පස් හැවිරිදි දරුවාට දිවි අහිමි කළ බාප්පොච්චිගේ විහිළුව | සිළුමිණ

පස් හැවිරිදි දරුවාට දිවි අහිමි කළ බාප්පොච්චිගේ විහිළුව

 

සැකපිට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි බාප්පා රිමාන්ඩ්

වායු රයිෆල උණ්ඩයෙන් ආශිංසනට දිවි අහිමි වෙයි

විහිළුවට එල්ල කළත් උණ්ඩය නිකුත් වෙලා

ආශිංසන අවසන් ගමන් ගියේ කරාපිටිය රෝහලේදී

 

කතරගම, දෙටගමුව, තුනේ පියවරේ පදිංචි 31 හැවිරිදි එල්. ටී. බුද්ධික එක් දරු පියෙකි. ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කළ ඔහු කතරගම නොදන්නා අයෙකු නොමැති තරම්ය. ඉතා කාරුණික හදවතක් ඇති ඔහු ඇතැම් විට වයෝවෘද්ධ පුද්ගලයන් සහ රෝගින් රෝහලට රැගෙන ගිය පසු කුලිය ලබා නොගනියි. ඔහුගේ බිරිය 27 හැවිරිදි ඩබ්ලිව්. පී. නිශාන්තිය. එක් දරු මවක වන ඇය තවත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින්නීය. මේ පුංචි කැදැල්ල එළිය කළේ පස් හැවිරිදි එල්. ටී. ආශිංසනය. ඔහු දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබීය.

පස් හැවිරිදි ආශිංසනගේ හොඳම මිතුරා වූයේ සිය පියාගේ බාල සොහොයුරා වන 18 හැවිරිදි එල්. ටී. මෙත්මල්ය. මේ දෙදෙනාගේ වයස් පරතරය කොතරම් වුවත් දෙදෙනා අතර ඇති බැඳීම පුදුමසහගතය. ඒ තරමටම ආශිංසන සහ මෙත්මල් අඹ යාළුවන්ය. ආශිංසන මෙත්මල්ට කතා කළේ 'බාප්පොච්චි' කියාය.

අධ්‍යාපනය අවසන් කර සිටි 18 හැවිරිදි මෙත්මල් කොළඹ රැකියාවක්ද කළේය. මේ අතරවාරයේ ඔහු විදෙස් රැකියා සඳහා ආයතන කීපයකින්ම ඉල්ලුම් කර තිබිණි. ඒ අනුව 2022 නොවැම්බර් මස 21 වැනිදා මෙත්මල් දහවල් 11ට පමණ සිය අයියාගේ නි‌ෙවසට පැමිණියේ විදෙස්ගත වීමට අවශ්‍ය පොලිස් සහතිකයක් ලබා ගැනීම සඳහා ලිපියක් අයියාගේ බිරිය ලවා ලියවා ගැනීමටය. ඒ වන විට මෙත්මල්ගේ අයියා කුලී ගමනක් ගොස් තිබුණි. ගෙදරට ඇවිත් බලද්දී දරුවා පාසල් ගොස් තිබුණ නිසා මෙත්මල් යතුරු පැදියෙන් ගොස් ආශිංසනද රැගෙන නි‌ෙවසට පැමිණියේය. 'බාප්පොච්චි' සිටිනු දුටු ආශිංසනගේද ඉහේ මලක් පිපුණා විය. ඒ තරමටම ආශිංසන 'බාප්පොච්චිට' ආදරේය. අයියාගේ පුතා එක්ක සෙල්ලමට වැටුණු මෙත්මල්ටද පැමිණි කාරණය අමතක වීය. නි‌ෙවසට පැමිණි වෙලාවේ සිට දෙදෙනා එක්ව සෙල්ලම් කළේ දිවා ආහාරයද සූදානම් වෙමින් තිබියදීය.

මේ වන විට ආශිංසනගේ නි‌ෙවසේ 'මාරයා' සැඟව සිටින බව කිසිවෙක් දැන සිටියේ නැත. ආශිංසනගේ නි‌ෙවසට වඳුරු කරදර එමටය. මේ නිසාම ආශිංසනගේ තාත්තා කතරගම දේවාලයේ වැඩ කරන හිතවතෙකු ළඟ තිබූ වායු රයිෆලයක් රැගෙන ආවේ නි‌ෙවසට කඩා වදින වඳුරන් එළවා දමන්නටය. නි‌ෙවසට රැගෙනවිත් තිබූ වායු රයිෆලයට උණ්ඩයක්ද ‘ලෝඩ්‘ කර කොකා ලොක් කර බුද්ධික වායු රයිෆලය නි‌ෙවසේ අල්මාරිය උඩින් තබා තිබුණේ මෙහි උණ්ඩයක් ලෝඩ් කර ඇති බව කිසිවකුටත් නොකියාමය.

