සුපිරි වෙළෙඳසල්වලින් බඩු උස්සන අක්ක නඟෝ කල්ලියේ පස්දෙනාම දැලේ | සිළුමිණ

සුපිරි වෙළෙඳසල්වලින් බඩු උස්සන අක්ක නඟෝ කල්ලියේ පස්දෙනාම දැලේ

කෙනෙකුට වැඩි වශයෙන් පිහිටන්නේ පරම්පරාවෙන් ලැබෙන දේය. මවුපියන් විසින් සුළුවට කරගෙන ආ ව්‍යාපාර වැඩිදියුණු කරගෙන ධනවතුන් බවට පත් වූ පුද්ගලයන් බොහෝය. යම්කිසි කර්මාන්තයක් වුවත් එසේය. පරම්පරාවෙන් පරම්පරාවට එය රැගෙන යන්නේ එලෙසිනි. මේ කතාවද පරම්පරාවෙන් ලැබුණ 'උරුමයක්' පිළිබඳව ගෙතුණු එකක් වුවත් එය එසේ මෙසේ කතාවක් නම් නොවේ. ව්‍යාපාරයක් වුවත් එය අදහාගත නොහැකි ව්‍යාපාරයක් වීම විශේෂය. එනම් සුපිරි වෙළෙඳසල්වලින් මිල අධික බඩු සොරා ගැනීමේ ව්‍යාපාරයයි. මෙය හවුල් ව්‍යාපාරයක් වන අතර එකම පවුලේ සාමාජිකයන් හතර දෙනකුගේ සහභාගිත්වයෙන් සිදු වුවකි.

සියල්ලන්ම විවාහකයන් වන මේ කල්ලියේ වැඩිමලී 55 හැවිරිදිය. ඇය සිටින්නේ අගනගරයේය. 53 හැවිරිදි මල්ලිත් අවුරුදු 51 හා 49 වයස් වල පසුවෙන නංගිලා දෙදෙනාත් සිටින්නේ පාණදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේය.

"අපි වැඩ කරන්නෙ කොළඹ ගෙවල්වලනෙ. රෙදි හෝදනවා ගේ අතුගානවා. මල්වලට වතුර දානවා වගෙ පොඩි පොඩි වැඩ තමයි කරන්න තියෙන්නෙ. ඉතිං ඒ නෝනල සන්තෝෂෙන් අපිට තෑගි විදියට දීපු බඩු තමයි මේවා. ඇස්වහක් කටවහක් නෑ කොච්චර ගණන් වුණත් කිසි ලෝබකමක් නැතුව අපිට දෙන එකම මදෑ."

තමන් සතුව ඇති සස්ටජන්, කිලෝ එකේ කජු පැකට්, සැමන් ටින් වැනි මිල අධික ආහාර ද්‍රව්‍ය ලැබුණු ආකාරය පිළිබඳව මේ නංගිලා අසල්වැසි මිතුරියන් දැනුම්වත් කරන්නේ කට කොනකට නගා ගත් ආඩම්බර හිනාවක් ද සමඟය.

තුන්වැනි සාමාජිකාවගේ සැමියා කාලයක් තිස්සේ කළේද මේ රැකියාවය. එහෙත් දැන් ඔහු එයින් විශ්‍රාමගෙන සිටින්නේ සිය බිරියට එය වැඩිදියුණු කරගෙන යාමට ඉඩ ලබා දෙමිනි.

"දැ ඉතිං අපි හතර දෙනා මේ වැඩේට බහිමු."

යෝජනාව ලොක්කිගෙනි. බාලයෝ අත්පුඩි ගසා එය අනුමත කළේ වැඩේට සුදුසු ඇඳුමක්ද සකස් කරගත යුතු බවට අදහස් ඉදිරිපත් කරමිනි.

ඉණට සහ දණහිසට ඉහළින් හොඳින් හිර වෙන ලෙසට ඉලාස්ටික් දැමු ඉඩ ඇති කළු කලිසම් තුනක් මේ අය මසා ගන්නේ ඒ අනුවය. ඊට උඩින් දිග රැලි වැඩියෙන් ඇති සායක් ඇඳගන්නා අක්ක නඟාලා මල්ලි විසින් පදවන තුන් රෝදයට ගොඩ වෙන්නේ හිතට හිතුණ තැන හිතුණ වෙලාවක රෝන්දයක් ගැසීම සඳහාය.

අම්බලන්ගොඩ සිට මිගමුව දක්වා ප්‍රධාන මාර්ගයේ සැරිසරන මෙම කල්ලිය සුපිරි වෙළෙඳසල්වලින් මිල අධික භාණ්ඩ සොරකම් කරන්නේ කිසිවෙකුටත් ඇස නොගැටෙන ආකාරයටය. ඔවුන් කිසි දිනක රවුම් සීසීටීවී කැමරා සවිකර තිබෙන වෙළෙඳසල්වලට නොයන්නේ ඒවායින් හතර වටේම දර්ශනය වන නිසාය. මල්ලි තුන් රෝදයට වී කල් මරමින් සිටියදි 'අක්කා' පෙරටු කරගත් නඩය සුපිරි වෙළෙඳසලට රිංගා කූඩ තුනකට බඩු එකතු කරගන්නේ කිසිවෙකු මෙන්ම කණ්ණාඩි නොමැති මුල්ලකට ගොස් කලිසම තුළට ඒවා පුරවා ගැනීමටය. කොතරම් බඩු පුරවාගෙන ඇතත් ඔවුන් ගමන් කරන්නේ කිසිම අපහසුවක් නොමැතිව වීම විශේෂය.

