![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/12/28/4-3.jpg?itok=nagGbb-u)
- ඇන්තනි මරුෂාන් අවසන් ගමන් යන්නේ ඔහුගේ උපන්දිනය දා
- සැකකාර පියා අත්අඩංගුවට
- පිහියක් සොයා ගනී
“මේ ගමන උපන් දිනේටනං අපි හොඳ පාටියක් දාමු. මං ගානේ බියර් කේස් එකක්ම ගෙනත් දෙන්නං" දහඅට හැවිරිදි පුතුගේ උපන් දිනය ඉහළින්ම පැවැත්විය යුතු බවට යෝජනාව ගෙන ආවේ පියා විසිනි. ඇන්තනි පුතුට ඉවසුම් නොදෙන ප්‍රීතියක් ඇති වූයේ තමාට පියාගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවන බැවිනි. ඔහු මිතුරන්ට සාදයට ඇරයුම් කළේ කිසිම ලෝබකමක් නොමැතිව පියාගෙන් ලැබෙන මත්පැන්වලින් හිතේ හැටියට විනෝද වීමට ලැබෙන අවස්ථාව මහමෙරක් ලෙස වටිනා බැවිනි.
දෙහිවල දුම්රිය පොළ ආසන්නයේ කුඩා පෙට්ටි කඩයක් පවත්වාගෙන යන ඇන්තනිගේ පියා 44 හතර හැවිරිදිය. ඇන්තනිට සිටියේ 21 හැවිරිදි වියේ පසු වූ විවාහක වැඩිමහල් සහෝදරියක් පමණි. ඇයත් ඇගේ කුඩා දරුවාත් සැමියාත් ජීවත් වූයේද ඇන්තනිලා සමඟ එකම නිවෙසේය. පරාටා, රොටි, ආප්ප, වඩේ, රෝල්ස් ඇතුළු කෑම වර්ග පෙට්ටි කඩයේ සිට අලෙවි කරන ඇන්තනිගේ පියා එම ආදායමෙන් තම දරු පවුල ජීවත් කිරීමට වෙහෙසුණේ කෑම වර්ග පිළියෙල කර දීමට මවගෙන් ලැබෙන පිටිවහල ද ප්‍රයෝජනයට ගනිමිනි. ඔවුන් පදිංචිව සිටියේ දෙහිවල, ඕබන් පෙදෙසේ මුහුද පැත්තේ රේල් පාර අයිනේ නිවෙසකය.
ඇන්තනිගේ 18 වැනි උපන්දිය යෙදී තිබුණේ දෙසැම්බර් 05 වෙනිදාටය.
ඉගෙනීමට උනන්දුවක් නොදැක්වූ ඇන්තනි කිසිම රැකියාවක් සඳහා ද හිත යොමු නොකළත් මිතුරන් සමඟ රස්තියාදුවට වැටී කාලය කා දැමීම සිරිත කරගත්තේ වැල්ලේ බොහෝ තරුණයන් අනුගමනය කරමිනි. මත්ද්රව්යවලටද මුල් තැන දුන් ඔහුට විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පවතින්නේ රත්මලාන ප්‍රදේශයේ දැරියක් සිය නිවෙසට රැගෙන ඒම සම්බන්ධයෙනි.
විහාරස්ථානයකින් ආප්ප ඇණවුමක් ලැබී තිබූ බැවින් ඒ සඳහා අවශ්‍ය පාන්පිටි රැගෙන පියා ගෙට ගොඩ වූවේ උදැසන 10.00 ට පමණය. ඒ පසුගිය 04 දාය. අනාගතය ගැන කිසිම බරක් පතලක් නොමැතිව සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ඇන්තනි දවල් වෙන තුරු නිදාගෙන සිට අවදි වූයේ මේ වෙලාවේය.
"තාත්තෙ හෙටනෙ මගෙ උපන්දිනේ. අද බියර් කේස් එක ගෙනත් තියමු" පියා දුටු විට ඔහු පවසා සිටියේ සාදයේ ප්‍රධාන අංගය වන්නේ මත්පැන් නිසාය.
"අදනං සල්ලි නෑ බං. රුපියල් පන්සියයි අතේ තියෙන්නෙ. දැනට ගල් බෝතල් දෙකක් අරන් දෙන්නං. සල්ලි තියෙන වෙලාවක මොකක්හරි කරමු" පියාගෙන් ලැබුණ පිළිතුර ඇන්තනි බලාපොරොත්තු වූවක් නොවුණි.
