
කොරෝනාව යම්තාක් දුරට පාලනය වීමත් සමඟ බොහෝ පිරිස් සංචාරයේ නිරත වීම සහ ඔවුනොවුන්ගේ සංස්කෘතික විවිධ උත්සව සමරන්නට පටන් ගත්තේ මහත් සතුටකින් යුක්තවය. එම නිසාම හැටන් ප්‍රදේශයේ නගර කෙමෙන් ජනාකීර්ණ වන්නට විය. මංමාවත්, දුම්රිය ස්ථානය, බස්නැවතුම්පොළ සහ කඩ සාප්පුවල ජනතාවගේ හැසිරීම සුලබ වීමත් සමඟ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉතා අමාරුවෙන් උපයා ගත් මිල මුදල රැගෙන හැටන් නගරයට පැමිණෙන ජනතාවගේ බලාපාරොත්තු මොහොතින් සුනු විසුනු වු අවස්ථා ගණනාවක් විය. ඇතැම් අවස්ථාවල නිවෙසේ පවත්වන්නට නියමිත ආගමික වතාවත්, උත්සව හෝ වෙනත් අවස්ථාවක් සඳහා යාමට ඇඳුම් පැලඳුම් ගැනීමට පැමිණි අහිංසක ජනතාවට හිස් අතින් නිවසට යාමට සිදුවූයේ හැටන් නගරයේදී සංවිධානාත්මක පිරිසක් සිය මුදල් පසුම්බිය සොරාගෙන තිබුණු නිසාය. මේ ගැන හැටන් පොලිසියට ද පැමිණිලි රැසක් ලැබී තිබිණි.
පසුගිය දීපවාලි සමයේ කඳුකරයේ නගර බෙහෙවින් කාර්යබහුල වූ අතර, මෙම ප්‍රදේශවලින් රැකියා සඳහා පිට පළාත්වලට ගොස් නැවතත් මෙහි පැමිණි පිරිස ද බොහෝය. දීපවාලි සැමරීම සඳහා බැතිමතුන් උත්සුක වන අවස්ථාවේ හැටන් ප්‍රදේශය මූලික කරගෙන සංවිධානාත්මකව ගැට කැපීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට තහවුරු වූයේ එකම දිනක් තුළ බොහෝ පිරිසකගේ මුදල් පසුම්බි හැටන් ප්‍රදේශයේ බස් රථයේදී, දුම්රිය පොළේදී අස්ථාන ගත වූ බවට පොලිසිය වෙත වාර්තා වීම නිසාය. හැටන්, තලවාකැලේ, බගවන්තලාව, මස්කෙළිය, කොටගල ආදි විවිධ ප්‍රදේශ රැසක මෙවන් සිදුවීම් වාර්තා වූ අතර, එක් අවස්ථාවකදී සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වුවද මුදල් පසුම්බි සොරකම නැවතීමක් සිදු නොවීය. මේ ගැන අවධානය යොමු කළ පොලිසිය මේ සංවිධානාත්මක කල්ලිය අල්ලා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කළේය. ඇතැම් අය අසරණ වූහ. දරුවෙකුට පාසල් උපකරණ, පොත්, පෑන්, පැන්සල් මිල දී ගැනීමට සහ රෝගියෙකුට බෙහෙත් ටික මිලදී ගැනීමට නගරයට පැමිණි පිරිසට එම බෙහෙත සටහන් කොළයද මුදල් පසුම්බිය සමඟ අස්ථාන ගත වීම නිසා සහ හැඳුනුම්පත, බැංකු කාඩ්පත ඇතුළු විවිධ දේ ඒ ආකාරයෙන් සොරකම් කිරීම ඔවුන් දැඩි ලෙස අපහසුතාවට පත් කළේ මේ ගැන පොලිසිය ද දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටියදීය. බස් රථවල දී මුදල් පසුම්බි සහ ජංගම දුරකතන සොරා ගන්නා බවට සැක කරන කණ්ඩායමක නායිකාවක් ලෙසින් හැඳින්වෙන කාන්තාවක් මහජනතාව විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන්නේ ඉකුත් 02දාය. එම සැකකාරිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණ.
එදින තලවාකැලේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනෙක් ගොඩ වූහ. එම ස්ථානයේ සිට හැටන් නගරයට කිලෝමීටර් තුනක පමණ දුර ප්‍රමාණයක් ඇත. එම කෙටි දුර තුළදී තරුණයෙකුගේ මුදල් පසුම්බිය සැකකාර කාන්තාව විසින් සොරාගත් බවත් එම මුදල් පසුම්බියේ රුපියල් 65000 ක මුදලක් තිබු බවටත් චෝදනා කරමින් එම තරුණයා එම කාන්තාව අල්ලාගෙන හැටන් පොලිසිය වෙත භාර දී තිබිණි.
තරුණයාගේ මුදල් පසුම්බිය අස්ථානගත වු බවට කසුකුසුවක් යද්දීම එම කාන්තාව ඇය සමඟ පැමිණි අනෙකුත් කතුන් දෙදෙනාට ක්ෂණිකව එම මුදල් පසුම්බිය ලබා දී ඇති අතර, ඔවුන් දෙදෙනා එය රැගෙන බස් රථයෙන් බැස පලා ගොස් තිබේ.
සැකකාර කාන්තාව අහිගුණ්ඨක ජන සමාජය නියෝජනය කරන අවිස්සාවේල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අයකු බව අනාවරණය වී තිබේ.
අවිස්සාවේල්ලේ සිට හැටන් නගරයට දුර කිලෝමිටර් 75 කි. තලවාකැලේට යන්නට ඇත්තේ තවත් මාර්ගයකි. ඒ අනුව මොවුන් පිරිසක් ලෙස ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් පැමිණ කණ්ඩායම් වශයෙන් බෙදි විවිධ මාර්ගවල ගමන් කරන බස් රථ සහ එම නගරවල සැරිසරමින් ගැට කැපීම සිදු කරමින් සිටි අය බව හෙළි විය. කිසිම පුද්ගලයෙකුට සැකයක් නොහිතෙන ආකාරයට හොඳින් සැරසී වැඩි මඟීන් පිරිසක් සිටින බස් රථවලට ගොඩ වී තදබදය අතරේ ඔවුන් ගැට කැපීමේ නිරතව ඇති බවද හෙළි විය. අත්අඩංගුවට ගැනුණේ එක් සැකකාරියකි. මේ අයගේ තවත් සාමාජිකාවන් පිරිසක්ම සිටිය හැකිය. ඔවුන් කොතනකදී කොයි මොහොතේ තව කෙනෙකු ගොදුරක් කර ගනු ඇති ද යන්න ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකිය. සැකකාර ඉහත කාන්තාව සමඟ බස් රථයට නැඟ මුදල් පසුම්බිය ද රැගෙන බැස ගිය බවට පැවසෙන කතුන් දෙදෙනාම තවදුරටත් නිදැල්ලේය. හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.