අනුරපුරේ කඳවුරෙන් කැඳවාගෙන ආ ඉනෝකා සෙව්වන්දි පෙම්වතාගේ නිවෙසක සිරකාරියක් වෙයි | සිළුමිණ

අනුරපුරේ කඳවුරෙන් කැඳවාගෙන ආ ඉනෝකා සෙව්වන්දි පෙම්වතාගේ නිවෙසක සිරකාරියක් වෙයි

ඉනෝකා විසිරයෑමේ පෙළපාළියේදී

- පියාට අසනීප යැයි බොරු කියන පෙම්වතා පෙම්වතිය කඳවුරෙන් කැඳවාගෙන ඇවිත්

මෙරට ජන සමාජයේ කාන්තාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට නොහැකි වීම බරපතළ ගැටලුවකි. ආසියානු කලාපීය රටවල් පිළිබඳව සලකා බැලූ විට කාන්තාවකගේ සුරක්ෂිතතාව සම්බන්ධව අප රටට ඇත්තේ එතරම් හොඳ නාමයක් නොවේ. ස්ත්‍රී දූෂණය සහ කාන්තාවන් අතිෂය කෲර ලෙස ඝාතනය කිරීම මෙරට ස්ත්‍රීන් සම්බන්ධව සිදුවන සුලබ අපරාධ වේ. බොහෝ විට කාන්තාවන්ට එරෙහිව සිදු කරන අපරාධවල චූදිතයන් බවට පත්වන්නේ වින්දිත කාන්තාවගේ සමීප පුද්ගලයකු බව බොහෝ නඩු තීන්දුවලින් ගම්‍ය වේ. බොහෝ ඝාතනවල පිටුපස සිටින්නේ එම තැනැත්තියගේ පෙම්වතා හෝ මීට පෙර ඇයට ප්‍රේම කළ තැනැත්තාය. තවද බොහෝ කාන්තාවන් ඝාතනය කර ඇත්තේ පලිගැනීමේ චේතනාවෙන් බව පෙනී ගොස් ඇත. කඩවත ඉනෝකා සෙව්වන්දි ඝාතනය රටම කතා කළ කාන්තා ඝාතනයකි. මේ ඉනෝකා සෙව්වන්දි ඝාතනයේ හද සසල කරවන කතාන්දරයේ කොටස් දෙකකින් යුත් ලිපි පෙළෙහි පළමුවැන්නයි. 

කඩවත ප්‍රදේශයේ පදිංචි පවුලක උපත ලද ඉනෝකා සෙව්වන්දිගේ ජීවිතය ද තුරුණු වියේ දී ම නිමාවට පත් වූයේ කෲර අමානුෂික අපරාධයක ප්‍රතිඵලයක් ලෙසය. ගමේ පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලබා ගත් ඉනෝකා සෙව්වන්දි තම පාසල් දිවියට සමු දීමෙන් පසුව කුමන හෝ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළාය. අවසානයේදී ඇයට කඩවත නගරයේ පිහිටි මෙරට ප්‍රකට වෙළෙඳ ආයතනයක වෙළෙඳ සහායිකාවක ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි විය. ඇයට මෙම රැකියාව ලැබුණේ 1999 වසරේය. ඇය මහත් තෘප්තිමත්ව එම රැකියාවේ නිරත වූවාය. එම කාලය ඇතුළත ඇය දැන හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තාය. දෙදෙනා කඩවත නගරයේදී නිතර හමු වූ අතර එම හමුවීම්වලදී ඇතැම් අවස්ථාවල දෙදෙනා අතර මතභේද ඇති විය. එම මතභේද අවසානයේ දී රණ්ඩු සරුවල් බවට පත් විය. ඇගේ පෙම්වතා වූ 'සේරම්' නමැති පුද්ගලයා ඇතැම් අවස්ථාවලදී ඉනෝකා සෙව්වන්දිට තදබල ලෙස පහර දුන්නේය. 'සේරම්' ගේ මෙම ක්‍රියා කලාපය නොඉවසූ ඉනෝකා තම ජීවිතය පිළිබඳව ඉතා බරපතළ තීරණයක් ගත්තාය. ඇය සේරම් සමඟ ඇති ප්‍රේම සබඳතාව නතර කිරීමට තීන්දු කළ අතර ඒ වන විට ඇයට වෙනත් තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ලැබී තිබුණි. එහෙත් ඇගේ පළමු පෙම්වතා වූ සේරම්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඉනෝකා තමන් සතු කර ගැනීමටය. මේ අතර ඉනෝකාගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ ඇය හමුදා සෙබළියක් කිරීමටය. මවුපියන්ගේ බලවත් ඇවිටිලි නිසා හමුදා සෙබළියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ඇය පෙනී සිටියාය. ඉනෝකා එම පරීක්ෂණයෙන් සමත් වූ අතර 1999 වසරේ පෙබරවාරි 01 වනදා ඇය දියතලාවේ හමුදා පුහුණු කඳවුරට පැමිණියේ පුහුණුව සඳහාය. එම පුහුණුව මාස දෙකක් තිබුණු අතර විසිර යාමේ උත්සවය යෙදී තිබුණේ 1999 වසරේ අප්‍රේල් 04 වනදාය. එහිදී ඇය කුසලතා සම්මාන කීපයක් ලබා ගැනීමට සමත් වූවාය. මෙම විසිර යාමේ උත්සවයට ඉනෝකාගේ මව සහ ඥාතීන් කීප දෙනෙකු සහභාගී වූ අතර ඉනෝකාගේ පළමු පෙම්වතා වූ 'සේරම්' ද අනාරාධිතව එහි පැමිණ සිටියේය.