දිනය ඉකුත් 16 වැනිදාය. වේලාව දහවල් 01ට ආසන්නය. මෙත්මල් සහ පස් හැවිරිදි ආශිංසන එක්ව සෙල්ලම් කරමින් සිටියදී වඳුරු රංචුව නි‌ෙවස අසල ඇති සියඹලා ගස්වලට පැමිණියෝය. නි‌ෙවසේ ඇති වායු රයිෆලය ගැන මතකයට පැමිණි දෙදෙනා එක්ව දිව ගොස් අල්මාරිය මත තිබුණු රයිෆලය ගැන සොයා බැලීමෙන් පසු මෙත්මල් එය අතට ගත්තේය. මෙත්මල් මීට පෙර ගිනිඅවියක් පිළිබඳව මෙලෝ හසරක් නොදත් අයෙකි. අඩුම තරමේ වායු රයිෆලයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නවත් ඔහු දැන සිටියේ නැත. ආශිංසන මව අසල සිට‌ෙගන සිටියේය. මෙත්මල් අතට ගත් වායු රයිෆලය විනෝදයට මෙන් සිය අයියාගේ බිරිය දෙසට වරක් එල්ල කළේ විහිළුවට මෙනි. දෙවනුව වායු රයිෆලයේ කොකාද අල්ලාගත් මෙත්මල් ඊළඟ තප්පරයේ වායු රයිෆලය දික් කළේ ආශිංසන දෙසටය.

ගතවූයේ තප්පරයකටත් අඩු කාලයකි. සිදු වූයේ කුමක්දැයි වායු රයිෆලය අත දරා සිටි මෙත්මල්ට, ආශිංසනට හෝ ආශිංසනගේ මව නිශාන්තිටද සිතා ගත නොහැකි විය. ආශිංසන මවගේ දෙපා මුලම ඇදගෙන වැටුණි. වායු රයිෆලයේ උණ්ඩයක් තිබී එය දරුවාගේ හිසට වැදී තිබිණි. වහා සිය අයියාට ඇමතුමක් ගත් මෙත්මල් කතා කරගත නොහැකිව “අනේ අයියේ....අයියේ“ පමණක් කියවමින් සිටියදී දුරකතනය අතට ගත් ආශිංසනගේ මව නිශාන්ති “දරුවට අමාරුයි... ඉක්මනට එන්නැයි“ පැවසීය.

ඒ වන විටත් සිය ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණෙමින් සිටි බුද්ධික ගමන ඉක්මන්කොට නි‌ෙවසට පැමිණියේය. වායු රයිෆලය ඒ අසල තිබෙනු දුටු බුද්ධිකට යමක් තේරුම් ගැනීමට මහ වේලාවක් නොගියේය. තුවාල ලබා ලේ ගලමින් සිටි දරුවා සිය ත්‍රිරෝද රථයට නංවාගත් බුද්ධික පවනක බඳු වේගයෙන් කතරගම මූලික රෝහලට ඉගිළුණේය. එහිදී මූලික ප්‍රතිකාර කළ වෛද්‍යවරු වහා දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලටත් පසුව හම්බන්තොට මහ රෝහලටත් ඇතුළු කරන ලදි. එහිදී සිදුකළ පරීක්ෂණවලදි අනාවරණය වුයේ දරුවාගේ හිස තුළ උණ්ඩය රැදී ඇති බවය. එය ඉවත් කිරීම සඳහා ශ්‍යල්‍යකර්මයක් සිදු කළ යුතු විය. ඒ අනුව වෛද්‍යවරුන් විසින් දරුවා ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා හම්බන්තොට මහ රෝහලේ සිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි. එහිදී වෛද්‍යවරුන් විසින් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුණද පුංචි ආශිංසන සියලු දෙනා හැර දමා පසුගිය 17 දා අලුයම සිය දිවියෙන් සමු ගත්තේය.

ආශිංසන මිය යාමෙන් පසු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කතරගම පොලිසිය සිද්ධියට සැකපිට දරුවාගේ බාප්පා වූ මෙත්මල් පොලිස් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් සඳහා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

පස් හැවිරිදි ආශිංසනගේ හිසට වැදි තිබූ වෙඩි පහරින් ඔහුගේ මොළය පසාරු කරගෙන උණ්ඩය මොළය තුළටම කිඳා බැස තිබූ බවත්, ඒ තුළින් හිස් කබළට සහ මොළයට සිදු වූ තුවාල නිසා මරණය සිදුව ඇති බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් නානායක්කාර පැවසුවේය. ආශිංසනගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කෙරිණි.

ආශිංසනගේ දේහය නි‌ෙවසට ගෙන ආ මොහොතේ ඔහුගේ මව වන නිශාන්ති තැබූ අඳෝනාව මුළු ගමම හඬවන්නට තරම් සංවේදී විය. ආශිංසනගේ අවමංගල්‍යයට නිවෙසට ආගිය සැමගේ දෙනෙතින් රූරා වැටුණු කඳුළු බිඳු පිස දමමින් ඉන් පිටව ගියෝය. ඒ තරමටම ප්‍රදේශය කම්පා කළ අවාසනාවන්ත සිදුවීමක් බවට මෙකී ඛේදවාචකය පත්විය.

ආශිංසනගේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය සම්පූර්ණයෙන්ම පැයෙන් පැයට මල්වලින් සැරසීම මවගේ එකම කාර්යය බවට පත්වීය.

“අනේ මගේ දරුවා මල්වලට හරිම ආසයි. කොහේ ගියත් මල් ගහක් දැක්කොත් අරගෙන එනවා. ඒ තරමටම මල්වලට කැමතියි. අදින් පස්සේ මේ මල් තිබිලා මට වැඩක් නෑ මගෙ පුතේ“යැයි කියමින් මව නිශාන්ති හඬා වැටෙන්නට විය.

මේ අවාසනාවන්ත ඉරණම සියලුම දෙනාට ආදර්ශයකි. මීට පෙරද මෙවැනිම නොගැළපෙන විහිළු නිසා අහිමි වූ ජීවිත පිළිබඳ කතා අප කොතෙකුත් නම් අසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Comments