මට්ටක්කුලියේ ෆර්හාන් නැති කරන්න වනාතේ දුමින්ද ඩුබායි ඉඳන් ගහපු ගේම | සිළුමිණ

මට්ටක්කුලියේ ෆර්හාන් නැති කරන්න වනාතේ දුමින්ද ඩුබායි ඉඳන් ගහපු ගේම

මොහොමඩ් ෆර්හාන් සහ ඝාතකයන් පැමිණි රථය

- නඩුවකට පෙනී සිට ආපසු යද්දී ෆර්හාන් ජීවිතේට සමු දුන්නේ මහමඟදී
- බැන්ඩියාවත්තේ අස්වර්, වනාතේ චතු මල්ලි, වනාතේ රිෆාන් සහ රසාක් කඩු මන්නා සමඟ අත්අඩංගුවට

කොළඹ නගර මධ්‍යයේ සිදුවන මිනිස් ඝාතන ගොන්නට තවත් ඝාතනයක් එක් වූයේ පසුගිය නොවැම්බර් මස 28 වැනි දිනය. එදින ඝාතනය කැරුණේ මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන්ය. ෆර්හාන් මට්ටක්කුලිය, අලුත් මාවතේ, සාවියා පටුමඟේ පදිංචිකරුවෙකි. 38 හැවිරිදි ෆර්හාන් ජංගම දුරකතන අමතර කොටස් මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නිරත වන අතරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු ව්‍යාපාරිකයන්ගේ මුදල් උණ්ඩියල් ක්‍රමයට පිටරටට යවන කූට ව්‍යාපාරයක්ද කරමින් සිටි අයෙකි. 

පස්දරු පියෙකු වන ඔහු ඉකුත් නොවැම්බර් මස 28 වැනිදා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහුට විරුද්ධව ගොනුකර තිබූ නඩුවකට අදාළව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම සඳහා ගොස් සිටියේය. ඒ ඔහුට අයත් සුදු පැහැති වැගන්ආර් රථයෙනි. එම නඩුව ගොනුකර තිබුණේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. ඒ පාණදුරේ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකදී හුවමාරු වූ මුදල් සබැඳි සිද්ධියකි.

ඔහු එදින සිය සහෝදරයා සහ පියා සමඟ අදාළ නඩුවට පෙනී සිට තනිවම සිය වැගන්ආර් රථයෙන් නිවෙසට යමින් සිටියේය. වේලාව දහවල් 11.20ට පමණය. ඒ වන විට ෆර්හාන්ගේ රථය පසුපසින් පැමිණි නිල් පැහැති ෆිට් වර්ගයේ රථයක්ද පැමිණියේය. ෆර්හාන් සිය වාහනය මට්ටක්කුලිය, අලුත් මාවතේ සිය නිවෙස පිහිටි සාවියා පටුමඟට හරවද්දීම පසුපසින් පැමිණි රථය ඔහුගේ රථයේ පසුපස හැප්පිණි. එය එම රථයේ පැමිණි පිරිස හිතාමතාම සිදුකළ දෙයකි. ක්ෂණයෙන් ෆර්හාන් සිය වාහනයෙන් බැස ආවේ සිදුවූ අනතුර ගැන සොයා බැලීමටයි.

ඒ සමඟම ‘ෆිට්‘ රථයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් ඉන් බැස ආවේ කඩු දෙකක්ද අතැතිවය. කිසිවක් නොසිතූ ෆර්හාන් දිව යන්නට වූයේ මර බියෙනි. එසේ ෆර්හාන් දිව යන ආකාරය ජනාකීර්ණ මට්ටක්කුලියේ සීසීටීවී කැමරාවලද සටහන් වී තිබිණි. කෙසේ හෝ ඔහුට වැඩි දුරක් එසේ දිව යන්නට නොහැකි විය. ෆර්හාන් සෙනඟ මධ්‍යයේ එක් ස්ථානයක නතර විය. දෙනෝදහක් බලා සිටියදී අපරාධකාරයන් ෆර්හාන් කපාකොටා දැමුවේ ලේ ගංගාවක් මවමිනි. අනතුරුව අපරාධකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි රථයෙන්ම පලා ගියේ දමිළ චිත්‍රපට දසුනක් විලසිනි. බරපතළ තුවාල සමඟ රුධිරයෙන් නැහැවී වැටී සිටි ෆර්හාන් අවට සිටි පිරිස එක්ව කොළඹ ජාතික රෝහලට රැගෙන ගියත් ඔහුට ජීවත්වීමේ වාසනාව නොලැබිණි.