"මං දැන් යාළුවො සේරටම කියලයි තියෙන්නෙ. උන් ඉස්සරහ නිකං මාව පච කරන්නද හදන්නෙ. පොරොන්දු වුණානං අරන් දියං. එච්චරයි." ඇන්තනීගේ මුවින් පියා වෙත එල්ල වූයේ තර්ජනාත්මක වදන් වැලකි.
"ඒක හරි. බැරිනං මොකටද පොරොන්දු වුණේ. ණයක් වෙලා හරි ගෙනත් දෙනවා. කොල්ලට ලැජ්ජ කරන්නෙ නැතුව" මවද ඇන්තනිගේ පිලට එකතු වුවේ ඔහුට විශාල අනුබලයක් වෙමිනි.
"මං හිතුව සල්ලි ටිකක් හම්බ වෙයි කියලා. නැත්නං මොනව කරන්න කියලද උඹල මට කියන්නෙ" පියාද සටන අතහැරීමට සුදානම් නැත.
"උඹ මහ ගෝතයෙක් බං. පල ඕන තැනක චුත වෙලා. තවත් මේ ගෙදර ඉන්නෙ නැතුව. මං යාළුවොත් ගෙන්නල මෙතන සෙකන්ඩ් වෙන්නනෙ කියන්නෙ" යකඩ පොල්ලක් අතට ගත් ඇන්තනී පියාව තල්ලු කර සැරසුණේ පියාට පහර දීමටය.
"එහෙනං උඹ මට ගහන්නද?" පිහිය අතට ගත් පියා ද සටනට මුල පිරුවේ ක්ෂණිකවමය. පිහිය දුටු පුතා මිදුලට පැන දිව ගිය අතර පියා ඔහු පසුපස එළවා ගියේ බැණ වදිමිනි. මිටර් 30 ක්වත් දිව ගැනීමට නොහැකි වූ ඇන්තනි පය පැකිළි ඇද වැටි නතර වෙන්නේ පියාද ඔහුගේ සිරුර මතට වැටීමෙන් පසුවය. පියාගේ බෙල්ලෙන් අල්ලාගත් පුතා පියා සමඟ පොර බදන්නේ වැල්ලේ කොලු කුරුට්ටන්ට සටන් ජවනිකාවක් නොමිලේ නැරඹීමට ඉඩ සලසා දෙමිනි.
"මං පිහිය කොල්ලගෙ කකුලට තියල තද කළා විතරයි" ඔහු එලෙස පවසතත් ඇන්තනිගේ කලවා දෙකේම තිබු විශාල පිහි පහරවල් දෙකකින් රුධිරය ගලා ආවේ ජල කරාමයකින් ගලන පරිදිය. එම ස්ථානයේ බිම මෙන්ම අසල තිබු තාප්පයක්ද රත් පැහැ ගැන්වී තෙත් වී තිබුණේ තුවාලවල බරපතළකම පැහැදිලි කරමිනි. අවට පිරිස ඇන්තනි කළුබෝවිල රෝහලට රැගෙන යන්නේ ඒ අනුවය.
එහෙත් තත්ත්වය බරපතළ බැවින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ අතර පසු දින ඇන්තනි මිය යන්නේ උපන් දිනය යෙදී තිබුණ දින වීම දෛවයේ සරදමක් ලෙසය.
දෙහිවල පොලිසියට මෙම තොරතුර ලැබෙන්නේ පිහි ඇනුමක් ලෙසය. ඇන්තනිගේ පියා අත්අඩංගුවට ගැනුණු අතර සෝදා පිරිසිදු කර නිවෙසේ කබඩ් එකක් යට සඟවා තිබු පිහියද පොලිසිය භාරයට ගත්තේ සැකකරුගේ ප්‍රකාශ මතය.
උපන් දිනයට මිතුරන් මත්පැනින් නැහැවීමට සැරසුන 18 හැවිරිදි ඇන්තනී අවසන් ගමන් ගියේ ඔහුගේ පියාට සිර කුටියේ දොරගුළු විවර කර දෙමිනි.
ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි සමන් ජයසේකරගේ උපදෙස් සහ මඟ පෙන්වීමෙන් දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පියල් දුෂ්මන්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. යු. කේ. ලියනආරච්චි, සැරයන්වරුන් වන 35787 ප්‍රියන්ත, 4507 බණ්ඩාර, කොස්තාපල්වරුන් වන 77154 තෙන්නකෝන්, 33449 සඳරුවන්, 91860 චාමර, කාන්තා පොලිස් කොස්තාපල් 12535 කෞශල්‍යා මෙහි විමර්ශන සඳහා දායක වුහ.