කෝටියකට විකුණන්න හැදූ වාලම්පුරිය පොලිස් ගැටේට හසුවූ හැටි | සිළුමිණ

කෝටියකට විකුණන්න හැදූ වාලම්පුරිය පොලිස් ගැටේට හසුවූ හැටි

වාලම්පුරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගනිමින්

වලානේ පොලිස් සැරයන් ව්‍යාපාරිකයකු ලෙස රඟපා වාලම්පුරිය සමඟ සැකකරු අල්ලා ගනී

“මල්ලි වාලම්පුරියක් විකුණන්න තියෙනව කියල ආරංචියක් ආවා. ඒක දුන්නද? නැත්තම් තාම තියෙනවද?" ඒ පණිවුඩය එන්නේ කිසියම් පුද්ගලයකුගේ ජංගම දුරකතනයකටය. මේ පුද්ගලයා මඳක් නිශ්ශබ්ද විය. සුළු මොහොතකින් රළු කටහඬක් අවදි විය.

"මහත්තය කොහෙන්ද කතා කරන්නෙ?" ඔහු විමසීය. "මම කොළඹින් මල්ලි. මගෙ යාළුවෙක් කිව්ව ඔයාල ළඟ වාලම්පුරියක් විකුණන්න තියෙනව කියලා. ඒක ගැන දැනගන්න කතා කළේ..." ඇමතුම දුන් පුද්ගලයා කීවේය.

"මහත්තයගෙ නම මොකක්ද?" වාලම්පුරිය අයිති පුද්ගලයා විමසීය. 

"මම 'ඉන්දික'. මං දන්න මහත්තයෙක් වාලම්පුරියක් හොයනවා. හොඳ ගානකට අපි වැඩේ කරමු..." ඇමතුම දුන් තැනැත්තා කීවේ එවැනි කතාවකි.

දුරකතන සංවාදය එතැනින් නිමා විය. දින දෙක තුනක් ගත වුණද පිළිතුරක් නැත.

"ඉන්දික මහත්තය මම කුරුණෑගලින්... අර වාලම්පුරියක් ගැන ඇහුවේ..."

"ඔව් මල්ලි. වාලම්පුරිය තියෙනවාද..."

"මහත්තයල කීයකට වගේද බලන්නෙ? එකක් නම් තියෙනවා. ඒක ටිකක් හොඳ භාණ්ඩයක්. ගානත් ටිකක් සැරයි."

"ගාන කීය වුණත් කමක් නෑ මල්ලී. බඩු හොඳ නම් අපි කෑෂ් දීලම ගන්නවා. අනික මේ සල්ලි බ්ලැක් මනී නිසා බය වෙන්න එපා කිසි දේකට. අපි බිස්නස් එක කරමු."

එවෙලේම වාලම්පුරියේ වීඩියෝවක් වට්ස්ඇප් මඟින් ලබා ගන්නට හැකිවූ අතර එයට පිරිත් දමා දුම් අල්ලමින් පුද සත්කාර කරන අයුරුද දක්නට ලැබිණි. ඊට අමතරව බර මෙන්ම දිගද සඳහන් කර තිබිණි.

"මල්ලි.... ෆන්ෂන්, සද්දෙ එහෙමත් හොඳයි නේද?"

වාලම්පුරිය කනට තැබූ විට නැඟෙන 'ඕම්' ශබ්දය ස්වාභාවික වාලම්පුරියක් යැයි හඳුනා ගැනීමට භාවිත කරන එක් ලක්ෂණයකි. තවද වාලම්පුරියේ පවතින රටා අනුවද ඒවා අලෙවි කරනා පුද්ගලයන් මිල නියම කිරීමට පෙලඹී ඇත.

"මහත්තයා ඇවිල්ලම බලන්නකො... එතකොට මහත්තයටම තේරෙයි."

"හරි මල්ලි. කොහොමද වාලම්පුරිය අපි බලන්නෙ? කවදද කොහෙටද එන්න ඕන."

දෙදෙනා අතර ගොඩනැඟුණු විශ්වාසය බිස්නස් එක කෙරෙන තැනටම පාර කැපී අවසන්ය. "මහත්තයා හෙට උදේ නවයට කුරුණෑගලට ඇවිත් මට කෝල් එකක් දෙන්න. "

උදෑසනින්ම කුරුණෑගලට යන ඉන්දික ඒ බව දුරකතනයෙන් දැනුම් දෙන්නේ වාලම්පුරියේ හිමිකරුටය.

වාලම්පුරියේ හිමිකරු කුරුණෑගල රිදීගම ඇටගහවෙල වැව ළඟට එන ලෙස මාර්ගය කීවේය.

කිසිවකු පෙනෙන්නට නැති කුඩා පාරක් දිගේ යන විට ඇටගහවෙල වැව් තාවුල්ල හමුවන අතර මඳ වේලාවකින් කොහේදෝ සිට පැමිණි පුද්ගලයකු සුදු රෙද්දකින් ඔතා වාලම්පුරියක් එතැනට ගෙනාවේය.