ෆර්හාන්ට එල්ල වූ එම මාරාන්තික ප්‍රහාරය මට්ටක්කුලිය පොලිසියට සැලවීමත් සමඟ කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අබේපිටියගේ උපදෙස් මත මූලික පොලිස් විමර්ශන සිදු වූයේ ඝාතකයන් කොටුකර ගැනීම සඳහාය. බුද්ධි නිලධාරින්ගේ සහායද ඊට ලැබිණි. ෆර්හාන් 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් අතර සිටි අයෙකි. ඔහු අත්අඩංගුවට ගැනුණේ ජාඇළ පොලිස් ස්ථානය මඟිනි. ඒ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කිරීම සඳහා තවත් පුද්ගලයන් සිවුදෙනෙකු සමඟිනි. දිගු කාලයක් එම නඩුව පැවැති නිසා බන්ධනාගාරගතව සිටි ෆර්හාන් මෑතකදී ඉන් ඇප ලබා නිදහස් වූයේය.

ෆර්හාන්ගේ ඝාතකයන් කොටුකර ගැනීම ප්‍රමාද වෙද්දී බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙකී විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය (CCD)යට පැවැරිණි. පසුගිය කාලය පුරා මෙවැනි මිනිස් ඝාතනවල අපරාධකාරයන් කොටුකර ගැනීමට සීසීඩී නිලධාරින් ක්‍රියාත්මක වී තිබුණේ දිව රෑ වෙහෙසෙමින් පුළුල් විමර්ශන සිදු කරමිනි. කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග ඇතුළු කණ්ඩායම මෙකී විමර්ශන සඳහා එක් වූහ.

එහිදී උපපොලිස් පරීක්ෂක මධුරංග විසින් ෆර්හාන්ගේ ඝාතනයට අපරාධකාරයන් පැමිණි කාර් රථයේ ලියාපදිංචි අංකය සොයා ගත්තේය. එහි අංකය වූයේ WP CAK – 4066ය. එම රථය වත්තල ප්‍ර දේශයේ කුලී රථ ආයතනයකට යොමුකර තිබූ රථයකි. එම රථය කුලී රථ ආයතනයේ එදින එනම් පසුගිය නොවැම්බර් 28 වැනිදා පෙරවරුවේ කුලියට ගත් පිරිස කවුරුන්ද යන්න හඳුනා ගැනීමට සීසීඩී නිලධාරින් සමත් වූයේ සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුවය. පසුව එම රථයෙන් ෆර්හාන් ඝාතනයට සැකකරුවන් පස්දෙනෙකු පැමිණ ඇති බවද අනාවරණය කරගැනීමට එම නිලධරයන්ට හැකි විය.

සැකකරුවන් එලෙස හඳුනාගෙන සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ 70450 කොස්තාපල් අමිලට තොරතුරක් ලැබුණේ සැකකරුවන් ඒ වන විට සෙල්ල කතරගම - බුත්තල මාර්ගයේ පල්ලාවිට තානායමේ නතර වී සිටින බවටයි. ඒ ඉකුත් දිනෙකය. එම තොරතුර ලද සැණින් සීසීඩී නිලධාරි කණ්ඩායමක් අදාළ තානායම සොයා ගියේය. කෙසේ හෝ එම පිරිස පොලිසිය යන විට එම ස්ථානයෙන් පලා ගොස් සිටියේය. එහෙත් හෝටලයෙන් එම පිරිසේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූයේ හෝටලයේ ලිපි ලේඛන පරීක්ෂාවේදීය.

එහිදී හෝටලයේ සිටි අදාළ ඝාතනයට පැමිණි සැකකරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකු වනාතමුල්ල මහල් නිවාසයේ බවත් සෙසු පුද්ගලයා වැල්ලම්පිටියේ බවත් හෙළි විය. නැවත කොළඹ ආ පොලිස් නිලධාරින් මුලින්ම වැල්ලම්පිටියේ, බැන්ඩියාවත්ත පාරේ කුලී නිවෙසක පදිංචි මේ ඝාතනයේ සැකකාර අස්වර් නමැති අයකු සොයා එම නිවෙසට ගියේය.

