අම්මේ! මං ආවා | සිළුමිණ

අම්මේ! මං ආවා

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සහ දරුවා සහ මව

- සිසුවා සඟවා ගෙන සිටි විදුලි කාර්මිකයා රිකිල්ලගස්කඩ වතුයායක නි‌ෙවසකදී අත්අඩංගුවට

ප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි ළමයා පැහැරගෙන ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටියදී සොයා ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිවූයේ පසුගියදාය. 24 දා රාත්‍රියේ මෙලෙස පැහැර ගැනුණේ අංක16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී. කේ. දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවාය. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිවු වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

දෙනෙත් සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මීට මාස කීපයක සිට සමීප ඇසුරක් තිබුණි. මේ විදුලි කාර්මිකයා තම දරුවා රවටා පැහැරගෙන යන්නට ඇති බවට සැක කරන බව දරුවාගේ මාපියන් එප්පාවල පොලිසියට පසුගිය 19 වැනි දින රාත්‍රියේ පැමිණිලි කර තිබිණි.

ඔහු ප්‍රදේශයේ විදුලි කාර්මිකයකු වන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු දරුවා රවටා රැගෙන යන්නට ඇති බවට දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති සහ යුද හමුදා සෙබළකු වන පියා එප්පාවල පොලිසියට සිදුකළ පැමිණිල්ලෙහි සඳහන් විය.

ඒ අනුව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටි බවය. විදුලි කාර්මිකයා පැහැර ගත් දරුවාද සමඟ දරුවා පැහැර ගත් දිනම එනම් පසුගිය 19දා රාත්‍රියේ නාවුල ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ නිවසකට ගොස් එම නිවසේ රාත්‍රියේ රැඳී සිට පසු දින අලුයම එම නිවසින් දරුවාද රැගෙන උකුවෙල පිහිටි ඔහුගේ සහෝදරියකගේ නිවසකටද ගොස් ඇති බවට පොලිසිය අනාවරණය කර ගත්තේය. ඒ අනුව පොලිස් කණ්ඩායම් පහක් දරුවා සොයා මාතලේ සහ උකුවෙල ප්‍රදේශවල සහ අනුරාධපුර ප්‍රදේශවල විමර්ශන සිදු කරන ලදි.

සැකකාර විදුලි කාර්මිකයා දරුවා රැගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. ඒ අතර පසුගිය 23 වනදා පස්වරු 6.30ට පමණ එම දුරකතනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලබා ගත් විදුලි කාර්මික ශිල්පියා පවසන්නේ දරුවා හොඳින් ඉන්නා බවය. තමන් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දරුවා සමඟ සිටින බවත්, කඩිනමින් දරුවා මව වෙත ලැබීමට සලස්වන බවත්, දරුවාගේ ඉල්ලීම මත තමන් දරුවා රැගෙන ගිය බවද, හැකිනම් පොලිසියේ සිදු කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නාලෙසද ඔහු පැවසීය. දරුවාද එහිදී මව සමඟ දුරකතනයෙන් කතා කර පවසා ඇත්තේ තමන් කැමැත්තෙන් මාමා සමඟ පැමිණි බවත් තමන් හොඳින් ඉන්නා බවය.

කෙසේ වෙතත් මේ දෙදෙනාම තලාව ප්‍රදේශයේ රැඳී සිටින බව පැවසුවද අදාළ දුරකතන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කරද්දි එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිත වන බවට තොරතුරු අනාවරණය විය. ඒ සමඟම ක්‍රියාත්මක වූ පොලිසිය දරුවා සහ දරුවා පැහැර ගත් පුද්ගලයා රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක රැඳී සිටියෙදී 23 වැනිදා මධ්‍යම රාත්‍රියේ එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. දරුවා එප්පාවල සිට රැගෙන ගිය විදුලි කාර්මික ශිල්පියාට අයත් ත්‍රිරෝද රථයද එම නිවසේ තිබී පොලිස් භාරයට ගැනිණි. මෙම දරුවා සහ දරුවා පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමට උදවු උපකාර කළ නිවසේ හිමිකරුද එම අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

දරුවා රඳවා ගෙන සිටි වතුයායේ පිහිටි නිවසේ හිමිකරු වන නගර සභා සේවකයාගේ පියා, මෙම දරුවා පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා සමඟ වසර කීපයක් තලාව ප්‍රදේශයේ සේවය කළ අයෙකි. එහිදී ඇතිවූ හිතවත්කම මත මීට පෙරද නිවසට එක් වරක් පැමිණි බවත්, පසුගිය 20 වැනි දින තම පියාගේ නිවසට පැමිණි මොවුන් එහි රැඳී සිට, පසු දින ඔවුන් තමන්ගේ නිවසට පැමිණ, මෙම දරුවා තමන්ගේම දරුවා බව පවසා නිවසේ තබාගෙන සිටි බවද පොලිසියට පැවැසීය. තමන් නව නිවසක් ඉදි කරමින් පවතින බවත්, මෙම පුද්ගලයා එහි විදුලි පද්ධතිය සකස් කිරීමද පසුගිය දිනවල සිදු කළ බවත් ඔහු පොලිසියට පවසා ඇත.

