
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන තරුණයන් ඒ සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් තම පවුලේ සාමාජිකයන්ට බැණ වැදී ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට කුමන හෝ ගැටුමක් ඇති කර ගැනිමට පෙලඹෙති. එම ගැටුම්වලින් පීඩා විඳින පවුලේ ඥාතීන් මත්ද්‍රව්‍ය පානයට මුදල් ඉල්ලා ගැටුම් ඇති කරනු ලබන පුද්ගලයන්ගෙන් බේරීමේ අරමුණින් පහර දී මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට පෙලඹීම නිසා එම පවුල්වල සාමාජික සාමාජිකාවන් විවිධ පීඩාවලට ලක්ව සිටිති.
දැඩි ලෙස ෙහරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති බෑනා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මාමණ්ඩිය බෑනාට යකඩ පොල්ලකින් හිසට පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් කඳාන පොලිස් බල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. එක් දරු පියෙකු වන බොල්ලත, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංවෙ සිටි විසිඅට හැවිරිදි එච්. හිරන්ත මිහිරාන් තිසේරා එලෙස ජීවිතක්ෂයට පත්විය. මිහිරාන් රැකියාව ලෙස නළ ළිං සවි කිරීමේ කටයුතු කළ අයෙකි.
ඉකුත් දෙසැම්බර් මස 03 වන දින පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ තොරතුරක් මත කඳාන පොලිසියේ නිලධාරීන් මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන සඳහා ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසට ගියේය. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ බෑනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත. පසුව කඳාන පොලිසියේ නිලධරයෝ මේ පිළිබඳව එම පවුලේ ඥාතීන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ.
මෙසේ ඝාතනය වූ තරුණයා සැකකරුගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මීට වසර 6කට පමණ පෙර නිවසෙන් පැන ගොස් මිහිරාන් සමඟ විවාහ වී ඇති බව හෙළි විය. එම විවාහයට මිහිරාන්ගේ මාමණ්ඩිය සහ නැන්දම්මා තදින් විරුද්ධ වී ඇති අතර පසුව දියණියට දරුවකු ලැබීමෙන් අනතුරුව පැරණි තරහ අමතක කර මාමණ්ඩිය සිය දියණිය සහ බෑනා තම නිවසට කැඳවා එහි වාසය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.
ඝාතනය සිදු කළ සැකකාර මාමණ්ඩියට ලොරි රථයක් ඇති අතර ඔහු එම ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කරමින් එයින් ලැබෙන ආදායමෙන් ජීවත්වී ඇති බවට හෙළි විය.
මියගිය හිරන්ත ස්ථීර රැකියාවක් නොකරන අතර ඔහු ඉඳහිට ලැබෙන නළ ළිං කැණීමේ කටයුතුවල නිරතව සිට ඇත. ඔහු දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බව එහිදී හෙළි විය. ඔහුට හෙරොයින් පානය කිරීමට අවශ්‍ය මුදල් නොමැති නිසා නිරන්තරයෙන්ම තම බිරිය සමඟ ආරවුල් ඇති කරගෙන ඇති අතර හෙරොයින් පානයට අවශ්‍ය මුදල් මාමණ්ඩියගෙන් ඉල්ලා දෙන ලෙස බල කරමින් බිරියට පහර දී ඇති බවද හෙළි විය. සිය බෑනාට ස්ථිර රැකියාවක් නොමැතිකමත් ඔහු දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති නිසා එම පවුලට අවශ්‍ය වියදම් පවා මෙම සැකකාර මාමණ්ඩිය විසින් ලබා දී ඇති බව එහිදී හෙළි විය.
මිහිරාන්ට ස්ථිර වාසස්ථානයක් නොමැති නිසා සැකකරු විසින් ඔහු සහ තම දියණිය තම නිවසේ පදිංචියට ගෙන්වාගෙන ඇති බව එහිදී හෙළි විය. මෙම සිද්ධිය වූ දින හිරන්ත සිය බිරියගෙන් හෙරොයින් පානයට අවශ්‍ය මුදල් ඉල්ලා ගැටුමක් ඇති කරගෙන තිබේ. පසුව හිරන්ත බිරියට පහර දීමට තැත්කර ඇති අතර එහිදී බිරිය ඉන් බේරීමට නිවසින් පිටවගොස් සැඟව සිට ඇත. එහිදි දැඩි ලෙස කෝපයට පත් වූ හිරන්ත නිවසේ සිටි මාමණ්ඩියට බැණ වැදී ඔහු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවද පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය විය.
එහිදී හිරන්ත සිය මාමණ්ඩියට පහරදී ඇති අතර, ගුටි බැටවලින් බේරීම සඳහා මාමණ්ඩිය හිරන්තට යකඩ පොල්ලකින් හිසට පහරදී ඇති බව පොලිසියට අනාවරණය විය. එහිදී බරපතළ තුවාල ලැබූ හිරන්ත එම නිවස තුළ ලේ පෙරාගෙන වැටී ඇත. ඔහු රෝහල් ගත කිරීමට නිවසේ අයෙකු නොමැති වීම නිසා ඔහු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ගෙන යාමට ප්‍රමාද වී තිබේ.
මේ ඝාතනය සම්බන්ධව පොලිසිය වැලිසර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබේ. අනතුරුව වැලිසර වැඩබලන මහේස්ත්‍රාත් දිනුෂි පෙරේරා මේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණු මිහිරාන්ගේ සිරුර ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ විසින් පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළාය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයා මිහිරාන්ගේ සිරුර සම්බන්ධව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ මිහිරාන්ගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවය.
හිරන්ත සහ සැකකාර මාමණ්ඩිය අතර බැණ වැදී ආරවුලක් ඇති වූ අවස්ථාවේ මෙම ගැටුම විසඳීමට උදවු කරන ලෙස ඉල්ලා මිහිරාන්ගේ බිරිය අවට නිවැසියන්ගෙන් උදවු ඉල්ලා කෑගසා තිබේ. එහිදී නිවස අවට පදිංචිකරුවන් එම ගැටුම බේරීමට එක්රොක්වී ඇති බව එහිදී හෙළි විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීමකදී මිහිරාන් එම නිවැසියන් සමඟ නිතර ආරවුල් ඇති කර ගන්නා බව හෙළි විය.
මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිය වන බොල්ලත, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් වන එම්. ඒ. කුසලානි ශශිකලා පොලිසියට ප්‍රකාශයක් දුන්නාය.
ඝාතනයට සම්බන්ධ 58 හැවිරිදි සැකකාර මාමණ්ඩිය කඳාන පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුව ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. ඝාතනයට යොදා ගත් බවට සැක කරන යකඩ පොල්ල ද සැකකරුගේ ප්‍රකාශ මත නඩු භාණ්ඩ ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි. සැකකාර 58 හැවිරිදි මාමණ්ඩිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත ෙකරිණි.
කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවලගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාගර ජයලත්, උප පොලිස් පරීක්ෂක තිවංක, සැරයන්වරුන් වන (36589) තිලකරත්න, (61279) අධිකාරි, (6296) මහේෂ්, (27903) කරුණාරත්න, (43309) නිරෝෂන්, කොස්තාපල්වරුන් වන (37072) ලක්ෂාන්, (99262) තාරුක, (69815) සඳරුවන්, (18663) සුදුසිංහ යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.