දුලාරි නිහඬ වුණා දියණිය තනි වුණා | සිළුමිණ

දුලාරි නිහඬ වුණා දියණිය තනි වුණා

 

‘‘මිනිසා සුවඳයි මල සේ... නුවණින් එළියයි හිරු සේ'' උසස් මානවයාගේ සැබෑ තත්ත්වය එබඳු වුවද ඇතැමුන් සිදු කරන්නේ අහස පොළොව නුහුල්ලන අපරාධයන්ය. ඒවා දුටු අය පමණක් නොව ඇසූ අයගේ සිත්සතන් පවා කිළිපොලා යයි. එවන් ඝාතන කිහිපයක් මෑත කාලයේ පොල්පිතිගමින් වාර්තා වුණේ ප්‍රදේශයම කම්පාවට පත් කරවමිනි.

මෙහි අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 24 වැනිදාය. එදින උදෑසන 7.15 ට පමණ තම දියණිය පාසලේ පළමුවන ශ්‍රේණියට භාර දීමට ගිය 32 හැවිරිදි වියේ පසුවන තරුණ මවක් ආපසු නිවසට යන ගමනේ දී මඟ රැක සිටි ඇ‍ගේම සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා ඇයව මහමඟදී ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ ප්‍රදේශවාසිහු කම්පාවට පත් වූහ.

එම ඝාතනය පොල්පිතිගමින් වාර්තා වූ සිවුවැනි විවාහක කාන්තා ඝාතනයයි. එම ඝාතනය සිදු කළ ඝාතකයාද සිය දිවි නසා ගැනීම සුවිශේෂීය.

ඊට පෙර මාර්ගය යාබද වෙළෙඳාම් කළ දෙදරු මවක අසල්වැසියෙක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබුණේ ඇයගේ ශරීරයේ කැපුම් තුවාල 34ක් සිදු කිරීමෙනි. ඒ මෑත කාලයේ පොල්පිතිගමින් වාර්තා වූ පළමු කාන්තා බිල්ලය. ඉන් අනතුරුව විවාහක දෙදරු මවකගේ හිසට පොරවකින් කොටා ඝාතනය කර තිබුණි. ඇයගේ ඝාතකයා වූවේද ඇයගේම විවාහක සැමියාය.

පසුව බසයෙන් බැස අත දරුවෙකු වඩාගෙන මහ දවල් තනිපංගලමේ පයින් ගිය දෙදරු තරුණ මවක දූෂණයට ලක් කිරීමට තැත් කිරීමේදී ඊට ඇය අවනත නොවීම නිසා අසල්වැසි පාපතරයෙකු ඇයගේ ගෙල කපා ඝාතනය කළේය. එම පාපතරයා ද පසුව ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබිණි.

පොල්පිතිගම පුරා දෝංකාර දුන් එය අවසානය යැයි හැමෝම සිතන්නට ඇත. එහෙත් තවත් එබඳුම ඛේදවාචකයක් ගැන නැවත අසන්නට ලැබුණි. ඒ පොල්පිතිගම, තල්පත්වැව, වඩුපළයාගම ලිපිනයේ පදිංචි ජාමිණීගෙදර දිනුෂිකා මධුෂානී තෙන්නකෝන් නමැති 32 හැවිරිදි වියේ පසුවෙන තරුණ මවක මහමග දී ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියයි.

මේ කතාව පොලිස් පොතේ ලියැවෙන්නේ මෙසේය.

දිනුෂිකාගේ සුරතල් නාමය ''දුලාරි''ය. දුලාරිට වයස අවුරුදු හයක් සපිරෙන විට ඇයට පිය සෙනෙහස හා මවු සෙනෙහස අහිමි වන්නේය. ඒ දුලාරිගේ මවුපිය දෙදෙනාම නොසිතු අයුරින් මරු වැලඳගැනීම නිසාය. මෙලොව තනි වූ දුලාරිට රැකවරණය වුණේ ඇගේ වැඩිමල් සහෝදරයාය. අයියා සහ නැඟණිය පාසල් යමින් තනිවම නිවසේ හැදීවැඩී අපොස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ සැණින් දුලාරි කො‍ළොම්පුරයේ ඇඟලුම්හලක සේවයට ගියාය. ඇගේ සහෝදරයා ද යුද හමුදා සේවයට ගියේය.

ඇඟලුම් සේවයේ නිරත වෙමින් සිටි ඇයට පෙම්වතෙකු හමුවන්නේ ඒ අතරවාරයේය. ඔහු ඉන්දිකය. ඔහු මහව පොලිස් වසමේ පදිංචිකරුවෙකි. පෙම් සබඳතාව දැනගත් දෙපාර්ශ්වයේම විරෝධතාවන් ආවත් ඊට අවනත නොවූ දෙදෙනා තනි කැමැත්තට විවාහ වූහ. දුලාරි පළමුව ඉන්දිකගේ මුල් නිවසට ගියාය. එහි සිටින අතරවාරයේ ඇති වූ ආරවුල් නිසා ඇය ඉන්දික අතහැර ඇය පදිංචිව සිටි නිවසට ආවාය. එදා අයියාට පිටුපෑ නැඟණිය අසරණ වී එන විට ඇයට පිටුපාන්නට ඔහු කටයුතු කළේ නැත. එම නිවසේ නැඟණිය වාසය කරන අතරවාරයේ ඉන්දික ද ඇය සොයා එහි පැමිණියේය. ඔහුටද එම නිවසේ රැඳෙන්නට සහෝදරයා අවසර දුන්නේය.

