැකයක් ඇති වන්නේ ඔය අතරය. එම ටැංකිය කොටස් තුනකින් සමන්විත වුවද නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ එක් කුටීරයක් පමණි. එසේ නම් දෙවන හා තුන්වන කුටීරවල මොනයම් හෝ දෙයක් තිබිය යුතුමය.

ඉන්පසුව නාවික හමුදා ඉහළ නිලධාරීන්ටද මේ ගැන දැනුම් දීමෙන් අනතුරුව එම කුටීර සිදුරු කර පරීක්ෂා කිරීමට ඔවුන්ගෙන් අණ ලැබිණි. අනතුරුව නාවික හමුදා නිලධරයෝ එම කුටීර සිදුරු කර පරීක්ෂා කළහ. සැකය නිවැරදිය. එම ජල කුටීර දෙකේ පැකට් කරන ලද පාර්සල් කිහිපයක් තිබිණි.

ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් එක්වරම කලබල වෙන්නේ ඔය අතරය. එවේ‍ලේම නාවික හමුදා නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව එම පාර්සල් පරීක්ෂා කිරීමෙන් පසු ඒවා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට තහවුරු කර ගන්නා ලදි. ජාවාරම්කරුවන් මේ මත්ද්‍රව්‍ය තොගය ජල ටැංකියේ දෙවැනි සහ තුන්වැනි කුටීරවලට දමා ෆයිබර්ග්ලාස් යොදා සූක්ෂ්මව සඟවා ගොඩබිමට රැගෙන ඒමට සැලසුම් කර තිබිණි. එහෙත් නාවික හමුදා නිලධාරීන්ගේ තීක්ෂණ බුද්ධිය නිසා මෙරටට ගෙන ඒමට තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මේ මත්ද්‍රව්‍ය තොගය දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 1912ක් දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී වෙනත් රටකට අයත් යාත්‍රාවකින් මෙම ධීවර යාත්‍රාවට දී තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය තොගය හුවමාරු කර ගැනීමට භාවිත කර ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණයයි. අත්අඩංගුවට ගත් යාත්‍රාව මාසයකට අධික කාලයක් මුහුදේ ගමන් කිරීමෙන් ඊට අවශ්‍ය ඉන්ධන මෙන්ම ජාවාරම්කරුවන්ට අවශ්‍ය භාණ්ඩද අවසන්ව ඇති බවට යාත්‍රාව නිරීක්ෂණය කළ නිලධාරීන්ට තේරුම් ගොස් තිබිණි. එසේ නම් මොවුන්ට ගොඩබිමට යෑමට තෙල් අත්‍යවශ්‍යය. ඊට මහ මුහුද මැදදී ඇත්තේ එකම පිළියමකි. ඒ වෙනත් බෝට්ටුවක් සපයා ගැනීමය. එසේ නම් තවත් බෝට්ටුවක් හෝ කීපයක් අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සහායට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. ඒ අනුව රැකවල්ලා සිටින නාවික හමුදා නිලධාරීන්ට ඈතින් පැමිණෙන තවත් කුඩා බෝට්ටුවක් නිරීක්ෂණය විය. ඉන්පසුව එම බෝට්ටුවද පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වන්නේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවට අවශ්‍ය තෙල් සහ භාණ්ඩ එහි රැගෙන පැමිණි බවටය. 

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 234ක් රට තුළට පැමිණියේ නම් තවත් වටිනා ජීවිත කොතරම් විනාශ වන්නට ඉඩ තිබුණාද? ආරක්ෂක අංශවල දක්ෂතාවයෙන් එය වැළකී යන්නේය. මෙලෙස අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සැකකරුවන් 14 දෙනකු සිට ඇති අතර එක් අයකු ගොඩබිමට පැමිණීමේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද හෙළිවිය.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පසුගිය 18 දා නාවික හමුදාව මඟින් කොළඹ වරායට ගෙන එන ලදි. මේ මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින 'මධුෂංක ආබෘගේ' බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කැරේ. මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස්වල වටිනාකම රුපියල් කෝටි 458ක් පමණ වන බව ආරක්ෂක අංශ පවසයි. 

මෙවැනි මත්ද්‍රව්‍ය තොග මහා පරිමාණව මුහුදු මාර්ගයෙන් ගෙන්වීමේදී ඒවා හොර රහසේ රැගෙන ඒමට ජාවාරම්කරුවන් සුවිශේෂ ක්‍රමයක් භාවිත කරන බවද මේ මෙහෙයුමේදී අනාවරණය විය. ඒ ගොඩබිමෙන් පිටත්වන යාත්‍රාවලට මුදල් නෝට්ටුවක් දෙන බවත් එම මුදල් නෝට්ටුව ජාත්‍යන්තර මුහුදු සීමාවේදී වෙනත් යාත්‍රාවකට ලබා දෙයි. අනතුරුව ගොඩබිම සිටින ජාවාරම්කරුවන් එම මුදල් නෝට්ටුවේ අංක පවසමින් එම අංක සහිත මුදල් නෝට්ටුව දුන් ගොඩබිම සිට ගිය ධීවර යාත්‍රාවට මත්ද්‍රව්‍ය තොගය පටවන ලෙස දන්වයි. මුදල් නෝට්ටුව රැගෙන ගොඩබිම සිට යන ධීවරයන් නැවත ගොඩබිමට පැමිණෙනතුරු තමන් රැගෙන එන්නේ මොනවාද යන්න රහසක් ලෙස තබා ගනී. එමඟින් ගොඩබිමට රැගෙන එනතුරුම යාත්‍රාවලින් ගෙන එන නීති විරෝධී ද්‍රව්‍ය ගැන කිසිවකු දැන ගන්නේද නැත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් සහ මඟපෙන්වීමෙන් නාවික නිලධාරීන් මේ මෙහෙයුමට එක් වූහ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකරගේ උපදෙස් මත පොලිස් අධිකාරි එරික් රංජිත්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක පැතුම් කුමාර, උපපොලිස් පරීක්ෂක හේරත් යන නිලධාරීහු විමර්ශනවලට එක් වූහ.

ගයාන් සංජය 
ඡායාරූප - කැලුම් ලියනගේ

Comments