එක් කාන්තාවක් කෑලි තුනට කඩන කුඩ අටක් ද, තව එකියක් සස්ටජන් ටින් හයක් ද, අනෙකා කජු කිලෝ 01 පැකට් 03 ක් ද වශයෙන් එකවර සොරාගෙන පැමිණ ඇත්තේ ඔවුන්ගේ හැකියාව මොනවට පෙන්නුම් කරමිනි. මෙලෙස සොරකම් කරන බඩු එකතු කර විකුණු මුදල බෙදා ගන්නා සිරිතක් ඔවුන් අතර නොමැති අතර තම තමන් සොරකම් කළ බඩු විකුණා ගැනීමද තමන්ටම පැවරී ඇත්තේය. එහෙයින් තමන්ට ලැබෙන මුදල තමන්ගේ බඩුවල වටිනාකම වීමද විශේෂය.

'ලොක්කි' ඇගේ සොර බඩු පුතා මඟින් මහල් නිවාසවල පදිංචිකරුවන්ට විකුණන අතර අනික් පිරිසද තමන් සොරකම් කළ භාණ්ඩ විකුණා ගැනීමට අනුගමනය කරන්නේ ද එවැනිම ක්‍රමය. අළුබෝමුල්ල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 15, 20 ගනුදෙනු වන මහා පරිමාණ බූරු පොළවල් පවත්වාගෙන යන අයට මේ අය මෙම බඩු උකස් කිරීමද සිදු කරන්නේ කිසිදු ලෝබකමක් නොමැතිවය.

ත්‍රිරෝද ගාස්තුව ලෙස පවුලේ සාමාජික පිරිමියාට එක්වරකට රුපියල් දසදාහක් හෝ පහළොස් දහසක් ගෙවීමද පැහැර නොහරින මෙම පිරිස තමන් ගොඩවන සෑම වෙළෙඳසලකින්ම බෙහෙත් පෙත්තක් හෝ රැගෙන ඒමටද කටයුතු කරන්නේ සැකයක් නොසිතෙන ලෙසය. සෑම ගමනකදීම එක් සාමාජිකාවක් හෝ රුපියල් හැත්තෑපන්දාහක් වැනි මුදලක් රැගෙන යාමද සිරිතය. ඒ යම්කිසි අයුරකින් මෙම සොරකම් අතට අසු වුවහොත් එම මුදල දී ප්‍රශ්නය ගොඩින් බේරාගෙන පැමිණීම සඳහාය.

මෝදර ප්‍රදේශයේ මහල් නිවාසවල පදිංචි වුවත් 'ලොක්කි' සිටින්නේ නිතරම නගාලා සමඟ පාණදුර ප්‍රදේශයේය. නඩය ඉස්සර කරගෙන මෙම 'ගමේ අක්කා' සිටින්නේ කොළඹ 11 රන්දිය උයන මහල් නිවාසවලය.

කාලයක් තිස්සේ හිතේ හැටියට නිදහසේ කරගෙන ගිය මෙම සෙල්ලමට ‘තිත‘ වැටුණේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ සැරයන් 40247 ප්‍රසන්නට ඔත්තුකරුවෙකු මඟින් මෙම සිද්ධිය දැන ගැනීමට ලැබීමත් සමඟය.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් චන්දන ගමගේ වෙත සිද්ධිය සැල කර සිටින ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, උප පොලිස් පරික්ෂක රුක්ෂාන් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමට මෙහි විමර්ශන කටයුතු බාර දෙන්නේ වැටලීම සඳහා අවශ්‍ය කරන උපදෙස්ද ලබා දෙමිනි. එම ඒකකයේ කොස්තාපල්වරුන් වන 84762 කුමාර, 72979 චමින්ද, 69598 අනිල්, 10648 කෞශල්‍යා, හා 11297 ලක්ෂානි සමඟ පිරිස අළුබෝමුල්ල ප්‍රදේශයට යන්නේ ඒ අනුවය. අක්කාගේත් නංගිලා සහ මල්ලිගේත් සියලු කෙරුවාවන් අවසන් වෙන්නේ ඒ අනුවය.

සොරකම් කරන ලද සැමන්, කිරිපිටි ඇතුළු බඩුවලින් රුපියල් ලක්ෂ දෙකක පමණ භාණ්ඩ ප්‍රමාණයක් සොයා ගැනීමටද හැකි වුයේත් සුපිරි වෙළෙඳසල් සුද්ධ කිරීමේ සෙල්ලමට ‘තිත‘ තැබීමට හැකි වුයේත් පොලිස් නිලධාරින්ගේ දක්ෂතාව නිසාය.

Comments