
හක්මණ, පොත්තේවෙල උපන් දුල්කි නිශාදි කල්පනී දූ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියාය. අක්කා, නංගි සහ මල්ලි සමඟ ඇය හක්මණ ගංගොඩගම ජයවර්ධන මහ විදුහලෙන් අධ්‍යාපනය ලැබූවාය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත්වු දුල්කි නිශාදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ද A සමාර්ථයක් අටක් සහ B සමාර්ථ්‍යයක් ලබා ගනිමින් ඉහළින් සමත් වූයේ මාපියන් සතුටු සයුරේ ගිල්වමිනි. දුල්කි නිශාදි උසස්පෙළ හැදෑරීම සඳහා තෝරාගත්තේ විද්‍යා විෂය ධාරාවයි. ඒ පුවක්දණ්ඩාව බාලිකා විදුහලේදීය. ගුරුභවතුන්ගේ ආදරය දිනා ගනිමින් කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළ ඇය උසස්පෙළ විභාගයට පෙනී සිට එය සමත් වුවද විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි වූවාය. එහෙත් එම සමත්වීම අධ්‍යාපන විද්‍යා පීඨ අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමට තරම් ප්‍රමාණවත් විය.
ඒ අතර දුල්කි නිශාදි කෙටි කාලයක් සඳහා හක්මණ නගරයේ වෙළෙඳ සැලක සේවය සඳහා එක්වූවාය. ඒ ඇයගේ සොයුරිය ද සමඟය. එහිදි දුල්කි නිශාදිට නදිර සංකල්ප තරුණයා හඳුනාගන්නට අවස්ථාව ලැබුණේ ඇගේ රූමත් බව නිසාමය. නදිර සංකල්ප වෙළඳ සැලේ හිමිකාරිනියගේ සොහොයුරාය. ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ උපන් නදිර අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක සේවා සමාගමක ආරක්ෂකයකු ලෙස රැකියාවක් කළේය. එහිදී ඔහු මත්ද්‍රව්‍යට ඇබ්බැහිව පොලිසියට කොටුවී බන්ධනාගාර ගතවද සිටි අයෙකි. එම කාලයේදී විවාහයක්ද කරගෙන සිට නදිර පසුව ඉන් වෙන්වී යළි ගමට පැමිණියේ රැකියාවෙන් ද ඉවත් වෙමිනි.
කලක් ගමේ සිටි නදිර හක්මණට පැමිණ තම අක්කාගේ නිවෙසේ ජීවත් වූහ. එහිදී දුල්කි නිශාදි හඳුනාගන්නට ඔහුට මඟ සැලැසිණි. දෙදෙනා අතර පෙම ලියලා වැඩුණද නදිරගේ පෙර විවාහය සහ බන්ධනාගාර ගතවීම දුල්කි දැන නොසිටියාය. දුල්කී හා විවාහයෙන් පසු නදීර මාළු වෙළඳාමේ නිරත විය. ඒ සඳහා දුල්කි කල්බදු ක්‍රමයට ත්‍රීරෝද රථයක් ද ඔහුට රැගෙන දුන්නාය. කාලයාගේ ඇවෑමෙන් නදීරට වැලඳී තිබු කිසියම් රෝගී තත්ත්වයක් ද දුල්කි දැනගත් අතර ඒ සඳහා ඇය ගුප්ත ශාස්ත්‍රයට අනුව ගුරුකම් ද කරමින් සිටියාය.
ඒ අතර විවාහයෙන් වසරක් පමණ ගතවද්දී නදීරගේ පෙර වැරදි දුල්කිට දැනගන්නට ලැබූණේ පවුල් ආරවුල්වලටද මුල පාදමිනි. එහෙත් දෙදෙනා නව නිෙවසක් සඳහා අත්තිවාරම් ද දමා තිබිණි. දිගින් දිගටම පැවති ආරවුල් දුරදිග යද්දී දුල්කි හක්මණ පොලිසියට යන්නේ දික්කසාද වීමේ අරමුණ ඇතිව පැමිණිලි කිරීමටය. එම පැමිණිල්ල දෙදෙනාගේ ආරවුල තවත් තීව්‍ර කරවන්නට විය. හක්මණ පොලිසියට කරන ලද පැමිණිල්ල මත මේ අඹු සැමියන් පොලිසියට කඳවා සමථකරණයට උත්සාහ ගත්ත ද දුල්කි දිගින් දිගටම කියා සිටියේ නදීරගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවයි. ඒ අනුව දුල්කි පොලිස් පැමිණිල්ලේ පිටපත් ද ගෙන දික්කසාද නඩුවක් ගොනු කිරීමට අවැසි ලිපි ලේඛන ද සැකසුවාය.
මෙම ආරවුල දිග්ගැස්සෙද්දී කල්බදු වාරික ද ගොඩගැසී ත්‍රීරෝද රථය යළි කල්බදු ආයතනයට ගන්නා තත්ත්වයට පත් විය. ඒ අතරේ දුල්කිගේ නමට ලබාගෙන තිබූ ත්‍රී රෝද රථය නදීර ඉල්ලා සිටියේය. ඒ වන විට දුල්කි ගෙවා තිබූ රුපියල් පනස්දහස් ගණනක මුදල ඇයට ලබාදී ත්‍රීරෝද රථය ලබාගන්නා ලෙස ඇය, නදිරට පවසා තිබුණි.කෙසේ හෝ විවාහයෙන් වසරකුත් මාස පහක් පමණ ගතවද්දී දුල්කි දික්කසාද වන්න තීරණය කරද්දී යළිත් එක්ව ජීවත්වෙමු යැයි නදීර දිගින් දිගටම කියා සිටියේය. එහෙත් දුල්කිගේ සෘජු අදහසවී තිබුණේ දෙදෙනා වෙන්වීමයි. ඒ සඳහා ඇයගේ මවුපිය එකඟතාව ද පළවී තිබුණි.