පුහුණුවෙන් පසුව ඇයට අනුරාධපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කිරීමට සිදු විය. සේරම් අනුරාධපුර යුද හමුදා කඳවුරට නිතර පැමිණියේය. මේ පිළිබඳව ඉනෝකා පසු වූයේ නොසතුටිනි. තමා හමු වීමට කඳවුරට නොපැමිණෙන ලෙස ඉනෝකා පෙම්වතාගෙන් ඉල්ලා සිටියත් සේරම්ගේ පැමිණීම නතර වූයේ නැත. එසේ පැමිණෙන අවස්ථාවලදී දෙදෙනා අතර අඩදබර ඇති වූ අතර ඉනෝකාගේ මිතුරියකගේ ප්‍රකාශයකට අනුව ඇතැම් අවස්ථාවලදී සේරම් ඇය ඉදිරියේ දී පවා ඉනෝකාට පහර දී ඇත. එක් දිනක දෙදෙනා අතර සිදු වූ රණ්ඩුව කෙළවර වූයේ ඉනෝකා පිහියකින් තම සිරුර කපා ගැනීමෙන් අනතුරුවය. මෙලෙස කාලය ගත වූ අතර යුද හමුදා කඳවුරේ සේවය කරන අතරවාරයේ එක් දිනක ඇයට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. එදිනත් සුපුරුදු පරිදි සේරම්, ඉනෝකා හමුවීමට අනුරාධපුර යුද හමුදා කඳවුරට පැමිණියේය. සේරම් ඇයට පැවසුවේ ඉනෝකාගේ පියා බරපතළ ලෙස අසනීප වී ඇති බවයි. තවද තමන් සමඟ නිවෙසට යාමට පැමිණෙන ලෙස ද සේරම් ඉනෝකාගෙන් ඉල්ලුවේය. පියාගේ අසනීප තත්ත්වය පිළිබඳව ලද තොරතුරුවලින් බලවත් ලෙස කලබලයට පත් වූ ඉනෝකා සේරම් සමඟ තම පියා බැලීමට යාමට එකඟ වූවාය. මේ අනුව හමුදා කඳවුරේ ස්ථාන භාර නිලධාරියාගේ අවසරය මත ඉනෝකා සෙව්වන්දි සේරම් සමඟ නිවස බලා පිටත් වූවාය. එසේ කඳවුරෙන් පිටවූ ඉනෝකා යළි කිසිම දිනෙක හමුදා කඳවුරට පැමිණියේ නැත. සේරම් උපක්‍රමශීලිව ඉනෝකා එක්තරා නිවසකට කැටුව ගිය අතර ඉන්පසු ඉනෝකා එම නි‍ෙවසේ සිරකාරියක බවට පත් වූවාය. ඉනෝකාගේ පියා අසනීප බවට සේරම් කළ ප්‍රකාශය තමා පැහැර ගැනීමට කළ බොරුවක් බව ඉනෝකා පසුව තේරුම් ගත්තාය. එම නි‍ෙවස පිහිටියේ රාගම බටුවත්ත ප්‍රදේශයේය. ඉනෝකා සෙව්වන්දිට මාසයක පමණ කාලයක් සේරම් සමඟ එම නි‍ෙවසේ ගත කිරීමට සිදු විය. දියණියගේ අතුරුදන් වීම පිළිබඳව බලවත් කම්පාවට පත් වූ ඇගේ මව සහ පියා ඇය සෙවිය හැකි සෑම තැනකම සෙවූ නමුත් ඇය පිළිබඳ කිසිම තොරතුරක් නොලැබුණි. කෙසේ වෙතත් අවසානයේ දී ඉනෝකාගේ බලවත් පෙරැත්ත කිරීම නිසා ඉනෝකා, සේරම්ගේ ග්‍රහණයෙන් නිදහස් වූවාය. 1999 වසරේ ජුනි මාසයේ දී ඉනෝකාට නැවතත් තම මවුපියන් දැකබලා ගැනීමේ භාග්‍යය හිමි විය. තමාට සිදු වූ කරදරය පිළිබඳව තොරතුරු ඉනෝකා සිය මාපියන්ට හඬමින් පැවසුවාය. ඉන් පසුව ඉනෝකා සෙව්වන්දි සිය නි‍ෙවසට වී කාලය ගත කළාය.

මෙසේ මාස දෙකක් පමණ ගත වූ පසුව එක්තරා දිනක ඉනෝකාගේ මාපියන්ට තවත් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. ඒ 1999 වසරේ සැප්තැම්බර් මස 02 වන දිනය. එදින සුපුරුදු පරිදි ඉනෝකාගේ මව රැකියාව සඳහා පිටත් වූවාය. මව නිවසින් බැහැර වන විට ඉනෝකා සිටියේ තද නින්දේය. එම නිසා ඉනෝකා අවදි නොකිරීමට මව වගබලා ගත්තාය.

නීතිඥ එස්. එම්. ජයසූරිය

ඉනෝකාට සිදු වූ අපරාධය ලබන සතියේ

Comments