
මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් ඝාතනය කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. එම වන සතුන් මරා දැමූ පුද්ගලයන්ට අධිකරණයෙන්ද දඬුවම් නියම වීම සුවිශේෂිය. තිත් මුවකු උදැල්ලකින් පහර දී මරා දැමීමේ චෝදනාවට පුද්ගලයකුට රුපියල් 90,000 ක දඩයක් පසුගියදා ගෙවීමට නියම විය. පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් එස්.ඒ.එම්.සී. සතුරුසිංහ වරදකරු වූ අයකුට මෙම නියෝගය කළේය.
තිත් මුවකු මැරීම, උදැල්ලකින් පහර දීම සහ මරණ ලද තිත් මුවාගේ සිරුර සන්තකයේ තබා ගැනීම යන චෝදනා තුනක් යටතේ සැකකරුට මෙසේ නඩු පවරා තිබුණි. එක් චෝදනාවකට රුපියල් තිස්දහස බැගින් චෝදනා තුනට රුපියල් අනූදහසක දඩ මුදලක් ගෙවීමට අතිරේක මහේස්ත්‍රාත් මෙම නියෝග කර තිබුණි.
කරුවලගස්වැව, නෙළුම්ගම ගම්මානයේ පදිංචි හෙට්ටිපතිරුහැන්නලාගේ ප්‍රේමරත්නට මෙම දඩය නියම විය.
පුත්තලම දිසාවේ නෙළුම්ගම ගම්මානයේ බොහෝ දෙනාගෙන් ජීවිකාව ගොවිතැනයි. 'සෙල්ල කන්ද' රක්ෂිතයට මායිම්ව මෙම ගම්මානය පිහිටා තිබේ. ඒ හේතුවෙන් එම මායිමේ අලි වැටක් ද ඉදිකර ඇත්තේ රක්ෂිතයේ වන අලින් ගම්මානයට කඩා වැදීමට ඇති අවදානම හේතුවෙනි. ප්‍රේමරත්නගේ නිෙවස පිහිටා ඇත්තේද මෙම අලි වැටට ආසන්නයේය. ගොවිතැන් කිරීම, එදිනෙදා ලැබෙන කුලී වැඩක් කිරීම ඔහුගේ ප්‍රධාන ජීවනෝපායයි. ඔහු තම ඉඩමේ වගා කටයුතු පවත්වාගෙන යන්නේ කලක සිටය. ඉකුත් 28 වැනි දින කුලී වැඩක් නොලැබීම නිසා ඔහු උදය කාලයේ සිය ඉඩමේ වගා කටයුතු සිදු කිරීම සඳහා සුද්ධ පවිත්‍ර කරමින් සිටියේය.
උදෑසන 10.30 ට පමණ එක්වරම සුනඛයන්ගේ කෑගැසීමක් සමඟ විශාල මුවෙකු සුනඛයන්ගෙන් මිදීමට වේගයෙන් දිව යන අවස්ථාවේ ඉදිරියේ පිහිටි අලි වැටේ ගැටිණි. මුවා වේගයෙන් දිව ආ නිසා ඉදිරි පාදය ආබාධයකට ලක් වී කෑ ගසන්නට විය. ඒ හඬ ඇසූ ප්‍රේමරත්න ඇසිල්ලකින් එම ස්ථානයට දිව ආවේ උදැල්ල ද අතැතිවය. විදුලි වැටේ ගැටී නැඟිටීමට ආයාසයෙන් වෙර දරන මුවාට සිය අතැති උදැල්ලෙන් ඔහු වේගයෙන් පහර පිට පහර එල්ල කළේ හිත්පිත් නැත්තකු විලසිනි. ලේ විලක් මැද වැතිරී සිටි මුවා මර බියෙන් දඟලන්නට විය. මෙම සිද්ධිය දුටු අසල සිටි කාන්තාවක් එම අවස්ථාවේ කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධව සඳහන් කර දුරකතන ඇමතුමක් ලබා දීමට කටයුතු කළාය.
ප්‍රේමරත්න තමන් කළ අමන ක්‍රියාව කිසිවෙකුත් නොදකින්නට ඇතැයි සිතා උදලු පහරින් බරපතළ තුවාල ලබා සිටි මුවා අලි වැටෙන් මුදාගෙන මුවා ගේ බෙල්ල ලණුවකින් ගැට ගසා අසල පඳුරක රඳවා කිසිත් නොදන්නා සේ ඉක්මනින් ගමන් කළේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට ආසන්නයේ පිහිටි වෙෙළඳසලක් වෙතය. ඒ ඔහු සතුව ජංගම දුරකතනයක්වත් නොමැති හෙයින්ය. සිද්ධිය වුණු ස්ථානය ගැන සඳහන් කරමින් ඔහු වන ජීවී නිලධාරීන්ට ඇමතුමක් දුන්නේය.
“සර්... බල්ලො එළවද්දි උන්ගෙන් බේරෙන්න දුවගෙන ආපු විශාල මුවෙක් අලි වැටේ හැප්පිලා... ගොඩක් තුවාල වෙලා... ඉක්මනින් ආවොත් බේරගන්න පුළුවන් වෙයි. ඌට ටිකක් අමාරුයි වගේ“ ඔහුගේ දුරකතන ඇමතුමේ සඳහන් විය.
කලින් කාන්තාව විසින් ලබා දුන් දුරකතන ඇමතුමත් මෙම දුරකතන ඇමතුමත් හා සැසඳීමේ දී වනජීවී නිලධාරීන්ට සිදුවී ඇති කාරණය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම දුරකතන පණිවුඩය ලබා දීමට කලින් කාන්තාව විසින් දුරකතන පණිවිඩය ලබා දුන් පසු එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටි කරුවලගස්වැව අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ ඇතුළු කණ්ඩායමට සිද්ධිය සම්බන්ධව දැනුම්වත් කර තිබිණි.
අනතුරුව ප්‍රේමරත්න ලබා දුන් ඇමතුමේ සඳහන් දෑ ගැන ද වනජීවී දෙපාර්තමේන්තුව රාමසිංහ දැනුම්වත් කළේය. හැකි ඉක්මනින් එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන්ට දැකගත හැකි වූයේ මර බියෙන් දඟලමින් ලේ විලක් මැද වැතිරී සිටි මුවාය. උගේ හිසින් දැඩි ලෙස ලේ වහනය වෙමින් තිබිණි. මේ අතරතුර නිෙවසේ රැඳී සිටි ප්‍රේමරත්න දිවවිත් වනජීවී නිලධාරීන්ට පැවසූයේ මුවා සුනඛයන් එළවීම හේතුවෙන් අලි වැටේ ගැටී බරපතළ ලෙස තුවාල ලැබූ බවය. කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් තමන්ට ලැබුණු දුරකතන ඇමතුම් දෙකින් අසත්‍ය දුරකතන ඇමතුම කුමක්දැයි කියා දන්නා බැවින් අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කෙරිණි. ප්‍රේමරත්න මුවාට පහර දුන් උදැල්ල සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. දඟලමින් සිටි මුවාට ප්‍රතිකාර දීමට වනජීවී කාර්යාලයට රැගෙන යමින් සිටියදී මිය ගියේය.
අත්අඩංගුවට ගත් සැකකරු වනජීවී බැඳුම්කරයක් මත ඇප මත ලබා නිදහස් කර තිබූ අතර නැවත 23 දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දී තිබූ අතර ඒ අනුව සැකකරු අධිකරණයේ පෙනී සිටීමට සිදුවිය.
වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුවලගස්වැව අඩවි කාර්යාලයෙ අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ පෙනී සිටි අතර සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසිනි.