
- සැකකාරිය ඇප මත මුදා හරී
- සැමියා නැති දියණිය නිෙවසට විවිධ පුද්ගලයන් ගෙන්වා ගන්නා බව මව පොලිසියට කියයි
- මවගේ වයස අවුරුදු 80යි දියණියට 47යි
තම දූ දරුවන්ට ඇතැම් මව්පියන් සිදු කරන ක්‍රෑර වධහිංසා, අකටයුතුකම් ක්‍රියා සම්බන්ධයෙන් අපට නිරතුරුවම දැක බලා අසා දැන ගැනිමට පුළුවන.
බදුල්ල දිසාවේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෙලහල්පේ පියරපන්දෝව ඉලුක්හේනගෙදර ගම්මානයේ දී 80 හැවිරිදි මවක තමන් මෙලොවට බිහිකර ඇති දැඩි කළ 47 හැවිරිදි දියණියගේ නිෙවසට ගිනි තබා දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ ශෝචනීය සිදුවීමක් නොබෝදා වාර්තා විය. මේ කතාව පොලිස් පොතේ ලියැවෙන්නේ මෙසේය.
යූ.ජී. සීලවතී 80 හැවිරිදි මවකි. ඇයට දරුවන් කිහිප දෙනෙක් සිටින අතර 47 හැවිරිදි ඉන්ද්‍රානි ඇගේ එක් දියණියකි.
ගොවිතැන් කටයුතු සිදු කරමින් ජීවිකාව ගැටගසා ගන්නා ඉන්ද්‍රානි දැනට වසර කීපයක සිට සිය සැමියාගෙන් වෙන්ව 17 හැවිරිදි දියණිය සමඟ පියරපන්දෝව, ඉලුක්හේනගෙදර පදිංචිව සිටින්නීය.
මෙම නිෙවස අසලම ඉන්ද්‍රානිගේ සෙසු සහෝදරියකගේ නිෙවසක මව වෙනම පදිංචිව සිටින්නීය. 17 හැවිරිදි පාසල් යන දියණිය සමඟ ඉන්ද්‍රානි වෙනම නිෙවසක පදිංචිව සිටිති.
සිය ස්වාමිපුරුෂයා නොමැතිව දියණිය සමඟ පමණක් ජීවත්වන ඉන්ද්‍රානිගේ නිෙවසට නිරතුරුවම විවිධ පුද්ගලයන් පැමිණෙන අයුරු ඒ අසල නිවෙසේ සිටින මව දැක ඒ සම්බන්ධයෙන් සිය දියණියගෙන් විමසා පිටස්තර පුද්ගලයන් නිවසට කැඳවාගෙන නොයන ලෙසට ඇයට තරයේ අවවාද කළාය.
මවගේ අවවාද ‘සතේකට‘ ගණන් නොගත් ඉන්ද්‍රානිගේ නිෙවසට විවිධ පුද්ගලයන් දිනපතාම පාහේ පැමිණෙන්නට පටන් ගනිද්දී මවටද මෙය හිසරදයක් විය.
දියණිය පාසල් ගිය විටදී ඉන්ද්‍රානි පමණක් නිවසේ තනිව සිටියාය. ඇය මුණ ගැසීමට විවිධ තරාතිරමේ උදවිය පැමිණි අතර, මෙය දුටු මව සීලවතී ඉන්ද්‍රානිට අවවාද කරමින් නිෙවස තුළට කිසිවෙකු වද්දා නොගන්නා ලෙසට යළි යළිත් ඇයට අවවාද කළාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සීලවතී මව සහ ඉන්ද්‍රානි දියණිය අතර නිරතුරුවම අඩදබර කෙහෙවලු පටළවා ගන්නා රණ්ඩු සරුවල් ඇති වීමයි.
පසුගිය දිනෙක උදෑසන 6.00ට පමණ ඉන්ද්‍රානි සිය දියණිය කැටුව බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙළේ පාසලකට ගියේ අපොස සාපෙළ විභාගය සමත් වී සිටි දියණිය උසස් පෙළ හැදෑරීම සඳහා එම පාසලට ඇතුළු කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමටය.