ඒ අනුව එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් දරුවා, පැහැර ගැනීම සිදු කළ විදුලි කාර්මිකයා හා ඔවුන්ට නවතැන් දුන් තිදරු පියෙකු වන නගර සභා රියැදුරුද ‍පොලිස් අත්අඩංගුවට ගෙන එප්පාවල පොලිස් ස්ථානය වෙත පසුගිය 24 වැනිදා උදෑසන රැගෙන එනු ලැබීය.

අත්අඩංගුවට ගත් විදුලි කාර්මිකයා එප්පාවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර, එප්පාවල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශයේදී දරුවාගේ ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදි. ඒ අනුව දරුවා පවසා ඇත්තේ 19 වැනි දින රාත්‍රියේ නිවසින් රහසින් පිටත්වී, මාමාගේ (විදුලි කාර්මික ශිල්පියාගේ) කඩය අසලට පැමිණ ඔහුගේ ත්‍රී රෝද රථයට නැඟ සැඟවී සිටි බවයි. තමා මහණ කරන බවට මාපියන් පැවසූ නිසා, තමන් මහණ වීමට අකමැති බැවින්, ගෙදර හිටියොත් මාව මහණ කරයි, ඒ නිසා මාව ඈතකට එක්ක යන්නැයි මාමාගෙන් ඉල්ලා සිටි බව දරුවා පැවැසීය. ඊට පස්සේ නාවුල හා මාතලේ ප්‍රදේශයේ පිහිටි මාමාගේ නෑදෑ ගෙවල්වලට ගිහින් පස්සේ රිකිල්ලගස්කඩට ගියා, රිකිල්ලගස්කඩින් මගේ කොණ්ඩෙත් කැපුවා, මාව හොයනවා කියලා මම ටී.වී එකෙනුත් දැක්කා. ඒත් මට ගෙදර එන්න හිතුණේ නෑ යැයිද දරුවා පවසා ඇත.

සැකකාර විදුලි කාර්මිකයාද පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තමා දරුවාට කිසිම කරදරයක් කර නැති බවත්, තමාගේම දරුවකු මෙන් දරුවා බලා ගත් බවයි. දරුවා තමන්ට ඇවිටිලි කරමින් ගෙදර ඉන්න බෑ, ඔයා මට උදව් නොකළොත් මං සියදිවි හානි කර ගන්නවා යැයි කී නිසා තමන් දරුවා රැගෙන ගිය බවය.

දරුවා තරමක අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර, දරුවා එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙතෙක් සිදු කළ පරීක්ෂණ අනුව දරුවාට ලිංගික අතවරයක් හෝ අපහරණයක් සිදු වී නැති බවට වාර්තා වේ.

අනතුරුව සැකකාර විදුලි කාර්මික ශිල්පියා සහ ඔවුන්ට නවාතැන් දුන් නිවසේ හිමිකරු තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර ජනවාරි මස 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය නියෝග කළේය. නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 22 කණුව, කැකිරාව පාර, තලාව ලිපිනයේ පදිංචි ඇස්වැද්දුමගේ අසේල ප්‍රියන්ත ප්‍රනාන්දු නම් විදුලි කාර්මික ශිල්පියා හා අපහරණය කිරීමේ චෝදනාවට ආධාර අනුබල ලබා මත දරුවා රැගෙන එප්පාවල ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටිමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසේ හිමිකරු වන අමිල සම්පත් කුමාර නානායක්කාර නම් 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහු රිකිල්ලගස්කඩ නගර සභාවේ රියැදුරෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකි.

එම නිවසේ හිමිකරුගේ පියාද එප්පාවල පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඔහුද ඊයේ (25) පෙරවරුවේ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 04 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එන්.එන්.ජී.ඩී. සිරිසේන නානායක්කාර නම් 74 හැවිරිදි පුද්ගලයෙකි.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස්. ඒකනායකගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඩබ්ලිව්.පී.ආර්. ජයම්පති, සැරයන් 3694 අයි.ජී. ඉරුගල්, කොස්තාපල්වරුන් වන 67338 ජයසිංහ, 68606 එරංග යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

තිසර සමල් - අනුරාධපුර

Comments