
කුඩුකාරයන් නිසා මේ වන විට මහමඟ ගමන් කිරීම මහජනයාට අවදානමක් ඇති කරවන තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත.
විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට කනකර පැලඳ මඟතොට ගමනනම් ඉතාම අවදානමකි. පසුගිය 5 වැනිදා පෙරවරුවේ කහතුඩුව පොලිස් වසමේදීද මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ රන් මාලයක් කුඩුකාරයන් දෙදෙනකු විසින් කඩාගෙන පලා යන ලදී. කහතුඩුව සහ හෝමාගම පොලිස් ස්ථානවල නිලධාරින්ගේ ක්‍රියාත්මක වීමෙන් පැය දෙකක් වැනි කෙටි කාලයකදී එම කුඩුකාරයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය. මේ සිද්ධිය පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.
නිල්මිණි 24 හැවිරිදිය. ඇය පදිංචිව සිටියේ කහතුඩුව පොලිස් වසමේ ‘සිටි ඔෆ් ලයිෆ්‘ නිවාස සංකීර්ණයේයි. පසුගිය 5 වැනිදා පෙරවරුවේ රැකියාවට ගිය ඇය හදිසි අසනීප තත්ත්වයක් නිසා කාර්යාලයේ සිට නැවත සිය නිවෙසට යාමට පිටත් වූවාය. රැකියා ස්ථානය සහ නිල්මිණිගේ නිවෙස අතර වැඩි දුරක් නැත. වේලාව පෙරවරු 8.40ට පමණය. ඇය ඒ වන විට නිවෙසට ආසන්න වෙමින් සිටියාය. නිල්මිණි පා ගමනින් කුඩයද ඉහළාගෙන ‘සිටි ඔෆ් ලයිෆ්‘ නිවාස සංකීර්ණයේ කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියාය.
එක්වරම යතුරුපැදියක පැමිණි දෙදෙනකුගෙන් පිටුපස අසුනේ හිස් ආවරණයක් පැලඳ සිටි පුද්ගලයා ඇය අසලට පැමිණියේ පිහියක්ද එල්ලකරගෙනය. ඔහු පිහිය ඇගේ ගෙලට තබා ගෙල බැඳි රන් මාලය කඩා ගැනීමට තැත් කළේය. ඒ වන විට නිල්මිණිගේ දකුණු අතේ ඇය ඉහළාගෙන සිටි කුඩය තිබිණි. සැණින් ක්‍රියාත්මක වූ නිල්මිණි ඇගේ වම් අතේ තිබූ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කොට කොල්ලකරු තම ගෙලට පිහියක් තබා රන් මාලය කඩාගන්නා ත්‍රාසජනක මොහොත ‘සෙල්ෆි‘ ඡායාරූපයකට හසු කරගත්තේ කොල්ලකරුවාට සිතා ගැනීමටත් නොහැකි ලෙසිනි.
ඉන් නොනැවතුණු නිල්මිණි එම පුද්ගලයා රන් මාලය කඩාගෙන දිව යන ආකාරයත් යතුරුපැදියේ සිටි සෙසු පුද්ගලයාගේත් ඡායාරූප ගැනීමට තරම් එඩිතරවන්ත වූවාය. එසැණින් නිල්මිණි දිව ගියේ කහතුඩුව පොලිසියටය.
“සර්... මගේ පවුම් දෙකේ මාලේ හොරු කඩාගත්තා... මේ දැන් බයික් එකකින් ආපු දෙන්නෙක් සිටි ඔෆ් ලයිෆ් එකේදී... හැබැයි සර්... මං ඒ වෙලාවෙ ෆෝන් එකෙන් උන්ගේ පොටෝ ටිකක්නම් ගහගත්තා...“ යැයි ඇය පොලිස් නිලධාරින්ට කොල්ලකරුවන් ගැන තොරතුරු පොලිසියට පවසමින් කොල්ලකරුවන්ගේ එම ඡායාරූප කිහිපයද ‘වට්ස්ඇප්‘ ඔස්සේ පොලිස් නිලධාරින්ගේ ජංගම දුරකතන වෙතද යොමු කළාය.
අනතුරුව කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල හේරත් ඇතුළු කණ්ඩායම එම මාල කොල්ලය පිළිබඳව ක්ෂණිකවම විමර්ශන ඇරැඹුවේ කොල්ලය සිදුවූ ප්‍රදේශයේ අවට සීසීටීවී කැමරා දර්ශනද පරීක්ෂාවට ලක්කරමිනි. කොල්ලකරුවන් පලා ගොස් තිබුණේ හෝමාගම දෙසටය. ඒ අතරේ කහතුඩුව පොලිස් නිලධාරින් නිල්මිණි ලබාගත් ඡායාරූප අවට පොලිස් ස්ථානවල නිලධාරින්ටද යොමු කෙළේ ක්ෂණිකවය.
එහිදී කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකු එම ඡායාරූප හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ 92504 කොස්තාපල් රොෂාන්ටද යොමුකොට තිබිණි. ඒ වන විට කොස්තාපල් රොෂාන් සිටියේ රාජකාරි කටයුත්තක් සඳහා මිරිහාන පොලිසියට ගොසිනි.
“රොෂාන්... මේ පින්තූරවල ඉන්න එවුන් දන්නව ද? මුන් දෙන්නා මේ දැන් මාලයක් කඩාගෙන ගිහින්...“ කහතුඩුව අපරාධ විමර්ශන අංශ නිලධාරියෙක් එලෙස කොස්තාපල් රොෂාන්ට දැන්වීය. ක්ෂණයෙන් එම ඡායාරූප ‘අප්ලෝඩ්‘ කරගත් කොස්තාපල් රොෂාන් ඒවා පරීක්ෂාකර බැලුවේය.
“ඔව්... මේ ඉන්නෙ ‘සජියා‘නේ... මේ මිනිහා අපේ ඒරියා එකේ දොළහේනේ ඉන්නෙ... ඕකගේ විස්තර මං දන්නවා... මං කොහොමහරි ඔය මිනිහා අල්ලලා දෙන්නම් “ යැයි පවසමින් කොස්තාපල් රොෂාන් සිය දුරකතනය විසන්ධි කළේ ඔහුට හෝමාගම අපරාධ විමර්ශන අංශ නිලධාරියකුගෙන් ඇමතුමක් පැමිණි හෙයිනි. ඒ වන විට හෝමාගම අපරාධ විමර්ශන අංශ නිලධාරි කණ්ඩායමක් මොරගහහේන මාර්ගයේ පිහිටි සුවපුබුදුගම නිවෙසක පදිංචි හර්ෂ මධුෂංක හෙවත් අරාගේ සොයා එම නිවෙසට ගොස් සිටියේය. අවිවාහක පුද්ගලයකු වන අරා දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඔහුට එරෙහිව මහාධිකරණයේ මත්ද්‍රව්‍ය නඩු පහක්ද පවතී. මහාධිකරණ නඩුවකට බන්ධනාගාරගතව සිටි අරා ඇප මත මුදා හැරීමෙන් පසුව පැමිණ තිබුණේ මීට සතියකට පමණ පෙරදීය. එසේ බන්ධනාගාරයෙන් පැමිණි අරාට පැවැති වරෙන්තුවකට ඔහුව අත්අඩංගුවට ගැනීමට පසුගිය 5 වැනිදා පෙරවරුවේ හෝමාගම අපරාධ විමර්ශන අංශ නිලධාරින් අරාගේ නිවෙසට ගියේය. එම නිවෙසේ සිටින්නේ අරා සමඟ ඔහුගේ මව්පියන් සහ සීයාය. පොලිස් නිලධාරින් යන විට නිවෙසේ සිටියේ අරාගේ මවය.
“කෝ... අරා...“ පොලිස් නිලධාරියෙක් මවගෙන් විමසීය.
“දැන්නම් ගෙදර නෑ සර්... කොහේදෝ ගියා සජිත් එක්ක... සජිත් හැම තැනම යනකොට ගෑනු කෙනෙකුත් මේ ගෙදර නවත්තලා යනවා... ඒ ගෑනි අපට මහ පුදුම වධයක් දෙන්නෙ... ඒකී කුඩුත් ගහනවා... අපේ එකා විනාශ කරන්නෙත් ඕකුන් තමයි සර්...“
මත්ද්‍රව්‍යවලට දැඩි සේ ඇබ්බැහිව සිටින සජිත්ගේ අනියම් බිරියක වන ඇය එම නිවෙසේ සිටින හෙයින් දෙදෙනා කොයි මොහොතක හෝ නිවෙසට පැමිණේ යැයි පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේය. අනතුරුව පොලිස් නිලධාරින් එකී කත පොලිස් බාරයට ගෙන නිවෙසේ රැඳි සිටියේය. මඳ වේලාවක් යද්දී යතුරුපැදියකින් නිවෙසට පැමිණි සජිත් සහ අරා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු පිහියක් ගෙන පොලිස් නිලධාරින් සමඟ ආරවුලකට සැරැසිණි. අරා සමඟ සජිත් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් ඒ අතරේ රොෂාන්ට ඇමැතුමක් ගත්තේය.
