
දියේ ගිලී මියගිය සීයාගේ තුන් මාසේ දානයට කුරුණෑගල සිට ආ මිනිබිරියන් තිදෙනාත් විනෝදයට පැද්ද ඔරුව පෙරළී වැව් පතුලේ සැඟවෙයි.මාස 08 බිලිදියක ඇතුළු 05 දෙනෙකුගේ දිවි බේරෙයි.
සූරියවැව අවට මේ දිනවල පවතින්නේ අධික වැසි සහිත කාලගුණයකි. ඒ හේතුව නිසාම පසුගිය කාලයේ කට්ටටම සිඳී තිබු වැව් ඇළ වේලි සියල්ලම මේ වන විට ජලයෙන් පිරී පවතියි. සූරියවැව මහවැලිකඩආර වැවද මේ දිනවල ජලයෙන් පිරී පවතින්නේ එම වැව දකින සියලු දෙනාගේ මනදොලද පිනවමිනි. ඒ තරමටම රමණීය පිහිටීමකින් යුක්ත මෙම වැව දකින ඕනෑම කෙනෙකුට වැවට බසින්නට සිතීමද සාමාන්‍ය දෙයකි. එවැනි සුන්දර මනස්කාන්ත මහවැලිකඩආර වැවට බැස්ස මාස 08 වයසැති කිරි සප්පයෙකු ඇතුළු 08 දෙනෙකුට ඉකුත් 12 වන දින මුහුණ දිමට සිදු වුයේ ඉතා අවාසනාවන්ත සිදුවිමකටය. විනෝදයට ඔරු පැද්ද 08 දෙනාගෙන් තිදෙනෙකු මහවැලිකඩආර වැව් පතුලේ සැඟවුණේ අවට ගම්ම්වාසී සියලු දෙනා සංවේගයට පත් කරමිනි. වැව් පතුලේ සැඟව ගිය වයස අවුරුදු 10 ත් 18 අතරේ පසු වූ සිසුවියන් තිදෙනාගේ සිරුරු ගොඩට ගෙන ආ මොහොතේ දසතින් ඇසුණේ විලාප හඬයි. දරුවන්ගේ වියෝව දරාගත නොහැකි මවුපියන් සහ ඥාතීන් තැබූ විලාපය ගම්දනව් සිසාරා රැව් පිළිරැව් දුන්නේ සියලු දෙනාගේ නෙතට කඳුළක්ද එක්කරමිනි.
මාලඹේ කොළණිය, පිහිඹුව, කුරුණෑගල ලිපිනයේ පදිංචි දිලිප් සේනාධීර සහ ඔහුගේ කුරුණෑගල පදිංචි නැඟණිය ඔවුන්ගේ දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් සමඟ සූරියවැව එන්නට පිටත් වන්නේ පසුගිය 11 වන දින සවස 04ට පමණය. ඒ මීට මාස තුනකට පෙර සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් මියගිය දිලිප් සේනාධීරගේ පියාගේ තුන් මාසේ දානමය පිංකම සඳහාය. සිය සීයාගේ තුන් මාසේ පිංකමට සූරියවැව යන බව දැනගත් දරුවන්ට ඉහේ මලක් පිපුණාක් මෙන් විය. ඒ තරමටම දරුවන් මෙකී පරිසරයට ආදරය කළෝය.
පසුගිය 11 දින සවස 4ට පමණ කුරුණෑගලින් පිටත් වූ පිරිස සූරියවැව මහවැලිකඩආරට එන විට වේලාව පසුදින අලුයම 2 පමණ වී තිබිණි. අලුයම පැමිණි පිරිස ඥාති නිවෙස් කීපයක රාත්‍රිය පහන් කළ අතර 12 වන දින අලුයම අවදි වූ මොහොතේ පටන් වැඩිහිටියන් සියලු දෙනා දානමය පිංකම සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කළහ. කුරුණෑගල සිට පැමිණි දරුවන් පිරිස සහ සූරියවැව සිය ඥාති අයියලා මල්ලිලා අක්කලා එක්ක එකට එකතු වී විනෝදයෙන් කතාබහ කරමින් එහා මෙහා ඇවිද ගියේ මහත් ප්‍රීතියකින් යුතුවය.
පෙර දින නිදි වර්ජිතව සිටීමත් ගමන් මහන්සියත් නිසා දිලිප් සේනාධීරට මඳක් නිදා ගැනීමට වුවමනා විය. ඒ වන විට වේලාව උදෑසන 9.30ත් පසු වී තිබිණි. නිදා ගැනීමට යන දිලිප් සේනාධීරට නිවස ඉදිරිපිට පාරේ එහා මෙහා ඇවිද යන දරුවන් දැකිය හැකි විය. ඒ නිසාම ඔහු සිය දියණිය වූ 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීරට කතා කර “පුතේ කොහේවත් යන්න එපා“ යැයි පැවසීය. “නෑ තාත්තේ අපි කොහෙවත් යන්නේ නෑ. අක්කලා එක්ක පේර කඩන්න යනවා විතරයි“ යැයි ඇය පැවසුවාය.
ඒ වන විටත් මිහිරංගි ඇතුළු පිරිසේ මාරයා වැව් පතුලට වී අත වනමින් සිටින බව ඇගේ පියා දිලිප් සේනාධීර තියා මිහිරංගි ඇතුළු කිසිවෙක් දැන සිටියේ නැත. තම දරුවන් ආරක්ෂිත යැයි සිතූ දිලිප් සේනාධීර ද නින්දට ගියේය. මිදුලේ එහා මෙහා ඇවිද සිටි දූ දරුවන් පිරිස නිරායාසයෙන්ම වැව අසලට ගියේ හරියට මාරයාගේ ඉල්ලීමට මෙනි.
මහවැලිකඩආර පදිංචි කේ.ජී. ළහිරුට මහවැලිකඩආර වැව යනු නුහුරු නුපුරුදු තැනක් නොවේ. උදේ හවා දකින කියන මේ වැවේ ළහිරු නොගැසූ කරණමක් නොමැති තරම්ය. දරුවන් පිරිසද ළහිරු කැටුව වැවට ගියේ ඔරු පදින්නටය. ඒ පස්සෙන් ඔවුන්ගේ මවුවරුන් කිහිප දෙනෙකුද වැව අසලට ගියේ ආ ගමන මතක් වෙන්නට සේල්ෆියක් හෝ ගහගන්නටය. 10 හැවිරිදි තරුෂි ඇතුළු සිවු දෙනෙකු ඔරුවට නංවාගත් ළහිරු වැවේ රවුමක් ගියේය. ඒ වන විටත් අසල සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුම කෑ මොර දී ‘වැඩිදුර යන්න එපා‘ යැයි පැවසීය. ඔරුව පැදගෙන මඳ දුරක් ගිය ළහිරු යළි ආපසු ගොඩබිමට පැමිණියත් ඔහුට ඔරුවෙන් බැසීමට අවස්ථාවක් නොවීය. ඒ වැව අසල සිටි තවත් සිවු දෙනෙකුද ‘අනේ අයියේ අපිවත් රවුමක් එක්කගෙන යන්නකෝ‘ යනුවෙන් ළහිරුට ඇවිටිලි කරන්නට වූ නිසාය.
ඒ අනුව ළහිරුට සිය සහෝදර නැඟණියන්ගේ ඉල්ලීම බැහැර කරන්නට නොහැකි විය. ‘හා එහෙනම් යමු‘ කියා ඒ සිවු දෙනා ඔරුවට නංවා ගන්නා විට අනෙක් අයද යළි මේ ගමනට එක් වීය. ‘ඔරුවට බර වැඩියි. ඔක්කොම යන්න බෑ. කිප දෙනෙක් බහින්න‘ යැයි ළහිරු පිරිසට කීවද කිසිවෙකුත් ඒ සඳහා කැමති නොවීය. සිය නැඟණියන්ගේ දැඩි ඇවිටිල්ල හේතුවෙන් මාස 8ක දැරියක ඇතුළු 08 දෙනෙකු එකවර වැව වටේ රවුමක් එක්කගෙන යාමට ඔරුව දියත් කළේ පිරිසට කොන්දේසියක්ද දමමිනි. ‘බෝට්ටුවට බර වැඩියි. කට්ටිය දඟලන්න නම් එපා හොඳද‘ කියමිනි.
ඔරුවේ ගිය දරුවන්ට වැව මැදට යන විට ළහිරුගේ කොන්දේසිය අමතක විය. එකිනෙකා ඔරුවේ සිටම වතුරෙන් ගහගන්නට විය. ඒ අතරේ තවත් කිහිප දෙනෙකු ඔරුවේ සිට සෙල්ෆි ගහන්නට විය. ඒත් එක්කම ඔරුවේ සමබරතාව නොමැතිව ගොස් ඔරුව පෙරළී ගියේ කිසිවෙකුටත් සිතා ගන්නටත් නොහැකි ලෙසිනි.