ඒ මොහොතේ නිවෙසේ සිට 26 හැවිරිදි අස්වර් සහ 25 හැවිරිදි කවිෂ්ක චතුරංග හෙවත් වනාතේ චතු මල්ලි යන සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරින්ට කොටු විය. චතු මල්ලි මීට පෙරද ග්‍රැන්ඩ්පාස්හි සිදු වූ මිනිස් ඝාතනයකටද පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි. එසේම චතු මල්ලි සීසීඩීය විසින් මීට පෙරද කේරළ ගංජා කිලෝ 4ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අයෙකි.

මේ ඝාතනයට ෆිට් රථය පදවමින් පැමිණි සැකකරු වන 34 හැවිරිදි වනාතේ රිෆාන්ද ගොතටුවේ කුලී නිවෙසක සිටියදී එදිනම අත්අඩංගුවට ගැනිණි. 33 හැවිරිදි රසාක් නමැති පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඔහු ෆර්හාන්ට කඩුවෙන් පහර දුන් පුද්ගලයාය. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සියලු දෙනාම විවාහකයන්ය. සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ෆර්හාන් ඝාතනයට යොදාගත් කඩු දෙකද අස්වර්ගේ වැල්ලම්පිටියේ නිවෙස පිටුපස ලඳු කැලෑවක තිබී සොයා ගැනිණි.

“ඇයි තමුන්ලා ෆර්හාන්ව මැරුවේ...“ පොලිස් නිලධාරියෙක් සැකකරුවන්ගෙන් විමසුවේය.

“සර්... අපිට මේක කරන්නෙ කිව්වේ වනාතේ දුමින්ද... එයාට ෆර්හාන් එක්ක තිබුණ සල්ලි අවුලකට තමයි මේ මර්ඩර් එක අපි කළේ“ යැයි ඔවුහු පැවැසූහ.

වනාතමුල්ලේ පදිංචි දුමින්ද උදිත කුමාර දැනට ඩුබායි රටට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකි. ඔහු මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකි. දුමින්ද, පාණදුරේ කුඩු සලිඳු, කෙසෙල්වත්තේ ධනුක, වනාතේ ජූඩ් වැනි මහා පරිමාණ මත් ජාවාරම්කරුවන් සමීපව ඇසුරු කරන්නෙකි. දුමින්ද උදිත ඩුබායි සිට ඝාතනය මෙහෙයවමින් ෆර්හාන් ඝාතනය වූ දින වනාතේ චතු මල්ලිට කියා ඇත්තේ මෙවැනි කතාවකි.

“ෆර්හාන් අද නඩුවකට යනවා... ඌට අද වැඩක් දෙන්න ඕන... උඹලා අදම ඕකව ඉවරයක් කරලා දාපන්... ඌ එන්නේ සුදු පාට වැගන්ආර් එකෙන්... කාර් එක ෆලෝ කරලා ඕකව කපපන්...“ දුමින්ද එසේ කීවේය.

එසේම දුමින්ද විසින් ෆර්හාන්ගේ හැඩරුව ඇතුළු සියලු තොරතුරුද කුලී ඝාතකයන් පිරිසට ලබා දුන්නේය. ඝාතනයෙන් පසු ෆර්හාන්ට කඩුවෙන් කෙටු රසාක්ට රුපියල් ලක්ෂයක් දී තිබිණි. සෙසු සැකකරුවන්ට මුදල් දෙන්නට පෙර පොලිසියට කොටු විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් චතු මල්ලි මත් ජාවාරම් ඇතුළු බොහෝ අපරාධවලට සම්බන්ධ වූවෙකි. සෙසු සැකකරුවන්ට පෙර වැරැදි නැත. මේ අතර මෙකී ඝාතනයට යොදාගත් නිල් පැහැති මෝටර් රථය කුලී පදනම මත ලබා ගත් කොළඹ 8, බේස්ලයින් පාරේ පදිංචි තරුණයෙක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගැනිණි.

ඔහු මේ අපරාධයට සම්බන්ධ වී නැත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන රොෂාන් මධුරංග, ප්‍රියමන්ත කොස්තාපල්වරුන් වන 70450 අමිල, 1117 මධුමාල්, 3122 උදයංග, 88139 ලසන්ත, 74400 ජනිත් සහ 84333 වික්‍රමනායක යන නිලධාරිහු එක් වූහ.

Comments