
- මෙරට අපරාධ ඉතිහාසය උඩු යටිකුරු කළ විශාලම කප්පම් මුදල
- විමර්ශන කණ්ඩායමේ සැලසුමට වික්‍රමසිංහ මහත්මියගේ දැඩි විරෝධය
දෙදහස වසරේ මාර්තු 30 වැනිදා ශ්‍රී ලාංකේය අපරාධ ඉතිහාසයට සුවිශේෂී දිනයකි. සුප්‍රකට ධන කුවේරයකු වූ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති ජී.සී. වික්‍රමසිංහ අපරාධ කල්ලියක් විසින් පැහැර ගෙන යෑම මෙන්ම ඔහු මුදා හැරීමට මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉල්ලූ විශාලම කප්පම් මුදල වූ රුපියල් ලක්ෂ 200ක් ඉල්ලා සිටීම එදින සිදු වූයේ අපරාධ ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමිනි. කොළඹ උසස් පොලිස් නිලධාරීන් පමණක් නොව ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයින් ද බියට පත් කළ මේ සිදුවීම ඉක්මනින් විසඳා ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසියට ද විශාල අභියෝගයක් විය.
කොළඹ වෝඩ් පෙදෙසේ සුවිසල් මන්දිරයක වාසය කළ වික්‍රමසිංහ ඒ වන විට 74 වැනි වියේ පසු විය. ඔහුගේ බිරිය වූයේ සුප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ සොයුරිය වූ අයෝමා කොතලාවලයි. දිනපතා අලුයම තම නිවසේ සිට බොරැල්ල කනත්ත පිටුපස පිහිටා ඇති කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයට ගොස් පැය කිහිපයක් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම ඔහුගේ දින චර්යාවේ සුපුරුදු අනිවාර්ය අංගයකි. දිනය මාර්තු 30 වැනිදාය. එදින ද උදෑසන 5.30ට පමණ ඔහු තම නිවෙසින් පිටවන්නේ තමා යටතේ දිගු කාලයක් සේවය කළ තම රියදුරු චන්ද්‍රසේන ද සමඟිනි. ඒ අංක 61 -9020 දරන තම සුඛෝපභෝගී ලෑන්ඩ් කෘසර් රථයෙනි. උදෑසන 5.30ට නිවෙසින් පිටත්වන ඔහු උදෑසන 9 වන විට නොවරදවාම නැවත පැමිණීම ද සිරිතයි. පෙ.ව. 9 වන විට පැමිණෙන තම සැමියා එදින පෙ.ව.10.30 පසුවනතුරුත් නොපැමිණීමෙන් කලබලයට පත්වූ අයෝමා තම සැමියාගේ දුරකතනය ඇමතූ නමුත් එයින් ප්‍රතිචාරයක් නොවිණි.
නැවත නැවත උත්සාහ කිරීමේදී අසන්නට ලැබුණේ එය ක්‍රියා විරහිත කර ඇති බවයි. එම ප්‍රතිචාරයෙන් බොහෝ සේ කලබලයට පත් වූ ඇය තම සැමියාගේ සමීපතම මිතුරන් ඇමතුවද ඔවුන්ගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොවීය. සිද්ධිය සැලවීමෙන් පවුලේ ඥාතීන් ද වැල නොකැඩී වෝඩ් පෙදෙසේ පිහිටි වික්‍රමසිංහ නිවසට පැමිණෙන්නට වූයේ තම ඥාතියාට කුමක් වූයේ ද යන්න සොයා බැලීමටය. ලලිත් කොතලාවල ද තම සමීපතමයන් කිහිප දෙනකු හා කළ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළේ මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ යුතු බවයි. වික්‍රමසිංහ නිවස මෙසේ දැඩි කලබලයෙන් පසු වෙද්දී හරියටම එදින දහවල් 1.30ට පමණ වික්‍රමසිංහ බිරියගේ ජංගම දුරකතනයට ඇමතුමක් දුන් අයකු කියා සිටියේ වික්‍රමසිංහ නිරුපද්‍රිතව තමා සමඟ සිටින බවත් ඔහු නිදහස් කිරීමට නම් රුපියල් ලක්ෂ 20ක කප්පමක් අවශ්‍ය බවත්ය. දැඩි කලබලයත් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරා තිබීමත් නිසා එතුමියට රු. ලක්ෂ 20ක ප්‍රමාණය එක එල්ලේම අවබෝධ කරගත නොහැකි වීමෙන් නැවතත් විමසා ඇත්තේ ලක්ෂ 20ක්ද මිලියන 20ක් ද යන්නයි. ලද අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ කප්පම්කරුද ක්ෂණයෙන් කියා ඇත්තේ මිලියන 20ක් බවයි.
“කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ලක්ෂ 200ක් කප්පම් ඉල්ලයි“
සිද්ධියෙන් පසුදින සියලුම දිනපතා පුවත්පත්වල ප්‍රධාන සිරස්තල සැකසුණේ මෙම කප්පම් සිද්ධිය අළලාය.
එකල පොලිස්පතිව සිටි ලකී කොඩිතුවක්කු සිය ඉහළ නිලධාරීන් අමතා කියා සිටියේ තමා ඉදිරියේ ඇති මෙම අභියෝගය ගැනයි.
“මේක අපට ලොකු අභියෝගයක්. ඉක්මනින් අපරාධකරුවන් කොටුකර නොගත්තොත් ලොකු ප්‍රශ්නයක්. දැනටමත් ලොකු ලොකු ව්‍යාපාරිකයන් සේරම වගේ තරු පහේ හෝටල්වල නැවතිලා.“
කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගැනීමේ පුවත මෙසේ මාධ්‍ය ඔස්සේ නිල වශයෙන් පැතිර යද්දී ලුණු, ඇඹුල් ඇතුව එය කටකතාවක් ලෙසින් ද පැතිර ගියේ කප්පම් කණ්ඩායම තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කීප දෙනකු පැහැර ගැනීමේ සැලසුමක පසුවන බවයි. මින් බොහෝ සේ කලබලයට පත්වූ ඉහළ පෙළේ දේශපාලනඥයින් පොලිස්පති අමතමින් දැඩි සේ කියා සිටියේ හැකි ඉක්මනින් මේ කප්පම් කල්ලිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. කප්පම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම තම පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. එන්. ඩී. සිල්වා වෙත පැවරුවේ ඔහු වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද සියයට සියයක්ම අවංක, කාර්යශූර නිලධාරියකු වූ නිසාය.
ටී. එන්. ඩී. සිල්වා හෙවත් තොටවත්තගේ නන්දසේන ද සිල්වා කිසිම බාහිර බලවේගයකට නතු කරගත නොහැකි කශේරුව කෙළින් තියාගෙන වැඩ කරන පොලිස් නිලධාරියකු ලෙස මුළු පොලිස් දෙපාර්තමේන්තුව පුරාම ප්‍රසිද්ධ වී සිටියේය. අපරාධකරුවන් සූක්ෂමව කොටු කර ගැනීමට ඔහු තරම් දක්ෂයකු වෙන නොවූ තරම්ය.
අවාසනාවකට මෙන් කොළඹ නගර සභා පිටියේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ අවසන් රැලියේ දී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කොට එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් ටි. එන්. ඩී. සිල්වා ජීවිතක්ෂයට පත් වූයේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම මහා හිඩැසක් තබමිනි. මෙම කප්පම් කල්ලිය කොටුකර ගැනීමේ පොලිස් මෙහෙයුමට අවශ්‍ය පොලිස් නිලධාරීන් තෝරා ගැනීමේ අසීරු අභියෝගයට මුහුණ දුන්නේ ද ඔහුය. ඒ අතර කොළඹ අපරාධ කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බන්දුල වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් පොලිස් අධිකාරීවරයකු වූ ඩී. වයි. එස්. සමරතුංග, සී. අයි.ඩී. ගැන් රොබරි බියුරෝ හෙවත් සමූහ මංකොල්ල අංශය භාර ස්ථානාධිපති සේනක කුමාරසිංහ, පොලිස් පරීක්ෂක ශානි අබේසේකර සහ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත රෝහණ යන නිලධාරීන් විය. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සී.අයි.ඩීහි අවංක, බුද්ධිමත් අපරාධ විමර්ශකයකු ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පුංචි බණ්ඩා සෙනවිරත්න ද වික්‍රමසිංහගේ ඥාති පාර්ශ්වය නියෝජනය කරමින් විමර්ශන කණ්ඩායමට සහයෝගය දැක්වීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය. මෙවන් අබිරහස් විමර්ශන රාශියක් ඉතා සාර්ථකව විසඳා තිබීම මෙන්ම අපරාධ විමර්ශන කටයුතු පිළිබඳ දෙස් විදෙස් පුහුණුව ලබා තිබීම ද ඔහුගේ සහාය ලබා ගැනීමට විශේෂ හේතූන් විය.