මේ ඒ අත්දැකීම පිළිබඳව බෝට්ටුව පැදවු සූරියවැව මහවැලිකඩආර පදිංචි කේ.ජී. ළහිරු මෙලෙස පැවසීය.
“මම ඉස්සර වෙලාම හය දෙනෙක් විතර දමාගෙන රවුමක් ගිහින් ආවා. ඒත් ඒ වෙලාවේ අම්මලත් කෑගැහුවා වැඩි දුර යන්න එපා කියලත්. අම්මල කෑගහනකොට මම වැඩිදුර අරන් ගියේ නැතුව ගොඩට ගෙනත් බැස්සුවා. පොඩි නංගි ඉස්සර වෙලා ගිහින් ආවේ. ගොඩට ආවට පස්සේ අනිත් නංගිලත් යන්න ඕනි කිව්වා. ඉතින් ඔක්කොම කට්ටිය දෙවැනි පාරට නැග්ගා ආයෙත් රවුමක් යන්න. ඒත් මං කිව්වා ‘නඟින්න එපා. ඔරුවට බර වැඩියි‘ කියලා. ඒත් මේ අය ඇවිටිලි කළා ‘අනේ අයියා තව එක සැරයක් එක්කගෙන යන්න‘ කියලා. මං ඒත් කිව්වා ‘කාටවත් දඟලන්න එපා කිව්වා. කොල්ලෑව පැත්තට බරවෙන්න එපා කියලා‘ මං කිව්වා. කට්ටිය වැව මැදට යනකම් පාඩුවේ හිටියා. වැව මැදට ගියාට පස්සේ ඔරුවේ ගිය අය වැවට අත දාලා වතුර අරන් වතුර ගහගත්තා. එතකොට එක සැරේටම කොල්ලැවත් එක්ක ඔරුව පැද්දෙන්න ගත්තා. මං ඔරුව ගොඩට ගේන්න කියලා හරවනකොටම කට්ටියම බය වෙලා දඟලන්න ගත්තා. එතකොටම ඔරුවේ එක පැත්තකට කටිටියම ඇල වුණා. ඒත් එක්කම ඔරුව පෙරළුණා. ඒ වෙලාවේ ඔරුවේ හිටිය ඔක්කෝම වැවට වැටුණා. මාස 8ක දරු පැටියත් එක්ක මගේ නංගි යට ගිහින් උඩට එනවා මං දැක්කා. එතකොටම මං දරු පැටියා අල්ල ගත්තා. මගේ ලොකු නංගි යට ගිහින් උඩට එනවත් එක්කම පෙරළිලා තිබුණු ඔරුවට නැඟ ගත්තා. පුළුවන් විදියට මං කට්ටිය බේරගත්තා. ඒ වෙනකොට මටත් අමාරුයි. එතකොට කට්ටියක් ඔරුවකින් ඇවිත් මමයි පොඩි දරුවයි දමාගත්තා මට මතකයි. මටත් මේක හිතා ගන්න බෑ. මගේම නංගිලා තුන්දෙනෙක් මේ විදියට මගේ ඇස් ඉදිරිපිට නැතිවීම මට දරාගන්න බෑ“ යැයි පැවසීය.
මාස 8ක සිඟිත්තිය ඇතුළු පිරිස වතුර යටට ගොස් උඩට එනවාත් සමඟම ඔරුව පැද වූ ළහිරු අට මසක් වයසැති දැරිය ඉහළට ඔසවා ගත්තේය. තවත් තිදෙනෙකුද වතුරෙන් ඉහළට පැමිණ පෙරළී තිබූ ඔරුවේ එල්ලී සිටියෝය. ඒ වන විට ළහිරු අට මස් වියැති දැරිවිය රැගෙන ගොඩට පීනමින් සිටියේය. වැව මැද සිදු වූ මේ අනතුර පිළිබඳව දුටු අසල්වැසියන් කිහිප දෙනෙකුද වහා අසල වූ ඔරු කිහිපයක් අරගෙන වැව මැදට ගොස් ගිලෙමින් සිටි පස්දෙනෙකු බේරා ගත්තෝය. ඒ වන විට තවත් තිදෙනෙකු දිය යට සැඟවී ගොස් හමාරය. සිද්ධිය වන විට වේලාව දහවල් 11ට පමණ වී තිබිණි. ගම්වාසීන් එක්ව දියේ ගිලී අතුරුදන් වූ තිදෙනා සොයා වැව පීරන්නට වූ නමුත් සිරුරු සොයා ගැනීමට නොහැකි විය.