එලෙස කාලය ගත කරන අතරේ දුලාරිට සහ ඉන්දිකට දරු සුරතල් බැලීමේ භාග්‍යය උදා වුණි. ඇය දියණියකි. පවුල් බර වැඩි වූ නිසා ඊට මුහුණ දෙන්නට ඉන්දික හලාවත 'වත්තක' සේවයට ගියේය. එහි සිටි ඔහු නිවාඩුවට ගෙදර පැමිණ බිරියට යෝජනාවක් ගෙනාවේය. ඒ එම වත්තේ තිබෙන නිවසකට පදිංචියට යමු යන්නයි.

''ඔයාටයි... මටයි හරි අධ්‍යාපනයක් නැති නිසා අපි දුක් විඳිනවා. ඒ තත්ත්වය දුවට දෙන්න බැහැ. දැන් දුව ඉස්කෝලේ යන වයසනේ ඉන්නේ. තැන් තැන්වලට යන එකෙන් දුවගේ අධ්‍යාපනයත් කඩා කප්පල් වෙනවා.'' යැයි සැමියාට කිව් දුලාරි ඊට විරුද්ධ වුණාය.

දුවට කෑම කවන සෑම විටකම දුලාරිගේ අතින් ඉන්දිකට ද කෑම කැවීම සාමාන්‍ය සිරිතකි. එලෙස සමීපව සිටි අඹුසැමි ඇසුරට 'හෙනහුරා' පාත් වුණේ හලාවත වත්තට දියණියත් සමඟ යාමට දුලාරි නොපැමිණීම නිසා ඇති වූ ආරවුල් නිසා ඉන්දික නිවසින් බැහැර යාමත් සමඟය. මාස කිහිපයක් ගත වුවත් ඉන්දික නැවත ගෙදරට ආවේ නැත. එහෙත් දෙදෙනා අතර දුරකතන සංවාද තිබුණි. තමාගේ ඇරයුමට බිරිය අවනත නොවූ නිසා ඉන්දික පසුවූවේ බිරිය සමඟ අමනාපයෙනි.

ඉන් පසු නිවසට නොපැමිණි ඉන්දික දුලාරිගේ ගමට පැමිණියේය. ඔහු පසු දිනක උදෑසන දියණියගේ පාසල අසල රැඳී සිටියේය. ඒ තම බිරිය දියණිය රැගෙන පාසලට එන නිසාය. දියණිය පියා මාස කිහිපයකට පසුව එදින දුටුවාය. දුලාරි ද සිය සැමියා කලකට පසුව හමු වුණේ එදිනය. එහෙත් දුලාරිගේ තීරණය වෙනස් වී නැත. මේ නිසා දෙදෙනා අතරේ එතැන ඇති වූ අඬදබරය අවට අයද බලා සිටියහ. සැමියාගේ ඇරයුමට බිරියගෙන් විසඳුමක් නැති ඉන්දික ඉන් නික්ම ගියේය. ටික වේලාවකට පසුව දියණිය පාසලට දැමූ දුලාරි පාපැදියට නැගී තමාට හුරු පුරුදු මාවත ඔස්සේ තම නිවහන දෙසට ගියාය.

ටික දුරක් ගිය ඇයට ඉන්දික මඟ රැඳී සිටිනු පෙනිණි. ඔහු ඇය යන මාවත හරස් කර යතුරුපැදිය හරහා දැම්මේය. දුලාරිගේ පාපැදිය ඒ අසල නැවතුණි. ඇයට බිමට බහින්නටත් පෙර ඉන්දික ඔහු එතෙක් සඟවාගෙන සිටි 'අවිය' අමෝරා ගත්තේය. එය දුලාරිගේ ගෙල පසාරු කරගෙන ගියේය. කෙසෙල් ගසක් පැත්ත වැටෙන්නාක් මෙන් ඇය පාපැදියෙන් බිමට පතිත වූවාය. ඉන්දික නිමේෂයකින් යතුරුපැදියට නැඟී පලා ගියේය.

දුලාරි නැගූ විලාපය ඇසුණු අවට අය ඇයව පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කළේය. ඒ වනවිටත් ඇය මිය ගොස් සිටියාය. ඇගේ මරණය සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණවලින් පසුව ඇගේ අවසන් කටයුතු 26 වැනිදා පොල්පිතිගම, හත්පොකුණ පොදු සුසාන භූමියේදී සිදු කැරිණි.

ඒ අතරේ පලා ගිය ඉන්දික ද මහව පොලිස් වසමේ කෝවිල් කන්ද රක්ෂිතයේ රූස්ස ගසක ගෙල වැලලාගෙන සිටිය දී සොයා ගැනිණි. 33 වැනි වියේ පසු වූ ඉන්දිකගේ අවසන් කටයුතු ද 28 වැනිදා ඉහළගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණි. තම මවත් පියාත් අහිමි වූ හය හැවිරිදි දියණියට මේ වන විට එකම සරණ ඇගේ මවගේ සහෝදරයා පමණි. දෛවයේ සරදමක් මෙන් දියණියගේ මව දුලාරිද මවුපියන් අහිමි වීමෙන් පසු ඇතිදැඩි කර තිබුණේ දියණියගේ මෙම මාමා විසිනි.

වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්තගේ උපදෙස් මත නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් මහව වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් චාමින්ද, පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රබුද්ධ කුලතුංග ඇතුළු පොල්පිතිගම හා මහව පොලිස් කණ්ඩායම් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරති.

 

Comments