කඳුළෙන් නිම වූ විනෝද චාරිකාව | සිළුමිණ

කඳුළෙන් නිම වූ විනෝද චාරිකාව

මෙලන් අයේෂ් සිසුවා වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂයෙක්

ක්ලාස් එකේ ට්‍රිප් එක ගිය මෙලන් අයේෂ්ගේ සිරුර පිහිනුම් තටාකයේ

යම් කෙනෙක් අලුත් පරිසරයක අත්දැකීම් ලබන අවස්ථාවක ඇතැම් විට අනතුරු සිදුවිය හැකිය. තමා දන්නා පරිසරයක බොහෝ විට එවැන්නක් සිදුවීමේ අවදානම අවමය. එවැනි ස්ථානවලට අනවධානයෙන්, නොසැලකිල්ලෙන් යොමුවීම නිසා අනතුරු සිදු වේ. පසුගිය දීර්ඝ සති අන්තයන්හිදී මෙරට බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබුණේ දියේ ගිලීම් සහ අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට ගොස් සිදුවූ මාරක අනතුරු පිළිබඳවයි. පවුලේ සාමාජිකයින්, නෑ හිතවතුන් හෝ හිත මිතුරන් සමඟ යන විනෝද චාරිකාවක දී සමීපතමයකු නොමැතිව යළි නිවෙස් බලා එන්නට සිදු වුවහොත් එය කෙතරම් ඛේදනීය ද?

නොසිතූ මොහොතක එවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන් සඳලංකාව ගලගෙදර ප්‍රදේශවාසීහු තවමත් කම්පාවට පත්ව සිටිති. ඒ ඉකුත් 02 වැනි දින පාසල් දරුවකු පිහිනුම් තටාකයක ගිලී මිය යෑමේ සිද්ධියකිනි. මෙලෙස මිය ගියේ සඳලංකාව ගලගෙදර පදිංචි 14 හැවිරිදි දලුවත්තගේ මෙලන් අයේෂ් පෙරේරා නමැති සිසුවාය. ඔහු සඳලංකාව මධ්‍ය මහා විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

වසර අවසානයේ රජයේ පාසල්, පෞද්ගලික පාසල් අධ්‍යාපන චාරිකා, සුහද හමු ඇතුළු විවිධ වැඩසටහන් සංවිධානය කරති. දරු දැරියන් අධ්‍යාපන කටයුතුවලට යොමු වීමෙන් ඇතිවන මානසික පීඩනයෙන් මිදීමට මෙවැනි චාරිකාවන් සුහද හමු සංවිධානය කිරීම සාමාන්‍ය සිද්ධියකි.

මේ අනුව පන්නල මාකඳුර ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක එක් දිනයක් පමණක් විනෝදයෙන් කාලය ගත කිරීමට යෝජනා විය. මෙම විනෝද ගමන යාමට සති දෙකකට පමණ පෙර සාකච්ඡා කෙරිණි. මේ සඳහා සිසු සිසුවියන්ගේ හා දෙමාපියන්ගේ විවිධ යෝජනා ඉදිරිපත් විය. මෙහිදී ‍ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යාමට යෝජනා වුවත් පවතින තත්ත්වය හමුවේ එය අසීරු කටයුත්තක් බව බොහෝ දෙනාගේ අදහස විය. අදාළ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා විසින් දරුවන් මෙම අවස්ථාවට සහභාගි වන බව කැමැත්ත පළ කරමින් ලිපියක් ලබා දෙන මෙන්ද මවුපියන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අනුව සියලුම මවුපියන් ඊට එකඟ විය. ඉන් අනතුරුව මෙම විනෝද ගමන සංවිධාන කෙරිණි. ඒ නිසාම බහුතරයගේ කැමැත්ත වූයේ වැඩි ඈතක නොගොස් ආසන්න ප්‍රදේශයේ කිසියම් ස්ථානයක් තෝරාගෙන එහි විනෝද වීමට අවස්ථාව සලසා දෙමු යන්නයි.

එහිදී ළමුන්ගේ ඉල්ලීම වූයේ ක්‍රීඩා කිරීමට ද අවශ්‍ය පහසුකම් ඇති ස්ථානයක සහ පිහිනුම් තටාකයක් තිබෙන හෝටලයක විනෝදයෙන් දවස ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසය.

වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ විශාල භූමි ප්‍රදේශයක පිහිටි සිත් ඇදගන්නා ආකර්ෂණීය ස්ථානයක් තෝරා ගත්තේ ඒ අනුවය.

පසුගියදා කතිකා කරගත් පරිදි උදෑසන 6 ට පමණ සියලු දෙනා අධ්‍යාපන ආයතනය වෙත පැමිණියහ. ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් මවුපියන් අට දෙනකු සහ දරුවන් අනූ එක් දෙනෙක් මෙම ගමන සඳහා සූදානම් ව සිටියහ. අයේෂ් පෙරේරා නමැති සිසුවා එම ස්ථානයට රැගෙන ආවේ ඔහුගේ මවය. ඒ ඔහුගේ පියා එදින උදෑසනම සේවය සඳහා පිටත් ව ගොස් තිබූ නිසාය. නිවෙසෙන් බැහැරව යන සෑම අවස්ථාවකම මවුපිය ආශිර්වාදය ලබා ගන්නා අයේෂ් සිසුවා පැමිණ බස් රථයට ගොඩ වීමට පෙර මවගේ දෙපා වැඳ ආශීර්වාද ලබා ගැනීමට අමතක නොකළේය.

“මගේ සුදු පුතා හොඳින් ගිහින් එන්න. පරිස්සමෙන් යාළුවොත් එක්ක ඉන්න” යැයි කියා ඔහුගේ මුහුණ සිප ඇයගේ ආශිර්වාදය ලබා දුන්නාය. බස් රථයට ගොඩ වී බස් රථය පිටත් වන තුරු ඇය බලා සිටියේ සුළු මොහොතකට නුහුරු නුපුරුදු පරිසරයකට තමන්ගෙන් වෙන්ව යන නිසාවෙන්ය.

මවගේ සහ පුතුගේ අවසන් හමුව ඒ අවස්ථාව යැයි කිසිවකුවත් නොසිතන්නට ඇත. දරුවන් බසයට ගොඩ වීමට පෙර රැගෙනා ආ සියලුම බෑග් පරීක්ෂා කර බැලීමට ආචාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි. ඒ අනුව ඔවුන් සියලු දෙනාම උදෑසන හත පමණ වන විට එම ස්ථානය වෙත පිටත් විය.

උත්සව ශාලාවට පැමිණ උදෑසන ආහාර ගැනීමෙන් පසු කණ්ඩායම් වශයෙන් සංවිධානය වී ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු කැරිණි. මේ අතරතුර ප්‍රථමයෙන් 11 ශ්‍රේණියේ සිසුහු පිහිනුම් තටාකයේ දිය නෑමට සූදානම් වී ඒ බව ආචාර්ය මණ්ඩලයට සැල කළහ. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මවුපියන් දෙදෙනෙක් ද ඒ ආසන්නයේ රඳවා තැබීමට කටයුතු කැරිණි. 11 ශ්‍රේණියේ සිසුන් දොළොස් දෙනකු පිහිනුම් තටාකය වෙත ගොස් විනෝද වන අතරතුරදී අයේෂ් සිසුවා ඔහුගේ වාරය පැමිණීමටත් පෙර පිහිනුම් තටාකයට ගියේ ආසන්නයේ සිටි සියලු දෙනාගේම දෑස්වලට අසු නොවීය.

මඳ වේලාවකට පසු එම ස්ථානයට පැමිණි සිසුන් කීප දෙනෙක් 'මෙලන් අයේෂ්' සිසුවා දියේ ගිලී සිටිනු දැක කෑ ගැසූහ. අනතුරුව දෙමවුපියන් සහ හෝටලයේ අය පැමිණ ඔහුව ගොඩට ගැනීමට කටයුතු කරන ලදි. අවශ්‍ය හදිසි ප්‍රතිකාර දීමට ද ආචාර්ය මණ්ඩලය කටයුතු කර ලුණුවිල ප්‍රාදේශීය රෝහලට කඩිනමින් ඔහු රැගෙන යන ලදි. එහෙත් ඒ වන විටත් අයේෂ් සිසුවා තම අවසන් සුසුම් වාතලයට මුසු කර තිබුණේ සියලු දෙනාම කම්පාවට පත් කරමිනි.

