දුම්රිය අනතුරෙන් බිරිය මිය ගිහින්: තනි වූ දියණිය ගෙන යන්න රුසියානු පියා මෙරටට | සිළුමිණ

දුම්රිය අනතුරෙන් බිරිය මිය ගිහින්: තනි වූ දියණිය ගෙන යන්න රුසියානු පියා මෙරටට

ත්‍රිරෝද රථය ගිනි ගත් අයුරු සහ ඩේරිආ සිංනල්නිකොච්

මහරඹ දුම්රිය හරස් පාරේදී රජරට රැජිනට බිලිවූ 'ඩෙරිආ' එක්දරු මවක්

ගාල්ල උනවටුණ ලොව පුරා ප්‍රචලිත සංචාරක ගම්මානයකි. එම නිසා සෑම වසරකම සංචාරක සමයට උනවටුණ හා ඒ ආශ්‍රිත රූමස්සල, යද්දෙහිමුල්ල, පීල්ලගොඩ සහ වැල්ලෙ දේවාලය පාර යන ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල්, සංචාරක නිකේතන සහ විලා ආදිය සංචාරකයින්ගෙන් පිරී පවතී. මෙවරත් එම ප්‍රදේශ සංචාරකයින්ගෙන් පිරී ගොස් ඇත. මෙවර උනවටුණ ප්‍රදේශයට පැමිණ සිටින සංචාරකයින්ගෙන් සියයට අසූවක් පමණ රුසියන් සංචාරකයින් බව සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෝ පවසති. 

රුසියානු ජාතික ඇලෙක්සි සිනෙල්නිකෝව් (Alexey Senelnikov ) සහ ඩේරිආ සිනෙල්නිකෝව් (Daria Sinelnikov) යුවළ ද කලක සිටම සංචාරක සමයට උනවටුණට පැමිණීමට පුරුදු වී සිටියෝය. මෙවරත් එම යුවළ තම සිවු හැවිරිදි දියණිය සමඟ මෙරටට පැමිණියේ ප්‍රීතිමත් නිවාඩුවක් ගත කිරීමේ අරමුණ ඇතිවය. මෙවරත් ඔවුන් ගාල්ල, උනවටුණ, පීල්ලගොඩට පැමිණ 'විලා එකක' නවාතැන් ගනු ලැබූහ.

47 හැවිරිදි ඇලෙක්සි සිනෙල්නිකෝව් රුසියාවේ නීතිඥවරයෙකු ලෙස සේවය කරනු ලබයි. ඔහුගේ බිරිය වන 37 හැවිරිදි ඩේරිආ සිනෙල්නිකෝව් එක් දරු මවකි. පසුගිය නොවැම්බර් මස 1 වන දින උනවටුණට පැමිණ සුපුරුදු විලා එකක මෙම යුවළ තම කුඩා දියණිය සමඟ ඉතා ප්‍රීතියෙන් කාලය ගත කළෝය. ඔවුන් දිනපතා ලෝකයේ ලස්සනම මුහුදු වෙරළ කීපයෙන් එකක් වන උනවටුණ මුහුදු වෙරළට ගොස් දිය නෑවෝය.

මෙසේ තම බිරිය සහ කුඩා දියණිය සමග විනෝදයෙන් කාලය ගත කළ ඇලෙක්සි සති දෙකකට පසු ආපසු රුසියාවට යෑමට තීරණය කළේ නැවත සති දෙකකට පසු ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙනි.

ඒ අනුව සති දෙකක් තම බිරිය සහ දියණිය සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ ඇලෙක්සි රුසියාව බලා ගියේ නීතිඥයෙකු ලෙස බාර ගත් නඩු කීපයකට පෙනී සිටීම සඳහාය. එහෙත් වසර දහයක පමණ කාලයක් තිස්සේ තමාගේ සෙවනැල්ල මෙන් සිටි ආදරණීය බිරිය දකින අවසන් අවස්ථාව මෙය වනු ඇතැයි ඇලෙක්සි කිසිම ලෙසකින් නොසිතන්නට ඇත. එමෙන්ම සැමියා දින කීපයකට තමාගෙන් සමු ගැනීම සදාකාලිකව සමුගැනීමක් නොවනු ඇතැයිද ඩේරිආ නොසිතන්නට ඇත.

කෙසේ වෙතත් දින කීපකට හෝ තම සැමියාගෙන් වෙන්ව සිටීමට සිදුවීම ඩෙරිආට මහත් දුකක් වුවද තමා නවාතැන්ගෙන සිටින 'විලා නිවසේ' තවත් රුසියානු පවුල් දෙකක් නතරව සිටීම ඇයට මහත් අස්වැසිල්ලක් වූවාය.