ඉකුත් අටවැනිදා සඳුදා දිනකි. එදින සවස් වන විටත් දුල්කි තමා ඒ වන විට සේවය කරමින් සිටි හක්මණ කැබිලියපොල දකුණ සණස බැංකුවේ රාජකාරියේ නිරතව සිටියාය. ඒ අතරේ දුල්කි ගැන තරහින් පසුවූ නදීර දෙකින් එකක් බේරුම් කර ගැනීමේ අරමුණෙන් ත්‍රීරෝද රථයෙන් සණස බැංකුව වෙත පැමිණියේය. එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු විණි. ත්‍රීරෝද රථයේ තිබූ මාළු කපන මන්නා පිහියෙන් දුල්කිගේ ගෙලටත් හිසටත් තදින් පහර වදින්නේ ඉන්පසුවය. පහර වැදීම සිදුවද්දී දුල්කිගේ කෑගැසිමෙන් කලබලයට පත් ප්‍රදේශවාසීන් බැංකුව දෙසට දිව එද්දී නදීර වහා ත්‍රීරෝද රථයේ නැගී පලා ගියේය. වහා ක්‍රියාත්මකවූ ප්‍රදේශවාසීන් පිහි පහර වලින් බරපතළ තුවාල ලබා සිටි දුල්කි හක්මණ ගංගොඩගම රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිටියාය.
මේ සිදුවීම සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර පොලිස් කණ්ඩායමක් සමඟ සැකකරු සොයා මෙහෙයුමක් දියත් කළ අතර ඒ වන විටත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය.
ඒ අතර දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මාතර සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහෙෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා සහ මාතර සහකාර පොලිස් අධිකාරී පි. සූරිආරච්චි යන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට අදාළ සිදුවීම පිළිබඳ වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කඩිනම් උපදෙස් ලබාගත්තේය. අනතුරුව හක්මණ පොලිසීයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක, උප පොලිස් පරික්ෂක ඒ. පී. ජයසේන, පොලිස් සැරයන්වරුන් වන 40804 ජයසේකර, 60818 පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 72917 වසන්ත, 86387 රත්නප්‍රිය, 77700 වික්‍රමආරච්චි, 67794 මෙන්ඩිස්, 75363 සම්පත්, 96510 දර්ශන සහ පොලිස් රියදුරු 15401 සංජීව යන නිලධාරීන් සමඟ එක්ව සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය.
දුල්කි ඝාතනයට ලක්ව පැය විසිහතරක් ගතවන්නට මත්තෙන් සැකකරු ඝාතනය සිදුකර පලා ගිය ගැටමාන්න මාර්ගයේ හෙට්ටියාවල වවුලන්බොක්ක ප්‍රදේශයේ ගරාජයක් සමීපයේ ඇති පාළු නිවසක් අසල ත්‍රිරෝද රථය දමා ගොස් තිබියදී ඉකුත් නව වැනි දින සවස පොලිසිය සොයා ගත්තේය. එය පරීක්ෂා කිරීමේදී දුල්කි ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන මාළු කැපීම සඳහා යොදාගන්නා පිහියද එහි තිබිණි. පොලිසිය කරන ලද විමර්ශන වලදී සැකකරු ඝාතනය සිදුකර ත්‍රීරෝද රථයෙන් පලාවිත් එය ගැටමාන්න ප්‍රදේශයේ දමා එතැනින් මාතර බස් නැවතුම් පොළටත් එතැන් සිට ගාල්ලටත් පසුව ගාල්ලේ සිට බූස්ස ප්‍රදේශයටත් බස් රථවල නැගී පලා ගොස් ඇතැයි කරුණු අනාවරණය විය.
ලද තොරුතරු ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සැලසුම් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඉකුත් 10 වැනි දින උදේම බූස්ස බලා ගිය අතර රාත්‍රිය එළඹෙන තෙක්ම ඉතා සූක්ෂම ලෙස මෙහෙයුම දියත් කර සැකකරු සැඟව සිටින ස්ථානය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගත්තේය. සැකකරු සැප නින්දකට එක්ව සිටියදී නිවස වැටලූ පොලිස් කණ්ඩයම ඔහු අත්අඩංගුවට ගත්තේ සැකකරු සිහිනෙකින්වත් නොසිතූ අකාරයටය. පසුව පොලිසිය කළ සෝදිසියේදී අනාවරණයවූයේ කලකට පෙර සැකකරු බන්ධනාගාර ගතව සිටියදී හඳුනාගත් මිතුරෙකුගේ නිවසේ මෙලෙස සැඟව සිට ඇති බවයි.
“අනේ සර් මම දුල්කි මරන්න හිතාගෙන නෙවෙයි පිහියෙන් ගැහුවෙ. මම කොච්චර එපා කිව්වත් එයා දික්කසාදයම ඉල්ලන නිසා ඇතිවුණ තරහට මම ගැහුවෙ. මට එයා මරන්න ඕන වුණේ නෑ.“ තිස් එක් හැවිරිදි සැකකරු පොලිසියට පාපොච්චාරණයක් කරමින් පවසා තිබුණි.