මෙලන් අයේෂ් පෙරේරා සිසුවා දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඔහුගේ නැඟණිය වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. මෙලන් අයේෂ් කාගෙත් හිත් දිනාගත් අයෙකි. ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටත් ඔහු ඉතා දක්ෂය. අඩි පහයි අඟල් හයක් උස මෙලන් අයේෂ් වොලිබෝල් ක්‍රීඩාවට අතිදක්ෂයෙකි. ඔහුගේ හදිසි වියෝවෙන් විද්‍යාලයේ සිසුන්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාව මහත් කම්පාවට පත්ව සිටිති.

මියගිය සිසුවාගේ මව වන අචිනි උදේශිකා රන්දුනු මෙසේ කීවාය.

“මේ ගමන යන්න කැමැත්ත පළ කරලා ලියුමක් දෙන්න කියලා පංතියෙ ගුරුවරයා අපට දැනුම් දීලා තිබුණා. ඉතින් මේ ගොල්ලො පහුගිය කාලේ අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා දැඩි වෙහෙසක් තියෙන නිසා මහත්තයත් එක්ක කතා කරලා අපි ඒ ලියුම දුන්නා. උදේ පාන්දර ආයතනයට ගිහින් දැම්මෙත් මමයි. ඒ වෙලාවෙ මහත්තයා වැඩට ගිහිල්ලා හිටියේ. මගේ පුතා ඉගෙන ගන්න ගොඩක් ගොඩක් දක්ෂයි. දුවත් එහෙමයි. ඉතින් එයාගේ ආසාවට අපි ඉඩ දුන්නා. ඒත් මං හීනෙකින්වත් හිතපු නැති ටෙලිෆෝන් කෝල් එකක් ආවා දවල් එකට විතර ක්ලාස් එකේ ටීචර් කෙනකුගෙන්. ‘පුතා පිහිනුම් තාටාකේ නාන්න ගිහිල්ලා ගිලිලා ටිකක් අමාරුයි‘ කියලා. මට හිතාගන්නත් බැරුව ගියා. මම එතැනට යනකම්ම මොනවත් වෙලා නෑ කියලා තමයි හිතුවේ. ඇයි දෙයියනේ මගේ පුතා අරන් ගියේ කවුද? මගෙ රත්තරන් පුතා නැතුව ජීවත් වෙන්නේ කොහොමද?“ මව ඇඬූ කඳුළින් කීවාය.

සිද්ධිය ඇසින් දුටු සිසුවෙක් කීවේ මෙවැනි කතාවකි.

අපි උදෙන්ම ක්ලාස් එකෙන් පිටත් වුණා. අපි ඇවිල්ල ක්‍රිකට් ගහලා විනෝද වෙලා ඊට පස්සේ දවල් 12 ට විතර සර්ගෙන් ඇහුවා ස්විමින් පූල් එකේ නාන්නද කියලා. ඊට පස්සේ අපිට අවසර ලබා දුන්නා. අපි එතනට ගිහිල්ලා ටිකක් වෙලා යනකොට මම දැක්කා මෙලන් අයේෂ් වතුරේ ගිලිලා ඉන්නවා. ඊට පස්සේ මම එකපාර කෑගහුවා. පස්සේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එයා නැති වෙලා කිවුවා. ඉතින් අපි එක්ක හිටපු අයේෂ් අපෙන් වෙන් වීම අපිට දරාගන්න බැහැ.“

මාරවිල අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ ලුණුවිල රෝහලට පැමිණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහ රෝහල වෙත යොමු කිරීමට වෙන්නප්පුව පොලිසියට නියෝග කළේය. ඒ අනුව හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දියේ ගිලීම නිසා සිදුවී ඇති මරණයක් බවට ප්‍රකාශ කර වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යොමුකරන මෙන් නියෝග කළේය.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි සටහන් කිරීම වෙන්නප්පුව පොලිසියේ පොලිස් සැරයන් 55530 ජනක බණ්ඩාර රාජපක්ෂ කටයුතු කළේය. වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

 

Comments