සිද්ධිය පිළිබඳව සූරියවැව පොලිසියට කරුණු වාර්තා වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදි. ඒ අනුව දියේ ගිලී අතුරුදන් දැරියන් තිදෙනා සෙවීම සඳහා කිරින්ද නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් කැඳවීය. ඒ වන විටත් සූරියවැවට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් තිබිණි. අයහපත් කාලගුණයත් සමඟ සිරුරු සෙවීමටද දැඩි බාධා එලල් වීය. දැඩි පරිශ්‍රමයකින් පසු 12 වන දින සවස 6 පමණ වන විට 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීරගේ සිරුර ගොඩ ගත්තේය. තරුෂි ඕගොඩපොල කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාය. අයහපත් කාලගුණය නිසා සිරුරු සෙවීම යළි ආරම්භ කෙරුණේ 13 වන දින පෙරවරුවේය. නාවික හමුදා නිලධාරීන්, පොලිසිය සහ ගම්වාසින් එක්ව සිදු කළ මෙහෙයුමෙන් පසු අතුරුදන් සෙසු දෙදෙනාගේ සිරුරුද සොයා ගන්නා ලදි. එලෙස සොයා ගත්තේ කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිමට නියමිතව සිටි 16 හැවිරිදි බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා සහ කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන 18 හැවිරිදි දිලක්ෂි මදුෂිකා හේරත් නැමැති සිසුවියන්ගේය.
සිද්ධිය පිළිබදව 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර දැරියගේ පියා වන දිලිප් සේනාධීර හඬා වැලපෙමින් මෙලෙස පැවසීය.
“මේ දරුවෝ නිකන්වත් වැව පැත්තට යනවා කිව්වා නම් මං කීයටවත් නිදා ගන්න යන්නේ නෑ. මං නිදාගන්න කලින් දුවට කිව්වා පුතේ ‘කොහෙවත් යන්න එපා‘ කියලා. ‘නෑ තාත්තේ පේර කඩන්න පහළට යනවා විතරයි‘ කිව්වා. එහෙම කියපු දරුවා කටිටයත් එකක් වැවේ ඔරු පදින්න ගිහින් තමයි මේ විපත්තිය කරගෙන තියෙන්නෙ. අපි 11 වෙනිදා හවස 04ට විතර කුරුණෑගලින් සූරියවැව එන්න පිටත් වුණේ. පහුවදා පාන්දර දෙක හමාර විතර වෙලා අපි සූරියවැවට එනකොට. ඒ ඇවිත් අපි නිදාගෙන උදේ නැඟිටලා දානේ ගෙදර වැඩ කළා. දුව සීයගේ දානේ ගෙදර අපි යනවා කිව්වම දවල් පන්ති ගිහින් ගෙදර ඇවිත් කෑවෙත් නැතිවමයි වාහනේට නැග්ගේ ‘යමු යමු තාත්තේ‘ කියලා. එන ගමන් මගදි දුව මට කිව්වා ‘තාත්තේ අපි රයිස් කමුද‘ කියලත්. දානේ ගෙදර ඇවිත් අපි වැඩ කරද්දී මං දරුවට දිගින් දිගටම කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලත්. එහෙම කියල තමයි මං ටිකක් නිදාගත්තේ. මේ දරුවෝ වෙනදත් මේ වැව ළඟට එනවා මෙහේ ආවම. කවුද දෙයියනේ දන්නේ මගේ දරුවට මෙහෙම දෙයක් වේවි කියලා යැයි“ ඔහු හැඬු කඳුළින් යුතුව පැවසීය.
මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය නම් මෙම දරුවන් පැමිණියේ සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී මීට තුන් මාසයකට පෙර දියේ ගිලී මියගිය සීයාගේ තුන් මාසේ දානමය පිංකමටය. දියේ ගිලී මියගිය සීයාගේ දානයට පැමිණි මිනිබිරියන් තිදෙනෙකුටම ඉතා අවාසනාවන්ත ලෙස දියේ ගිලී මිය යාමට සිදුවීමය.
එය කාගේත් දැඩි සංවේගයට හේතුවක් විය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සූරියවැව පොලිසිය පැවසුවේ ධීවර කටයුතු සඳහා දෙදෙනෙකුට පමණක් ගමන් කිරීමට යොදා ගන්නා ඔරුවකින් අටදෙනෙකු අනාරක්ෂිතව ගමන් කිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට සිද්ධියට අදාළව අනාරක්ෂිතව ඔරුව පැදවු තරුණයා පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අත්අඩංගුවට ගැනිණි. සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.