මේ අතර එම යුවළගේ සිවුහැවිරිදි දියණිය උනවටුණ මහරඹ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෙර පාසලකට ඇතුළු කර තිබුණි. උදේ කාලයේ පෙර පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව එම ස්ථානයේම පවත්වා⁣⁣⁣ගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථානයට එම දැරිය රැක බලා ගැනීමට ඩේරිආ සිනෙල්නිකෝව් විසින් පවරා තිබුණි.

දිනපතා උදේ තම දියණිය සමඟ උනවටුණ ධීවර විවේකාගාරය අසල පවත්වාගෙන යන ත්‍රි රෝද රථ ගාල වෙත පැමිණෙන ඩෙරිආ එහි ඇති ත්‍රිරෝද රථයකින් දියණිය මහරඹ දුම්රිය හරස් ගේට්ටුව අසල ඇති පෙර පාසල වෙත රැගෙන ගියාය. මෙම ගමන සඳහා ඇය එකම ත්‍රිරෝද රථයක් යොදා නොගත් අතර එම රථ ගාලේ තිබු කුමන හෝ ත්‍රිරෝද රථයකින් ඩෙරිආ තම දරුවා පෙර පාසලට රැගෙන ගියාය. ඇය නවාතැන්ගෙන තිබූ විලා නිවසේ සිට මීටර් පනහක් පමණ දුරින් ගාලු - මාතර මාර්ගය යාබද මෙම ත්‍රිරෝද රථ ගාල පවත්වා⁣⁣⁣ගෙන යනු ලබයි. පසුගිය 1වන දින ද සිරිත් පරිදි තම දියණිය පෙර පාසලට රැගෙන යෑම සඳහා ත්‍රිරෝද රථ ගාල වෙත පැමිණියාය. එවිට එහි තිබු ත්‍රිරෝද රථයකින් දියණිය සමඟ පෙර පාසල වෙත ගියාය. ඔවුන් නවාතැන්ගෙන සිටින ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් මෙම පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටා ඇත. රුසියානු ජාතික කාන්තාවක් විසින් මෙම පෙර පාසල සහ සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන අතර, උනවටුණ ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටින රුසියානු ජාතිකයින් විශාල පිරිසකගේ දරුවෝ මෙම පෙර පාසලේ ඉගෙනුම ලබති.

ඩෙරිආ දියණිය පෙර පාසලට ඇතුළු කොට තම දියණිය දෙස නැවත හැරී බැලුවාය. එවිට දියණිය ඇයට අත වනා මවට ආචාර කළාය. අනතුරුව ඇය තම දියණිය දෙස හැරී බලා පැමිණ ත්‍රිරෝද රථයට ගොඩ වූවාය. ත්‍රිරෝද රථය ගමන් ගන්නා අතුරු මාර්ගය වැටී ඇත්තේ දුම්රිය මාර්ගයට සමාන්තරවය. මෙම දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මහරඹ දුම්රිය හරස් බාධකය අසලට පැමිණෙන විට මාතර දෙස දුම්රිය මාර්ගය බොහෝ ඈතට පැහැදිලිව පෙනේ.

මෙම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ වර්ණ සංඥා පද්ධතිය අක්‍රියවී ඇති නිසා ඒ බව සඳහන් කොට නොසැලකිලිමත් ලෙස දැන්වීමක් ද එල්ලා තිබේ. අතුරු මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රිරෝද රථය එක්වරම දුම්රිය මාර්ගයට ඇතුළු කරන විටම බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබු රජරට රැජන දුම්රියේ හැපී එය ඈතට විසි විය. ඊට පසුව රැස්වූ පිරිස විසින් මළ සිරුරු දෙක කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය.

එහිදී මහරඹ හදිසි මරණ පරීක්ෂක වයි. නිරෝෂා නිල්මිණි මෙම මරණ දෙක පිළිබඳ මරණ පරීක්ෂණ කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැවැත් වුවාය.

කරාපිටිය ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. සී. ප්‍රියනාත් මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා දුම්රියේ හැපිමෙන් බහුවිද තුවාල සිදුවීම මරණවලට හේතු බව සඳහන් කළෝය. මිය ගිය කාන්තාවගේ සිවුහැවිරිදි දියණිය ඇගේ පියා විසින් භාර ගනු ලැබීය.

මියගිය ඩෙරිආ සිනෙල්නික්කෝච්ගේ දේහය කොග්ගල ⁣ආදාහනාගාරයේදී ආදාහනය කිරීමෙන් පසුව ඇලෙක්සි සිනෙල්නිකෝව් තම සිවුහැවිරිදි දියණිය සහ ඔහුගේ මව සමඟ රුසියාව බලා පිටත් විය. මේ අතර මහරඹ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ වර්ණ සංඥා පද්ධතිය අක්‍රීය වී තිබීම නිසා මෙම අනතුර සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

 එස්. දීයගහගේ - දකුණු පළාත් සංචාරක

Comments