මේක මං විකුණන්නෙ නෑ. හදිස්සියකට සල්ලි වගයක් ඕන නිසා දෙන්නෙ. නැත්තම් කෝටි එකහමාරකට දෙන එකත් පාඩුයි."

ඉන්දික වාලම්පුරිය පරීක්ෂා කරන්නේ ඉන් අනතුරුවය.

"මල්ලි මේක නම් කෝටි එකහමාරක් වටින්නෙ නෑ. කෝටියකට දෙනවනම් බිස්නස් එක කරමු."

"හරි මහත්තයො... එහෙනම් ඒ ගානට කරමු." වාලම්පුරියේ හිමිකරු අදහස වෙනස් කර ගත්තේය.

"මල්ලි එහෙනම් බයර්ට මං සල්ලි අරන් එන්න කියන්නම්. අන්තිම ගාන කෝටියයිනෙ. වෙනසක් නෑ නේද?" ඉන්දික විමසීය.

ඉන්දික කාටදෝ දුරකතන ඇමතුමක් දෙන්නට වූයේ ඔය අතරය. ගත වූයේ සුළු මොහොතකි. පාළු ප්‍රදේශයක් වූ නිසා ඈතින් පැමිණෙන වාහනයක ශබ්දය පැහැදිලිව ඇසිණි. ශබ්ද නඟාගෙන වේගයෙන් පැමිණි පොලිස් ජීප් රිය බ්‍රේක් ගසන්නේ වැලි පාරේ දුහුවිලිද අවුස්සමිනි. කාකි ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්ද ගිනිඅවි අතැතිව ඉන් බැස ගන්නේ කාටත් සිතා ගැනීමටවත් කාලයක් නොතබමිනි.

"අපි වලානෙන්..... කවුරුත් දඟලන්න හදන්න එපා... ඉන්න තැන්වලම ඉන්න... දුවන්න හදන්නත් එපා..."

"අනේ සර්.... මේ වාලම්පුරිය මගෙ එකක් නෙමේ. අපේ රට ඉන්න අයිය කෙනෙක්ගෙ. එයා තමයි කිව්වෙ මට මේක විකුණන්න කෙනෙක් හොයල දෙන්න කියලා...." වාලම්පුරියේ හිමිකරු කීවේය.

වාලම්පුරිය විකිණීමට පැමිණි දෙදෙනාට සියල්ල හොඳින් පැහැදිලිය. 'ඉන්දික' නමින් කොළඹ සිට පැමිණි පොලිස් උපාය දූතයාගේ ගැටයට තමන් මෙන්ම මිතුරාද හසු වී අවසන්ය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනාට මාංචු දමා ජීප් රියට නංවා ගන්නේ වාලම්පුරියේ ගනුදෙනුව එසේ අවසන් කරමිනි.

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස වාලම්පුරියක් විකිණීමට සූදානමින් පසුවන බවට මුලින්ම ආරංචිය ලැබෙන්නේ පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරටය. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ උසස් නිලධාරීන් විසින් සැරයන් ජයලාල් (428) උපාය දූතයකු වශයෙන් යෙදවීමට තෝරා ගනු ලබන්නේ මෙවැනි මෙහෙයුම් සඳහා ඔහු දක්ෂයකු වන බැවිනි. ජයලාල් 'ඉන්දික' නමින් පෙනී සිටිමින් එම පුද්ගලයන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් වාලම්පුරිය මෙන්ම මේ පිටුපස සිටින ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නේ වලානේ අනෙක් නිලධාරීන්ගේද සහාය ඇතිවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවකුගේ විදේශයක සිටින සහෝදරයකුට මේ වාලම්පුරිය අයිති බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් මාවතගම පොලිසියට භාර දී තිබුණු අතර පසුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙලෙස පොලිස් භාරයට ගත් වාලම්පුරිය දුර්ලභ ගනයේ 'ටයිටෑන්' වර්ගයට අයත් වාලම්පුරියක් ලෙස පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. දක්ෂිණාවර්තව කරකැවුණු වාලම්පුරි මඟින් වාසනාව ගෙන දෙන බවට ඇතැමුන් තුළ පවතින මත හේතුවෙන් වංචනිකයන් මෙවැනි වාලම්පුරි වැඩි මුදලට අලෙවි කරන අතර ඉන් සිදු වන්නේ වඳ වීගෙන යන ජීවී විශේෂ මෙලොවින් තුරන් වීම මෙන්ම තවත් පිරිසක් බොරුකාරයන්ට හසුවීමය.

පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන අතුල (64674), ජයමහ (91111), අමිල (92905), සංජීව (91287), සියන්ත (94009), හේමන්ත (100683), පොලිස් කොස්තාපල් රියැදුරු තිසර (80501) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

 

 

Comments