“රොෂාන් අපි අරාලගේ ගෙදර ඉන්නෙ... මේ දැන් සජියයි අරයි දෙන්නම ගත්තා...“ ඒ වන විට හෝමාගම එම පොලිස් කණ්ඩායම කහතුඩුව පොලිස් වසමේ සිදුවූ රන් මාල කොල්ලය ගැන දැන සිටියේ නැත.
“ඔතන සජියත් ඉන්නවද... කහතුඩුවෙන් මේ දැන් මට පොටෝ වගයක් එව්වා... සජියා කහතුඩුවේ ගෑනු කෙනෙකුගේ මේ දැන් මාලයක් කඩාගෙන ගිහිල්ලා...“ කොස්තාපල් රොෂාන් සැණින් කහතුඩුවෙන් ලද ඡායාරූප සජිත් සහ අරා අත්අඩංගුවට ගත් එම පොලිස් කණ්ඩායමටද යොමු කෙළේය.
ඒ සමඟම හෝමාගම පොලිසියට රැගෙන ආ සජිත් සහ අරාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ හෝමාගම වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම්ගේ උපදෙස් මත කහතුඩුවේ රන් මාල කොල්ලය පිළිබඳවය.
මත්කුඩු පිපාසයෙන් සිටි මේ දෙදෙනා පස් වැනිදා පෙරවරුවේ යතුරුපැදියකට නැඟි ගොස් තිබුණේ කුමන ඉසව්වකදී හෝ කොල්ලයක් සිදුකර මත්කුඩු ලබා ගැනීමට මුදල් සොයා ගැනීමටය. එලෙස කහතුඩුව ප්‍රදේශයට යද්දී නිල්මිණි දුටු දෙදෙනා ඇගේ රන් මාලය කඩාගෙන තිබිණි. එහිදී පිහිය පෙන්වා රන් මාලය කඩාගෙන තිබුණේ සජිත් විසිනි. පසුව දෙදෙනා රන් මාලය රැගෙන ගොඩගම දෙසට ගොස් එහි රජයේ බැංකුවකට රන් මාලය උකස් කර තිබුණේ රුපියල් ලක්ෂයකටය.
අනතුරුව මේ දෙදෙනා හෙරොයින් ග්රෑම් 5යි මිලිග්රෑම් 200ක් සහ ග්රෑම් 5යි මිලිග්රෑම් 450ක් ලෙස එම මුදලින් හෙරොයින් ග්රෑම් 10යි මිලිග්රෑම් 650ක්ද රැගෙන පැමිණියේ අරාගේ නිවෙසටය. ඒ වන විට නිවෙසට පොලිසිය පැමිණ සිටි බවක් මොවුන් දැන සිටියේ නැත. නිවෙසට පැමිණි සජිත්, අරා, සහ සජිත්ගේ අනියම් බිරිය අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම නිසාය. පසුව කොස්තාපල් රොෂාන් කී තොරතුර අනුව ඊට පැය දෙකකට පමණ පෙරදී මොවුන් සිදුකළ රන් මාල කොල්ලයේ සියලු තොරතුරු එලෙස අනාවරණය කරගත්තේ රන් මාල කොල්ලයට යොදාගත් පිහිය සහ යතුරුපැදියද සමඟිනි. ඊට අමතරව රන් මාලය උකස් කළ රිසිට්පතද දෙදෙනා සන්තකයේ තිබියදී සොයා ගැනිණි.
හෝමාගම, පිටිපන, දොළහේනේ පදිංචි සජිත් 31 හැවිරිදි වියේ පසුවන දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඔහු පුනරුත්ථාපනයට යොමුකොට පැමිණ මාසයකි.
නිත්‍යානුකූල බිරියගෙන් වෙන්ව සිටින සජිත් මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිවූ කතක සමඟ අනියම් ඇසුරක් පවත්වන තැනැත්තෙකි. පැය දෙකක් වැනි කෙටි කාලයකදී රන් මාල කොල්ලයට අත්අඩංගුවට පත් දෙදෙනා සමඟ සජිත්ගේ අනියම් බිරිය හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ප්‍රියංකර සහ හෝමාගම වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම්ගේ මෙහෙයවීමෙන් කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල හේරත් යන නිලධාරිහු විමර්ශන සිදු කරති.