එය අවසන් වී දියණිය සමඟ නිෙවස කරා එන අතරමඟදී විදුලි උපකරණ අලුත්වැඩියා කරන හිතවත් අයෙකු හමුවී ඔහු සමඟ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් තමාගේ ගෑස් උඳුන අලුත්වැඩියා කර ගැනීමට ඉන්ද්‍රානි නිෙවසට ආවාය.
මෙය දුටු මව පිටස්තර පුද්ගලයකු නිවසට කැඳවාගෙන ආවයි කියමින් ඉන්ද්‍රානි සමඟ රණ්ඩු කළාය. ඒ සමඟම සීලවතී විදුලි උපකරණ අලුත්වැඩියා කරන පුද්ගලයාටද බැණ වදිමින් ඔහු එළවා ගත්තාය.
පසුව ඉන්ද්‍රානි නිෙවස වසා දමා නිවස අසල නිෙවසක පදිංචිව සිටින සිය සහෝදරියගේ නිෙවසට දියණිය කැටුව ගියාය. යළි පස්වරු 3.00ට පමණ ගමේ විහාරස්ථානයේ පැවත්වෙන බෝධි පූජාවට සහභාගි වීමට යාම සඳහා ඇඳුම් පැලඳුම් ගෙන ඒමට දියණිය සමඟ නිෙවසට ඇය පැමිණියාය. එසේ ආ ඉන්ද්‍රානි නිවසේ කාමරයකින් දුමක් නඟිනවා දැක කලබල වී අසල්වාසිනට කියා ගින්න නිවා දමා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන දැනුම්වත් කළාය.
මෙම ගින්න වෙන කිසිවෙකු නොව තමා සමඟ නිරතුරුවම රණ්ඩු සරුවල් කරන මව විසින් සිදු කළ බවට ඉන්ද්‍රානි පොලිසියට ප්‍රකාශ කළාය.
ඒ වන විටත් ඉන්ද්‍රානිගේ නිෙවසේ කාමරයේ තිබූ දියණියගේ ඇඳුම් පැලඳුම්, පාසල් පොත්පත්, පරිගණක යන්ත්‍රයක්, ලියකියවිලි, ඇතුළු දේපළ රැසක් ගිනිබත් වී රුපියල් දෙලක්ෂ පනස්දාහක පමණ අලාභ හානියක් සිදු වී හමාරය.
මවගේ දියණියගේ 'කෙහෙවලු පටලවා ගැනීමේ' අවසන් ප්‍රතිඵලය වූයේ මෙරටේ අනාගතය බාර ගැනීමට සිටින අහිංසක දැරියකගේ අනාගතේ අඳුරු වීමය.
බණ්ඩාරවෙල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් කුමාරගේ අධීක්ෂණයෙන් ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකාර වයෝවෘද්ධ මව අත්අඩංගුවට ගත්හ.
ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය කීවේ ඉන්ද්‍රානි දියණිය සැමියාගෙන් වෙන්ව සිටින බවය. දියණිය නිරතුරුවම විවිධ පුද්ගලයන් සමඟ සබඳතාවන් පවත්වා ගනිමින් නිෙවසට විවිධ පුද්ගලයන් ගෙන්වා ගන්නා බවත්, ඇයට ඒ ගැන කොතරම් පවසා අවවාද කළත් ඇය ඒ ගැන කිසි තැකීමක් නොකර මෙම ක්‍රියාව දිගින් දිගටම කරගෙන යන බවද ඈ සඳහන් කළාය. මෙම සැකකාර මව වසා දමා තිබූ දියණියගේ නිෙවසට පිටුපස දොර කඩා ඇතුළු වී මෙම ක්‍රියාව සිදු කළ බවට තොරතුරු අනාවරණය විණැයි පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකාර සීලවතී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කේ. ජීවරානි සැකකාර මව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළාය. මේ පිළිබඳව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 3 වන දින යළි කැඳවීමට නියමිතය.
සී. ගමගේ - සොරණාතොට සමූහ