ඔහුගේ පළපුරුදු විමර්ශන දැනුම විමර්ශන ඉතිහාසයට අලුත් අත්දැකීමක් එක් කරන්නටද සමත් විය. සැලසුමට අනුව කළ යුතුව තිබුණේ කප්පම් වශයෙන් අවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ 200ක මුදල එකම කාණ්ඩයේ අංකවලින් යුත් අලුත්ම රුපියල් දහසේ නෝට්ටුවලින් ලබා දී වික්‍රමසිංහ මුදා ගැනීමෙන් පසු එම මුදල් රජයේ නිවේදනයක් මඟින් අවලංගු කිරීමයි. රුපියල් ලක්ෂ 200ම G – 66 කාණ්ඩයට අයත් රුපියල් 1000 අලුත් නෝට්ටුවලින් ලබා දීමට එවකට සෙලාන් බැංකුවේ සභාපතිවරයාව සිටි ලලිත් කොතලාවල එකඟ විය. මෙහි අභිප්‍රාය වූයේ යම් හෙයකින් එම කාණ්ඩයට අයත් මුදල් නෝට්ටුවක් මාරු කිරීමේ ප්‍රයත්නයක යෙදෙන්නන් කොටුකර ගැනීමයි. මෙය කොතරම් සූක්ෂ්ම සැලැස්මක් වුවද අයෝමා වික්‍රමසිංහගේ කැමැත්ත වූයේ ඉක්මනින් අවශ්‍ය මුදල ලබා දී තම සැමියා බේරා ගැනීමයි. මෙය මෙසේ සිදු වුවහොත් එය පූර්වාදර්ශයක් කොට ගෙන ඉදිරියේදී ද මෙවන් දේ සිදුවිය හැකි බව අවබෝධ කර ගත්තද පොලිස් කණ්ඩායමට එම තීරණය ලිහිල් කිරීමට සිදු වූයේ මෙවන් සැලසුමක් නිසා තම සැමියාට කරදරයක් සිදුවුවහොත් එහි වගකීම පොලිස් දෙපාර්තමේන්තුව භාරගත යුතු බවට වික්‍රමසිංහ මහත්මිය පැවසූ කතාව හේතුකොට ගෙනය.
මෙවැනි අවස්ථාවල දී ලොව පුරා බොහෝ විට සිදුවන්නේ කප්පම්කරුවන් සමඟ සංවාදයක් ගොඩනඟමින්, මුදල අඩුකර ගැනීමේ මුවාවෙන් කේවල් කරමින් සිටීමයි. එසේ සිටිමින් ලබා ගන්නා කාලය අතරතුර කප්පම්කරුවන්ගෙන් යම් හෝඩුවාවක් ලබාගෙන ඒ ඔස්සේ යමින් නූතන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් ඔවුන් සිටින ස්ථානය ගැන නිවැරැදි තොරතුරක් සොයා ගෙන කප්පම්කරුවන් කොටුකර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ අවස්ථාව එවැන්නකට ද සුදුසු නොවූයේ අයෝමාගේ ප්‍රබල මැදිහත් වීම නිසාය. එනිසාවෙන්ම එම න්‍යාය මඟ හරිමන් අදාළ කප්පම් මුදල එකම කාණ්ඩ අංකනයෙන් මුද්‍රිත දහසේ නෝට්ටුවලින් ලබා දී වික්‍රමසිංහ බේරා ගැනීමේ මෙහෙයුමට එකඟතාවය පළ විය.
වික්‍රමසිංහ මහත්මිය රු.ලක්ෂ 200ක මුදලත් රැගෙන කප්පම්කරුවන් හමුවට....
(ලබන සතියේ)
සැකසුම - නාමලී ගමගේ